Latestදේශීය

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසයි

ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට මාස 38ක් ගතවන මොහොතේ ඒ පිළිබඳ පරීක්ෂණ තීරණාත්මක ලෙස යට ගැසීම සඳහා දෙදෙනෙකුට ඇමතිකම් ලබාදී ප්‍රධාන චූදිතයෙකු වී සිටින පොලිස් නිලධාරියාට උසස්වීමක් ලබාදී තිබේ.

ඇමතිකම් ලබාදී තිබෙන්නේ මනූෂ නානයක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනාට ය. එවකට පොහොට්ටු පක්ෂයේ බලවත් විරෝධයන් මැද පාර්ලිමේන්තුවේදී මේ දෙදෙනා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලාත්මක ප්‍රකාශ සිදු කරනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ විසින් හරීන් ප්‍රනාන්දුට සංචාරක සහ ඉඩම් ඇමතිකම ලබාදී ඇති අතර මනුෂ නානයක්කාරට කම්කරු සහ විදේශ රැකියා ඇමතිකම ලබාදී තිබේ.

එයට පෙර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට ද්වේශ සහගත ප්‍රචාරයන් දියත් කර ඇති බවය. එසේම පාස්කු ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් තුවාන් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු නිසි පරිදි වාර්තා නොකිරීමේ ප්‍රධාන චූදිතයෙකු වී සිටින හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයක් දක්වා උසස්වීම් ලබාදී ඇත. එම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර ද ඉන්දීය බුද්ධි අංශ විසින් මෙම නිලධාරියාට ලබාදී තිබූ තොරතුරු සහ දුරකතන ඇමතුම් සම්බන්ධ දත්ත මකා දැමීම පිළිබඳ චෝදනා එල්ලවී තිබේ. ඔහුගේ ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිගණකයෙන් එයට අදාළ සියලු තොරතුරු මකා දැමූ බව පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඇමතිධූර ලබාදී රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකට උසස්වීම් ලබාදී ඇත. මේ වනවිට රටේ පවතින උග්‍ර ඉන්ධන සහ ආහාර අර්බුදය හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සියලු දෙනාගේ අවධානය ගිලිහී යමින් තිබේ.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *