රුසියාවත් එක්ක හරියට වැඩ කළානම් මේ ප්‍රශ්ණ නැහැ – උදය ගම්මන්පිල
කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවනාගාරයේ පැවති සම්මන්ත්‍රණයේ දී හිටපු බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.>
කලින්ම දුටු අර්බුදය
අද මේ වැඩසටහනට සම්බන්ධවීමට සිටිය යම් පිරිසක් අපට දැනුම් දෙනවා අපි තාම තෙල් පෝලිමේ. එන්න විදියක් නැහැ අපි සජීවී විකාශය බලනවා කියලා.>
තෙල් අර්බුදය නිසා අද රටම අකර්මණ්‍ය වෙලා. අපේ ඇඟේ දුවන ලේ වගේ තමයි තෙල් කියන්නේ. තෙල් නැති වුනාම රටම නතර වෙනවා. රට මිය යෑම ආරම්භ වෙනවා. ආර්ථික ස්ථාවරත්වය අවසානයේ ආරම්භය සටහන් වෙනවා. මේ අර්බුදය අපි කලින්ම දැක්කා. අපි ඇමති මණ්ඩලයට මෙහෙම අර්බුදයක් එනවා සූදානම් වෙමු කියලා කිව්වේ 2020 ඔක්තෝම්බර් මාසයේ. මෙවැනි අර්බුදයක් එනවා කියලා රටට කිව්වේ 2021 ජුනි මාසයේ දොළොස් වැනි දා. නමුත් අවාසනාවට අපි ඉදිරිපත් කරපු අදහස් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ලිඛිත සැලකීම් සත පහකට ගණන් නොගත් උද්දච්ච පාලකයෝ මේ අර්බුදයට මේ රට ඇදගෙන ගියා.
අපිට පුළුවන් එකිනෙකාට බැන වදින්න. එකිනෙකාට චෝදනා කරන්න. වගකීමෙන් ගැලවෙන්න. නමුත් මේ මොහොතේ කාටවත් ම බැන වැදුණා කියලා අපි ට මේ ප්‍රශ්නයට උත්තර ලැබෙන්නේ නැහැ. අද අපි වැරදිකාරයෝ කවුද කියලා හොයන එක පැත්තකින් තියලා වටු රැල සේ සාමූහිකව හිතලා මේ අර්බූදයෙන් ගොඩ එන්න පුළුවන් ද කියන එකයි මේ අවස්ථාවේ සොයා බලන්න ඕනෑ.
අර්බුදයට ඉදිරිපත් කළ එකම වැඩ පිළිවෙල
වර්තමාන අර්බුදය එන්න එන්නම මෝරනවා. දැන් අර්බුදය ටත් සෑහෙන්න වයසයි. අවාසනාවට මේ ආණ්ඩුව මේ දක්වා මේ අර්බුදයට උත්තරයක් දන්වා නැහැ. ආණ්ඩුව විතරක් නොවෙයි විපක්ෂය පැත්තෙන් උත්තරයක් ඉදිරිපත් කරලා ද නැහැ. මේ අර්බුදයෙන් රට ගොඩ යන්නේ කෙසේද කියන ප්‍රශ්නයට මේ දක්වා උත්තරයක් ඉදිරිපත් කරලා තියෙන්නෙ මාර්තු දෙවැනි දා අප ඉදිරිපත් කළ මුළු රටම හරිමගට වැඩ සටහන විතරයි කියන එක අපි ආඩම්බරෙන් කියන්න ඕනෑ. ඒ සම්මන්ත්‍රණය එක්කම අපිව ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් අපි එදා ජාතිය හමුවේ තැබුව වැඩපිළිවෙළ පිළිබඳව සංවාදයක් රටේ ඇති වෙනවා වෙනුවට අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම හරිද වැරදිද කියල යි රටේ සංවාදය ඇති වුණේ. ඒ වැඩපිළිවෙළ යට ගියා. නමුත් අදටත් රට හමුවේ තිබෙන එකම වැඩපිළිවෙළ එම වැඩපිළිවෙළයි.
