Latestදේශීය

මේ අර්බුධය හමුවේ හැම මනුෂ්‍යයෙක්වම රැකගත යුතුයි – දුමින්ද නාගමුව

ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් සහ ජන රැලියක් ඊයේ (12) මතුගම නගරයේදී පැවැත්වුනා. එම ජන රැලියේදී  ජන අරගල ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජික සොබාදම් පාසලේ සභාපති වෑකදවල රාහුල හිමියන්,රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, වෙනසක තාරුණ්‍යය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර,  කම්කරු අරගල මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව යන මහත්වරුන් ඇතුළු කතිකයින් අදහස් පල කළා.

එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා පැවසුවේ දිනෙන් දින උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුධය හමුවේ රාජපක්ෂවරුන්ට, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට , ධම්මික පෙරේරා වැනි ව්‍යාපාරිකයින්ට පමණක් නොව පාර්ළිමේන්තුවේ 225දෙනාටම විසදුම් නැති බවයි.

මෙම ව්‍යසනය හමුවේ පැලැස්තර වලින් විසදුම් ලබා දිය නොහැකි බවත්, ගෝඨාභය ඉවත්වීම මෙන්ම විධායක ජනාධිපති ධූරයටද අහෝසි විය යුතු බවත් පැවසූ නාගමුව මහතා විසදුම ඇත්තේ ජනතාව අත පමණක් බව අවධාරණය කළා.

ආහාර අර්බුධය හමුවේ අනෙකා ගැන හිතන මනුෂ්‍යත්වයක් අවශ්‍ය බව පැවසූ නාගමුව මහතා හැම කෙනෙකුගේම ජීවිත රැකගැනීමේ වගකීම සියලුදෙනා එක්ව බාර ගත යුතු බවද පැවසුවා.

නාගමුව මහතා ඉදිරිපත් කළ අදහස් සැකවින් මෙසේය, 

මාර්තු වෙනකොට 177000ක් ගුවන් ගමන් බලපත්‍ර ලබාගන්නවා, පළමු තත්පරයේම රටෙන් යන්න. ඒ වේගෙන් ගියොත් එහෙම මේ අවුරුද්ද අවසන් වෙනකොට ලක්ෂ 7ක් ගුවන් ගමන් බලපත්‍ර ගන්න නියමිතයි

රෝහල්වලින් එන ප්‍රවෘත්ති මොනවා ද? ජලභීතිකා එන්නත නැහැ.සර්පයින් දෂ්ඨකළ විට ලබා දෙන එන්නත නැහැ. දරුවන්ගේ අනාගතය එක්කයි මේ මාරාන්තික සෙල්ලම කරන්නේ

මේ කාලකන්නි ඉරණමට මේ රට ඇදලා දාපු පාලකයින්ට පාඩමක් උගන්වන්න සූදානම් නැත්නම් ඒ වගකීමෙන් මිදෙන්න වැඩිහිටියෝ විධියට අපි කාටවත් බැහැ.අපි හැමෝගෙම උර මත ඒ වගකීම පැටවෙනවා. ඒ වගකීමෙන් මිදෙන්න අපි කාටවත් බැහැ.

දැන් අපි හිතනවා නම් මාස දෙකෙන් තුනෙන් මේ අර්බුධය ඉවර වෙයි කියලා. රනිල් මැච් එකක් ගහයි. එහෙම හිතනවා නම් ඒක මායාවක්.

ලෝකයේ වෙනත් රටවල ඇවිල්ලා තියෙන මේ වගේ අර්බුධ මාස දෙකෙන් තුනෙන් ඉවර වෙලා නැහැ. අවුරුදු 5ක් 10ක් ඇදිලා ගිහිල්ලා තියෙනවා.

දැන් මේ අර්බුධය අර්බුධයක් වෙලා තියෙන්නේ සාමාන්‍ය මිනිහට. මේ රටේ රස්සාවක් කරලා ජීවත්වෙන මිනිහට. ගොවියට. ස්ව්‍යං රැකියාවක් කරලා ජීවත් වෙන මිනිහට.සුළු ව්‍යාපාරයක් කරලා ජීවත් වෙන මිනිහට. ත්‍රීවිල් එක පාරට දාලා ඒකෙන් හම්බ කරන් කන මිනිහට. රජයේ රස්සාවක් කරලා ජීවත්වෙන මිනිහට. පෞද්ගලික අංශයේ රස්සා කරලා ජීවත්වෙන මිනිහට. වත්තක වැඩ කරන වතු කම්කරුවට. මේ අයට තමයි මේ හෙනහුරා පාත්වෙන්නේ.