අදට හරියටම අගමැතිතුමා පත් වෙලා මාසයයි. එතුමා අගමැතිකමට පත් කළ දිනට පසුදා අපව හමු වුණා. අපි එදා කිව්වේ මේ රටේ ජනතාව වික්ෂිප්තව බලා ඉන්නවා අඳුරේ තව කොච්චර කාලයක් ගත කරන්න වේවිද කියලා. වහාම රට ගොඩනගන වැඩපිළිවෙළ කාල වකවානු සහිතව ජනතාවට ඉදිරිපත් කරන්න. ජනතාවගේ සිත් තුළ බලාපොරොත්තුවක් ඇතිකිරීම ඔවුන්ගේ චිත්ත ධෛර්යයට හේතු වෙනවා. නමුත් ආණ්ඩුවේ අලුත් අගමැතිතුමාගේ වැඩපිළිවෙළත් මාසයක් ගිහිල්ලත් එළියට ඇවිල්ලා නෑ.
ඉන්ධන අර්බුදයට කෙටි කාලීන විසඳුම් මොනවාද ?
දැන් මේ දිනවල අපි ඉන්ධන අර්බුදය ගැන කතා කළාම බොහෝ දෙනෙක් කතා කරනවා දිගු කාලීන විසඳුම්. පුනර්ජනනීය බලශක්තියට නැවත යාම. පොදු ප්‍රවාහනය දියුණු කිරීම. දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම. අපේ මහ පොළොව යට සැඟවිලා තිබෙන තෙල් සහ ගෑස් සම්පත හා උකහා ගැනීම.
මේ සියල්ලම හොඳයි. සියල්ලම අනිවාර්යයෙන්ම කළ යුතුයි. නමුත් අර තෙල් පෝලිමේ දවස් ගණන් ලැගල ඉන්න ජනතාවට තියෙන කෙටිකාලීන ප්‍රශ්න වලට අපි මුලින්ම උත්තර දීලා ඉන්න ඕනේ. මොකද දිගුකාලීන උත්තරය ගැන කතා කරන්නවත් ජනතාවට මානසිකත්වයක් ඇති වන්නේ මේ කෙටිකාලීන ප්‍රශ්නයට උත්තර දුන්නොත් විතරයි. මොකක්ද කෙටිකාලීන ප්‍රශ්නයට තියෙන උත්තරය.
උත්තර තුනක් තියෙනවා. මුලින්ම අපි අවම අවශ්‍යතාවය සපුරා ගන්න මට්ටමට තෙල් ටික ලබාගන්න ඕනෑ.
ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන රටවල් ඉන්නවා 97 ක්. එක දිනකට අපට ඕන කරන තෙල් වලට වැය වන්නේ ඩොලර් මිලියන 18යි. එක දවසක් එක රටකට බාර දුන්නත් දින 97 මාස තුනකට වැඩි කාලයක් අපිට තෙල් ටික ලබාගන්න පුළුවන්. ඒ සඳහා මහන්සි වෙන්න වෙනවා.
ඒ වගේම මේ මොහොතේ මේ සභාවේ ප්‍රමුඛ මාතෘකාව වෙච්ච ඇයි අපට රුසියාවෙන් තෙල් ලබා ගන්න බැරි. මිත්‍රවරුනි මේ පිලිබද ඇහුවහම ආණ්ඩුවේ උත්තරය උනේ අපි රුසියානු තානාපති තුමාට කතා කළා, තානාපතිතුමා සමාගම් 5ක නම් දුන්නා, අපි සමාගම් පහටම ලියුම් යැව්වා,දෙකයි උත්තර දුන්නේ,ඒගොල්ලොත් ණයට තෙල් දෙන්න බැහැ කිවුවා,වැඩේ නතර වුණා.
තෙල් සමාගම් ණයට දෙන්නේ නැහැ තමයි. ණය ගන්න ඕනේ ආණ්ඩුවෙන්.
තෙල් අර්බුදය කල් දමාගත් හැටි
මීට මාස නවයකට විතර කලින් මගේ ඉන්දියානු මිත්‍රයෙක් මාත් එක්ක සාදයකදී කිව්වා ඉන්දියාව කනස්සල්ලෙන් ඉන්නවා ඉන්දියාව ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අපේ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වෙලා ඉන්දියාවට ගිය වෙලාවේ ඩොලර් මිලියන 400 ක ණයක් ලබා දීලා තියෙනවා මේකෙන් සතයක්වත් අද දක්වා පාවිච්චි කරලා නෑ කියලා. මං වහාම ඉන්දියානු තානාපති කාර්යාලයේ ව්‍යාපාර අංශ ප්‍රධානී වෛද්‍ය රකේෂ් පාණ්ඩෙට කතා කරලා ඇහුවා මෙහෙම එකක් තියෙනවද? උත්තරය ඔව්. තවම තියෙනවද? තියනවා මේක පාවිච්චි කරන්නෑ, මං ඇහුවා තෙල් වලට මේක දෙන්න බැරිද ඉන්දියාව කිව්වේ බෑ කියලා. ඇයි අපි තෙල් අපනයනය කරන රටක් නෙවෙයි. මේක දීලා තියෙන්නෙ ප්‍රාග්ධන වියදම් වලට. තෙල් වලට දෙනවයි කියලා කියන්නේ පුනරාවර්තන වියදමක් වගේ දෙයක්. ජාති දෙකක ණයක්. අත ඇරියේ නෑ , දිගින් දිගටම ඉන්දියාවත් එක්ක සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ මිලියන 400 මිලියන 500 ක් බවට පත්වෙලා මීට ගොඩක් කලින් ඇති වෙන්න තිබ්බ තෙල් අර්බුදය කල් දමා ගන්න පුලුවන් උනේ.
ඒ වගේම ඊට කලින් චීනයත් එක්ක කතා කරල petro china සිංගප්පූරු සමාගම මාස හයක ණය ට ඩොලර් මිලියන 430ක් ලබා දුන්නා. ඒවා හරහා තමයි ගිය අවුරුද්දේ ජූනි මාසේ ජූලි මාසේ ඇතිවෙන්න තිබුන තෙල් අර්බුදය කල් දාගන්න අපිට පුළුවන් වුණේ. අඬන්න ඕනෙ කිරි එරෙන්න කියනවනේ, එහෙනම් දැන් ඉන්දියාව අද රුසියාවෙන් තෙල් ගන්නවා. ඒක නිකං වුණේ නෑ ඉන්දියාවේ ඛනිජ තෙල් අමාත්‍ය පූරි අමාත්‍යවරයා අවස්ථා ගණනාවක රුසියාවේ බලශක්ති අමාත්‍යයතුමා එක්ක කතා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒක සිද්ධ වුණේ.
අපේ රටෙත් ඇමතිවරයෙක් අගමැතිවරයෙක් ජනාධිපතිවරයා මට්ටමෙන් විදේශ ඇමති වේවා බලශක්ති ඇමති වේවා, අගමැති ජනාධිපති මට්ටමෙන් රුසියාවට ගිහිල්ලා සාකච්ඡා කරන්න ඕනෙ . මේ අපේ කට්ටිය කියනවා ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා කියලා. එනිසා මේ වෙලාවේ ණයට දෙන්න බෑ කියලා. ඔය කතාව කියන නිසාම රුසියාවේ මෑත කාලයේ විදේශ වෙළදාම ගැන පොඩ්ඩක් හොයල බැලුවා. මේ අවුරුද්දෙ පලවෙනි මාස 4 රුසියාවේ අපනයන සහ ආනයන අතර පරතරය ජංගම ගිණුමේ පරතරය තියෙනවා ඩොලර් බිලියන 96. මුළු අවුරුද්දෙම තෙල් සඳහා අපිට අවශ්‍ය වෙන්නේ ඩොලර් බිලියන හයක්. හැබැයි ඒ අයගේ ජංගම ගිණුමේ අතිරික්තය විතරක් තියෙනවා මාස හතරකට. අරක අවුරුද්දකට. අවුරුද්දට ඩොලර් බිලියන හයයි. රුසියාවේ ජංගම ගිණුමේ මේ අවුරුද්දේ පළමු මාස හතරේ අතිරික්තය ඩොලර් බිලියන විස්සක්. ගිය අවුරුද්ද වගේ තුන් ගුණයකටත් වඩා වැඩි. අපි කිව්වනේ ලංකාව අවුරුද්දකටම තෙල් ගන්න ඩොලර් බිලියන හයක කියලා . මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් එක මාසෙකට තෙල් විකුණලා රුසියාව හොයලා තියෙනවා ඩොලර් බිලියන විස්සක්. අපූරු වැඩේ කියන්නේ සම්බාධක පැනෙව්වා ට පස්සේ රුසියාවේ තෙල් විකිණීමෙන් ලැබෙන විදේශ විනිමය 50% කින් වැඩි වෙලා තියෙනවා. අරහෙ යුරෝපය තෙල් නැතුව හඩනවා. ගෑස් නැතුව දුක් විඳිනවා. සම්බාධක පනවපු රටවල් වලට මිස සම්බාධකයට ලක්වුන රුසියාවට සම්බාධකය ප්‍රශ්නයක් වෙලා නැති බවයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. එහෙනම් රුසියාවෙන් අපි සහයෝගය ගන්න ඉහළ මට්ටමෙන් කටයුතු කලානම් අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ නෑ.