එතකොට මේකෙන් කවුද වැජබෙන්නේ. වැජබෙනවා එක පැලැන්තියක්.

දැන් තියෙන්නේ මොකක්ද? ඩොලර් ප්‍රශ්ණයක්. සතියකට තෙල් ගහගන්න ඩොලර් නැති  රටක අපි ඉන්නේ. තෙල් නැවක ගාන කීයද ඩොලර් මිලියන 50යි.  ගෑස් නැවක මිළ ඩොලර් මිලියන 5යි. ඩොලර් නැතිවුනේ කොහොමද අපේ රටේ.

2021 දෙසැම්බර් මාසේ ඩොලර් මිලියන 2500ක ආනයන කරලා තියෙනවා.දැන් ඩොලර් මිලියන 50ක් නැහැ. දෙසැම්බර් මාසේ විතරක් ඩොලර් මිලියන 2500ක බඩු ගෙනත් තියෙනවා. මොනවද මේ ආනයනය කරලා තියෙන්නේ. කවුද මේ ආනයනය කරලා තියෙන්නේ.

අද සිමෙන්ති කොට්ටේ ගාන කීයද රුපියල් 3000යි.

දෙසැම්බර් මාසේ තිබුනු සිමෙන්ති ගානයි ඩොලර් එකේ අවප්‍රමාණයයි ලෝක වෙළද පොලේ මිලයි සංසන්ධනය කරලා බැලුවම සිමෙන්ති කොට්ටයක් දෙන්න පුලුවන් රුපියල් 1800කට. ඒත් අපිට විකුණන්නේ කීයකට ද රුපියල් 3000කට. යකඩ ටොන් එකක් දෙන්න පුලුවන් රුපියල් 334000ට. ඒත් දෙන්නේ කීයකට ද? රුපියල් ලක්ෂ පහකට.මේක තමයි මෙතන තියෙන සූදුව.

මේ රටේ සිමෙන්ති නිෂ්පාදනය කරන්න හම්බන්තොට ඇරියා ලංවා ෆැක්ටරියක්. කොහොමද ඒක අරිනකොට කිවුවේ. මෙන්න හැදුවා සිමෙන්ති ෆැක්ටරියක්. සිමෙන්ති එනවා. ලාබෙට එනවා.  මේ රට ගොඩ යනවා. සිමෙන්ති හිගය නැතිවෙනවා. එහෙමයි කිවුවේ. නැතිවුනා ද? ලංවා ෆැක්ටරිය කාගෙද? නන්දන ලොකුවිතාරනගෙ. නන්දනගෙ ලග තියෙන්නේ කාගෙ සල්ලිද කියලා ඔබ දන්නවා.  

මෙන්න සෙල්ලම. මොකක්ද මුං කළේ? මුං දන්නවා ඩොලර් අර්බුධයක් එනවා. ඩොලර් එකේ මිළ වැඩිවෙනවා. එතකොට බඩුමූට්ටු වල මිළ වැඩිවෙනවා කියලා දැනගෙන ආනයනය කළා තොගේට. පහුගිය අවුරුද්ද තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ආනයනය කළ අවුරුදු දෙකෙන් ඒකක්.

දැන් අපිට අපේ දුවට පුතාට දෙන්න බෙහෙත් ටික නැහැලු ඉස්පිරිතාලෙ. මාස 6යි මේ අවුරුද්දෙ ගියේ. මාස 6ට බෙහෙත් නැහැලු. පහුගිය අවුරුද්දේ මුං මොනවද  කරලා තියෙන්නේ. ආනයනය කරලා. ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ආනයනය කරපු අවුරුදුදක් විදියට. කවුද ආනයනය කළේ? මේ රටේ ධනවත්ම බලවත්ම සමාගම්.

අපි කුණු ධම්මිකගෙන් අහනවා. අපි ධම්මික ප්‍රසාද්ගෙන් අහනවා,  ඔයාගේ සිංගර් කොම්පැනිය පහුගිය අවුරුද්දේ කොච්චර ආනයනය කළා ද? ඊට කලින් අවුරුද්දේ කොච්චර ආනයනය කළා ද? එයා කතා කරනවානේ රට හදන්න.

හොර තක්කඩියෝ. අපි අර බදු මුදල් වංචාව ගැන ඇදලා අරං කියනකම් ධම්මික ප්‍රසාද්ගෙ මල්ලිගෙ කොම්පැනිය මිලියන 575ක් ගෙවුවේ නැහැ.