තෙල් බොන තඩි කාර් ජීප් පාර ට දැමීම නතර කරමුද ?
ණයට තෙල් ටික අරගෙන අවම තෙල් අවශ්‍යතාවය සපුරා ගැනීම තමයි අපිට තියෙන පළවෙනි කෙටි කාලීන උත්තරය. දෙවෙනි එක තමයි තියෙන තෙල් ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න, තෙල් පරිභෝජනය අඩු කිරීම. කොහොමද ඒක කරන්නේ මිත්‍රවරුනේ අපි මෙච්චර දැවැන්ත තෙල් අර්බුදයක ඉන්නවා .හැබැයි පාරට බැහැලා බලන්න දුප්පත් මිනිස්සුන්ට කේන්ති යනවා තෙල් බොන තඩි කාර් ජීප් පාර පුරා පිරිලා තියෙනවා. ඉන්දියාවෙන් දෙන ආධාර බාරගන්න අපේ ඇමතිවරු යන්නේ තෙල් බොන දැවැන්ත කාර්වල ජීප් වල.
මේ කාර් එකක් එක දවසකට උරාබොන තෙල් ටිකෙන් මෝටර් සයිකල් ත්‍රීරෝද රථ කීයක් දවස පුරා දුවන්න පුලුවන්ද? ඒවා දිවීමෙන් ගෙදර මියයන්න ඉන්න පාර මැද මියයන්න ඉන්න අහිංසක අම්මලා තාත්තලා කී දෙනෙක්ගේ ජීවිත බේරගන්න පුලුවන්ද. එහෙනම් අද අවශ්‍ය වෙන්නේ දේශනා පැවැත්වීම නෙමෙයි සරල ජීවිතය ගැන. නායකයෝ ආදර්ශය ලබා දීලා සරල වාහන වලට යන්න ඕන. මුලින්ම සී 2000cc වැඩි වාහන පාරට දාන එක ආණ්ඩුව තහනම් කරන්න ඕන. එහෙම කළොත් විතරයි මේ තියන සීමිත තෙල් ටිකෙන් ජනතාවට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මට්ටමට එන්නේ. අපි මේ යෝජනා පහුගිය ජනවාරි මාසයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා සත පහකට ගණන් ගත්තේ නෑ. ඔන්න දැන් හෙට ආණ්ඩුවේ නිවාඩු දිනයක් ලු. සෑම සිකුරාදාම වවන්න කියල වෙන් කරල රජයේ සේවකයන්ට නිවාඩු දෙන්න යනවා. ඇයි මේ. යන්න එන්න ප්‍රවාහනයට තෙල් ටික නැති හන්දා.
හැබැයි මිත්‍රවරුනි අපි විකල්ප යෝජනා දෙකක් ඉදිරිපත් කළා. සතියට පැය හතළිහයි නේ වැඩ කරන්නේ. 8 x 5 = 40 වෙනුවට 10 x 4 = 40 කරමු. දවසට පැය දහයක් වැඩ කරලා සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනවා. තෙල් වියදම අඩුවෙනවා. දවසට පැය දහයක් වැඩ කරන්න බැරි නම් අපිට තව දෙයක් කරන්න පුළුවන්. අද බොහෝ යුරෝපීය රටවල කරනවා වගේ එක දවසක් කාර්යාල ඉඳලා වැඩ. අනිත් දවසේ ගෙදර ඉදලා වැඩ. චක්‍රලේඛන කීපයක් වෙනස් කරල මේ කඩදාසි භාවිතය වෙනුවට සියළුම ලිපි හුවමාරුව අන්තර්ජාලය ඊමේල් හරහා කළොත් ගෙදර ඉඳන් වැඩ කරන එකත් බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. පාසැල් වලටත් ඒක කරන්න වෙයි. එක දවසක් පාසලට එනවා. අනිත් දවස online. සංගම් සමිති කරන්න වෙන්නේ ක්‍රීඩා කරන්න වෙන්නේ දවසක් ඇර දවසක්. එහෙම කරලා තිබෙන තෙල් ටික කළමනාකරණය කර ගත්තේ නැත්නම් රටම නතර වෙන්න ඉඩ තියෙනවා.
රජයේ පෞද්ගලික අංශයේ නිලධාරීන් විශාල පිරිසක් දවස පුරා ඉන්නෙ මහ පාරේ. එක තැනකින් අනිත් තැනට රැස්වීම් වලට යනවා. ඉන්ධන විතරක් නෙවෙයි කාලය ධනය නාස්ති කරගෙන. හැබැයි සූම් තාක්ෂණ හරහා මේ රැස්වීම් පවත්වනවා නම් පහසුයි. මාසයකට එක සැරයක් හැම දිසාපති කෙනෙක්ම ප්‍රාදේශීය ලේකම්ලා තමන්ගෙ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට ගෙන්නවා. සමහර කට්ටිය බොහෝ දුර ඉඳන් එන්නෙ. තව මාස ගානකට සැරයක් ඔක්කොම කොළඹට ගෙන්නනවා. මේවා ද සූම් තාක්ෂණය හරහා කරනවා නම් කොතරම් තෙල් අපට ඉතුරු කරගන්න පුලුවන්ද.
ඉතින් අපි යොමු වෙන්න ඕන නිර්මාණශීලී වෙලා අලුතෙන් හිතලා මේ තෙල් භාවිතය අවම කරන්න හැකි පමණින් කටයුතු කරන්න. අපි ගමනක් යන්න කලින් මේ ගමන යා යුතුමද දුරකථනයෙන් වැඩේ කරගන්න බැරිද වෙනත් ක්‍රමයක් නැද්ද යනාදී වශයෙන් අද අපිට හිතන්න වෙලා තියෙනවා.
අලුත් ප්‍රශ්න හා විසදුම්
ඊළඟ කාරණය තමයි අපිට මේ තෙල් අර්බුදය විසින් ඇති කරන අලුත් ප්‍රශ්නවල දැන් තියාම සූදානම් වෙන්න වෙනවා. හදිසියේ කෙනෙකුට අනතුරක් වෙනවා. කැපුම් තුවාලයක් අස්ථි බිඳීමක් වෙන්න පුළුවන්. සර්ප දෂ්ඨ යක් වෙන්න පුළුවන්. ඉස්සර නම් ගිලන් රථයට කතා කරා එහෙම නැත්තං ළඟ තියෙන ත්‍රීරෝද රථයට දමාගෙන ළඟම තියන රෝහලට ගෙනියනවා. දැන් තෙල් නැහැ තෙල් තියෙන ත්‍රීරෝද රථයක් සොයා ගන්න බැරි නිසා මසකට පමණ පෙරදී පුංචි දරුවෙක් මිය ගියා. අතීතයේ අපේ සෑම ගෙවත්තෙන්ම ඔසු උයනක්. සෑම අම්මා කෙනෙක්ම වෙද හාමිනේ කෙනෙක්. කුඩා කල අපේ කකුලේ සීරීමක් උනහම දොස්තර ගාවට යනවා වෙනුවට රුලන් තලා කොළ ටිකක් අරන් තලල ලේන්සුවෙන් ගැට ගහගන්නවා. මොකෙක් හරි සතෙක් ගෑවිලා කසන්න ගත්තහම කලුකම්බේරියා කොළ ටිකක් පොඩි කරලා එතන අතුල්ලනවා. ඇතිවෙන කැසිලි ගතිය අඩුවෙනවා.
අපිට රෝහල කරා රෝගියා ගෙන යනතුරු අත් බෙහෙත් ගැන ප්‍රථමාධාර ගැන ආණ්ඩුව විසින් මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරලා මේකට සූදානම් කරන්න ඕනෑ. සූදානම් කිරීමක් ආණ්ඩුවෙන් කෙරෙනවද. අවාසනාවට නැත.