ඒ නිසා අපිට මේ ගෙවෙන්න වෙලා තියෙන්නේ අපේ පවක් නෙමෙයි. මුං මේ රටේ ආර්ථිකය කොල්ල කාපු එකේ ප්‍රතිඵලයක් විදියට තමයි අද අපිට මේ ප්‍රතිඵලය උදා වෙලා තියෙන්නේ.

මේ රට ණයයි ඩොලර් බිලියන 53ක්. කෝටි වලින් කියනවා නම් කෝටි 53000ක් ණයයි.

ඔබ දන්නවා ද ? මේ රටේ මහාපරිමාන ආනයන සමාගම් කරනවා සෙල්ලමක්. ආනයනය කරන දේවල්වලට වැඩිපුර ගාන දාලා මිළ දාලා රටෙන් ඩොලර් එලියට අදින සෙල්ලමක්. ආනයනය කරන්න තියෙන භාන්ඩ වල මිළ ඩොලර් 500යි නම්, ඩොලර් 750කියලා ගාන දාලා ඩොලර් 250ක් අදිනවා පිටරට තමන්ගේ ඩොලර් ගිණුමකට.  2009 ඉදලා 2018 දක්වා  ගෙවිච්ච අවුරුදු 10යේ මේ සම්බන්ධයෙන් ලෝකයේ නිකුත් කරපු නිළ වාර්ථාවක් තියෙනවා. ඒ වාර්ථාවට අනුව ඩොලර් බිලියන 40ක් රටෙන් එලියට ඇදලා තියෙනවා අවුරුදු 10ට. අපේ මුළු ණය ඩොලර් බිලියන 53යි. මෙන්න ප්‍රශ්ණෙ. ‌

මේ රටෙන් වැඩකරන්න ගිය විදෙස්ගත ශ්‍රමිකයා සල්ලි ටික එවනවා. අපනයන කරන ක්ෂේත්‍රයේ වැඩකරන මිනිස්සු නැහිලා වැඩකරනවා. ඇගලුම් කම්හලේ වැඩකරන සහෝදරියන් නැහිලා වැඩ කරනවා. ඒ නැහිලා වැඩකරලා හම්බකරන සල්ලි වලින් ලැබෙන ඩොලර් ටික පිටරටවලට ඇදලා  මේ රටේ කොම්පැණිකාර  පවුල් 400ක්  500ක් මේ රටේ ආර්ථිකය ඝාතනය කරලා තියෙනවා. මේක තමයි ඇත්ත.

මේකට තව කොච්චර ණය ගෙනල්ලා හැලුවත්, ඔය ණය වලටත් කරන්නේ ඔය ටිකම තමයි. ඒ නිසා මේකෙ අදුරේ අතපත ගාන්න එපා. අදුරේ අතපත ගාලා මේ ප්‍රශ්ණවලට උත්තර හොයන්න බැහැ. අපි දැනගන්න ඕනා හරියටම අපේ රටේ ආර්ථිකය ඝාතනය කළේ කවුද? මේ ඝාතනයේ වන්දිය ගෙවන්න වෙන්නේ කාටද? අපේ පරම්පරාවට. අපේ දරුවන්ගේ පරම්පරාවට.  තව අවුරුදු ගානකට මේ තුවාලෙ හොදවෙන්නේ නැහැ. මේ පටන් ගත්තා විතරයි. ඉස්සරහට තව හෙම්බත්වෙන්න නියමිතයි.

මිනිස්සු ගැන හිතලා එකක මිළ පාලනය කරනවා ද? සිමෙන්ති කොට්ටේ මිළ පාලනය කරනවා ද? වාහන වල මිළ පාලනය කරනවා ද? නැහැ. අඩුම තරමේ මෙච්චර මිනිස්සු හිගා නොකා හිගා කද්දී හාල් මිළ පාලනය කරන්න බැරි ආන්ඩුවක් මේක. මිනිස්සු හාල් කිලෝවක් ගන්න ගිහිල්ලා හූල්ලනවා.

අපි ඔබෙන් ඉල්ලා සිටිනවා, ප්‍රමාද වෙන්න එපා.  මේ අර්බුධය අපේ නහයට උඩින් ගිහිල්ලා අපිව ගිලගන්නකම් ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වුනොත් අපිට මේක අපේ ජීවිත වලින් ගෙවන්න වෙනවා. අපේ දරුවන්ගේ ජීවිත වලින් ගෙවන්න වෙනවා. ඒ නිසා අපි සංවිධානය වෙන්න ඕනි.