ඒ වගේම අපි දකිනවා තෙල් හිඟය නිසා ගොවියෝ මාධ්‍යවලට ඇවිත් කියනවා මෙන්න අපි අස්වැන්න විනාශ කරනවා. විකුණගන්න බැහැ. ගෙනියන්න කවුරුවත් ආවේ නැහැ. නමුත් ඉස්සර අපේ තිබ්බා මේවා කල්තබා ගන්නා ක්‍රම. දැන් කියනවා වගේ එදා ශීත කාමර වල දාන්න බැහැනේ විදුලියත් නෑනේ. වියලා කල් තබා ගන්නා ක්‍රම තම්බා කල්තබා ගන්නා ක්‍රම වැලි සහ මී පැණි භාවිතා කරල කල්තබා ගන්නා ක්‍රම අතීතයේ අපේ අම්මලා තාත්තලා දැනගෙන හිටියා.මේ සම්ප්‍රදායික දැනුම අද ජනතාවට ලබා දීලා ජනතාව සූදානම් කළ යුතුයි. නමුත් අවාසනාවට එවැනි තත්ත්වයක් අපි අද මේ රට තුළ දකින්නේ නැහැ.
අපි මුහුණ දෙන්න යන්නේ අලුත් යුගයකට. අපි හැමෝටම අලුතෙන් හිතන්න බල කරන යුගයක්. ආණ්ඩුවට බැන බැන ඉදලා හරියන්නේ නැහැ. එක කට්ටියක් කිව්වා ඩොලර් එවන්නට එපා ආණ්ඩුව පන්නන තුරු කියලා. දැන් ඩොලර් නැහැ. රාජපක්ෂ පවුලේ කවුරුවත් බෙහෙත් නැතුව මිය යන එකක් නැහැ. රට ගිහිල්ලා හරි බෙහෙත් ගනියි. බෙහෙත් නැතුව මියයන්නේ අපේ දුප්පත් අම්මලා තාත්තලා. බෙහෙත් ටික නැතුව කෑම ටික නැතුව කිරි පිටි ටික නැතුව හඬා වැටෙන්නේ අපේ දරුවෝ. එහෙම නම් මේ අපි ගහගෙන තියෙන්නේ අපිටමයි.
ඒ නිසා ආණ්ඩුවට බනින එක නතර කරමු. ආණ්ඩුවෙන් කරයි කියලා බලාගෙන ඉන්න එකත් නතර කරමු. අපි වැඩේට බැහැලා අපේ රට ගොඩ දාන එක අපිම කරමු. අපි මහජන ව්‍යාපාරයක් ආරම්භ කරමු. රට අත් හැර යන අයට යන්න කියමු. රටවල් දෙකක කකුල තියාගෙන ඉන්න අයට කැමති තැනකින් කකුල තියාගන්න කියමු. නමුත් අපිට මේ රට දාල යන්න වෙන තැනක් නෑ. අපි ඉපදුන මේ රටේමයි අපි මැරිල යන්නෙත්. ඒ නිසා රටට මැරෙන්න අපිට ඉඩ දෙන්න බෑ. මේ රට මිය දෙනවා කියන්නේ අපි මිය යනවා කියන එකයි.
අපි ලෑස්ති වෙමු. අපි ජනතාව අතරට යමු. වවන්න පුළුවන් හැම දේම වවමු. හදන්න පුළුවන් හැම දේම හදමු. මහල් නිවාස වල අය කියනවා අපි කොහොමද වවන්නේ කියලා. පෝච්ච වල වවන්න පුළුවන්. පීලි වලත් වවන්න පුළුවන්. මෙගා බෝතල් දෙකට කපලා වවන්න පුළුවන්. ඇල්බට් සාන්ද්‍රණය දැම්මම පස් නැතුව බෝතල්වලත් වවන්න පුළුවන්. තාක්ෂණය දියුණුවෙලා. හිතන විදිහ වෙනස් කරගන්න විතරයි ඕනෑ.
මේ අර්බුදයට ආණ්ඩුව උත්තර හොයන්නෙත් නැත්නම් ආණ්ඩුව සහ අනිකුත් බලවේග වලට උත්තර හොයන්න ඕනේ කමකුත් නැත්නම් අපේ ආදරණීය මව්බිම බේරා ගැනීමට අපි හැමෝම පාරට බැහැලා උත්තර හොයලා මේ රටේ ජනතාව මේ අර්බුදයට සූදානම් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා තමුන්නාන්සේලාට මා ආරාධනා කරනවා.
– Midea unit