ගෝඨාභය රාජපක්ෂ, එයා කියනවා, අසමත් වෙච්ච එක පාස් වෙන්න චාන්ස් එකක් දෙන්නලු. එයා හිතන් ඉන්නේ මේ එයා ලියලා තියෙන්නේ සාමාන්‍ය පෙල විභාගය කියලා.   එයා ෆේල් ලු තව චාන්ස් එකක් දෙන්නලු. එයාගේ තීන්දුතීරණවල ගොං තකතීරුකම් වලින් කවුද වන්දි ගෙවන්නේ?

පහුගිය අප්‍රේල් මාසෙ 27 වෙනිදා ඔය ගොං ගැසට් එක ගහද්දි පොහොර නවත්තන්න,  අපි කිවුවා ඔය කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න එපා. සාගතයක් එනවා කියලා.  අපි උගුර ලේ රහ වෙනකම් කෑගහලා කිවුවා, අපි මේ නගරවල ඉන්න මිනිස්සුන්ටත් කෑ ගහලා කිවුවා මේකට විරුද්ධ වෙන්න, මේකට වන්දි ගෙවන්න වෙන්නේ ගොවියට නෙමෙයි,  මේ සාගතයට වන්දි ගෙවන්න වෙන්නේ නගරවල ඉන්න මිනිස්සුන්ට. අපි කෑ ගහල කිවුවා.

හැබැයි දැන් අපි සාගතය ආසන්නයට ඇවිත් ඉන්නවා. දැන් අගමැතිලා ඇවිල්ලා කියනවා. දැන් කියන්න ගොඩක් අය ඉන්නවා. අපි කිවුවේ ගිය අවුරුද්දේ මැයි මාසේ. මේ ගැසට් එක ගහලා සතියක් යනකොට ගොවි අරගල ව්‍යාපාරය පාරට බැස්සා සාගතයකට අතවනන කඩි කුලප්පු පොහොර ප්‍රතිපත්තිය අකුලගනින් කියලා.

දැන් ෆේල් වෙච්ච ජනාධිපති ඉල්ලනවා තව චාන්ස් එකක්. දෙන්න ඕනාද ? නෑ දෙන්න බෑ. එතකොට කට්ටිය අහනවා එහෙනංකවුද ගේන්‌නේ කියලා. අපි කියනවා ජනාධිපති විතරන් නෙමෙයි පුටුවත් ගෙදය යවන්න ඕනි.

දැන් මේ අරගලයත් එක්ක අළුත් බලයක් ඇවිත් තියෙනවා. මොකක්ද බලය. ඇත්ත ජනතා බලය. ඒක දැන් පේන්න පටන් අරගෙන තියෙනවා. දැන් මේ බලය අපි සංවිධානය කරන්න ඕනා. එතකොට තමයි අපිට මේ බලය ශක්තිමත්ව වගේම අරමුණු නිවැරදිව ජයගන්න පුලුවන් වෙන්නේ. ඒ පනිවඩුය අරන් අපි ගෙයක් ගෙයක් ගානේ යන්න ඕනි. සංවිධානය වෙන්න ඕනි.

ඒ වගේම මේ සාගතයේදී අපිට බැහැ පාලකයෝ වගේ නිකං බලාගෙන ඉන්න. අපිට අපේ ගමේ මිනිහා රැකගන්න ඕනි. අපිට අපේ අම්මා තාත්තාව රැකගන්න ඕනි. අපේ සහෝදරයා සහෝදරියව රැකගන්න ඕනි. අපේ දරුපැටවුන්ව රැකගන්න ඕනි.

එහෙම රැකගන්න නම් අපි බෙදාහදාගන්න ඕනි. මේ අර්බුධයෙදි පුරවගෙන පැත්තකට වෙන්න හදන්න එපා. එහෙම උනොත් අපි පරදිනවා. මේ අර්බුධයට අපි ලෑස්තිවෙන්න ඕනි හැමකෙනාවම එකතුකරගෙන. හැම එකාවම ආදරයෙන් රැකගෙන ඉදිරියට යන්න ඕනි. ඒක තමයි ජන අරගල ව්‍යාපාරයේ පනිවුඩය. මේක අපි එහෙම කරන්න ඕනි.  මේ අර්බුධය ඉදිරිපිට අසීරුම වෙලාවේ අපි ඔබෙන් ඉල්ලනවා, මනුස්සකම රැකගන්න. මේක හිගන්නෙකුට රුපියල් 5ක් 10ක් 20ක් 30ක් දීලා විසදන්න පුලුවන් ප්‍රශ්ණයක් නෙමෙයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *