“ලංකාවේ අර්බුදය – කළ යුත්තේ කුමක්ද?” අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (අවසාන කොටස)
දේශපාලනය කිරීම යනු පවතින සමාජය වෙනස් කිරීම සඳහා සක්‍රීය මැදිහත්වීමකි. බොහෝදෙනා සිදුකරන්නේ සමාජ ප්‍රශ්න පාර්ලිමේන්තුවට හෝ පක්ෂයකට හෝ ජනාධිපතිට හෝ සම්පූර්ණයෙන් බාර දීමයි. ඔවුන් විසඳිය යුතු ප්‍රශ්න ලෙස දකින්නේ සිය පවුල හෝ පුද්ගලිකව මුහුණ දෙන ප්‍රශ්නයි. ඔවුන් අවංකව, සැබෑවටම සක්‍රීයව දායක වන්නේ සිය පුද්ගලික ප්‍රශ්න වලදීය. ඒ ප්‍රශ්න විසඳීමට ඇති උනන්දුව, කාලය, අනුරාගිකත්වය, කොන්දේසි විරහිත කැපවීම හෝ අවදානම ගැනීම දේශපාලන ප්‍රශ්න වලදී සිදුකරන්නේ නැත. දේශපාලනය රැඩිකල්ව හෙවත් පදනම් සහගතව වෙනස් කිරීමට අවශ්‍ය නම් කලයුතු පළමු පියවර වන්නේ ‘දේශපාලනය’ යනු සිය ආශාව හා බැඳුණු ප්‍රස්තුතයක් ලෙස සැලකීමයි. සමාජයේ රැඩිකල් වෙනසක් බලාපොරොත්තු වන්නෙක් දේශපාලන වගකීම අනෙකෙකුට බාර දිය නොහැක. ඊට නියෝජිතයන් නොමැත. කල යුත්තේ ඔබ දේශපාලනය කිරීමයි.
අයෙක් මෙසේ දේශපාලනිකව සංවිධානය වන්නේ නම් එසේ කිරීමට අවශ්‍ය වන මූලික තත්ත්වය වන්නේ දැනටමත් පවතින සමාජය අසම්පූර්ණ එකක් වීමයි. මේ අසම්පූර්ණත්වය සංකීර්ණය. උදාහරණයකට ‘සාධාරණත්වය’ නම් සාධකය සැලකුවහොත් සමාජයක් අසම්පූර්ණය. එනම් සමාජය අසාධාරණයන් මත ගමන් කරමින් සිටී. එවිටම පැනනගින ගැටළුවක් වන්නේ අසාධාරණය මෙහෙයවන්නෝ කව්රුන්ද යන්නයි. එසේම සාධාරණත්වය ලෙස ඔබ අර්ථවත් කරනා සමාජයේ මූලික ක්ෂිතිජයන් මොනවාද යන්නයි. දේශපාලනයට දේශපාලන අභිලාෂයන් එක් වන්නේ මෙතැනදීය. එනම් ඔබ ජයගතයුතු අභියෝගය ලෙස හඳුනාගන්නේ කුමන මූලික සාධකද යන්නයි. නියත ලෙසම මෙහිදී සියල්ලෝ එක් අරමුණක් සලකුණු නොකරනා අතර දේශපාලන අභිලාෂයන් වෙත තබනා බර මත විවිධ දේශපාලන ධාරාවන් නිර්මාණය වේ. එවිට ඔබ එක්කෝ එක් දේශපාලන ධාරාවක් තෝරාගත යුතුය. නැතහොත් මෙතුවක් නොපැවති දේශපාලනයක් ඔබ විසින්ම නිර්මාණය කල යුතුවේ. මේ කුමන තීරණයක් ගත්ත ද මූලිකව ඔබ පුද්ගලික තලයෙන් ‘සමාජයීය’ තලයට මාරු වීමේ තීරණය ආත්මීයය. ඒ අර්ථයෙන් දේශපාලනයක් තෝරාගැනීම යනු ආත්මීය තීරණයකි.
කල හැක්කේ කාටද?
දේශපාලනයේ වැදගත්ම සාධකයක් වන්නේ දේශපාලනික මැදිහත්වීම සිදුකරනා ආකෘතිය නිර්මාණය කිරීමයි. මෙය කිසිසේත්ම සරළ නැත. තනි තනි පුද්ගලයන්ට සමාජය වෙනස් කල හැකි බව ද දැන් දැන් වඩ වඩාත් ජනප්‍රිය දෘෂ්ටිවාදයක් වෙමින් පවතී. ක්ෂුද්‍ර තලයේ ගෙදර ගසක් වගා කිරීමෙන් පරිසර ප්‍රශ්නයත් දකින කුණු ඉවත් කිරීමෙන් කසළ ප්‍රශ්නයත් ගෙවතු වගා මගින් ආහාර ප්‍රශ්නයත් විසඳිය හැකි යැයි ඇතැමුන් කල්පනා කරති. ඔවුන් ශිෂ්ටාචාරයේ අසීරු ගෝලීය අර්බුද ආමන්ත්‍රණය කිරීම වෙනුවට දේශපාලනය කුඩා කුඩා සදාචාර විසඳුම් බවට ඌණනය කරමින් සිටිති. ඔවුන්ගේ උදාන වාඛ්‍යය වන්නේ “තම තමන්ට පුලුවන් විදිහට පොඩියට දායක වෙමු” ලෙසයි. මිනිසුන් ඒ අර්ථයෙන් ‘ශ්‍රේෂ්ඨ සාමූහික අරගල’ තවදුරටටත් විශ්වාස නොකරයි. එක් අතෙකින් විසිවැනි සියවස යනු එවන් සාමූහික අරගල වල කූටප්‍රාප්තිය නම් විසි එක්වෙනි සියවස යනු පුද්ගලවාදය මූලික විකේන්ද්‍රීය තත්ත්වයකි. එසේම මෙකල මහේක්ෂ තලය සැලකීමේදී පක්ෂ හෝ සමාජ ව්‍යාපාර වෙනුවට සමාජ – විමුක්තිය වෙනුවෙන් පුද්ගලයන් ආදේශ වේ. මේ යුගයේ මිනිසුන් විශ්වාස කරන්නේ හොඳ, විශිෂ්ට, බුද්ධිමත්, අවංක, දක්ෂ තනි පුද්ගලයකු හරහා සමාජ ප්‍රශ්න සඳහා විමුක්තියක් අත්පත් කරගත හැකි බවයි. ලංකාවේ නම් 2020 දී පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යනු මේ දෘෂ්ඨීවාදයේ කූටප්‍රාප්තියයි. එවැනි විශ්වාසයක ප්‍රතිඵලය අවම වශයෙන් ලාංකිකයන් උපරිමයෙන් අත්වින්දේය. ප්‍රතිඵලය වූයේ ඔහුගේ දේශපාලන බලවේගයත් රටත් ගැඹුරු දේශපාලන – ආර්ථික අගාධයකට ලක්වීමයි. මෙය ලංකාවට පමණක් සුවිශේෂී වූවක් නොව සමස්ත ලෝක ප්‍රජාව තුළම සාමූහික දේශපාලනය පිළිබඳව පවතින ගැඹුරු ඛාදනයන් උදෙසා බලපා ඇති තත්ත්වයකි.
විසිවැනි සියවසේ ඉදිරිපත් වූ සාමූහික දේශපාලන පක්ෂ ආකෘති බොහෝමයක් කෙළවර වූයේ ඒකාධිපතිවාදයන් හෝ නිලධාරිවාදයන් ලෙසිනි. පළමු හා දෙවැනි ලෝක යුද්ධවල සිට සෝවියට් දේශය බිඳවැටීම දක්වා දිගු හා සංකීර්ණ ඉතිහාසයකට මේ තත්ත්වය උරුමකම් කියයි. එතැන් පටන් උරුම වූ දේශපාලනය වූයේ සභාගවාදයකි. මහා පරිමාණ වාමාංශික දේශපාලනය පක්ෂ වෙනුවට විශේෂයෙන් වෘත්තීය සමිතිවාදයන්ට වම සීමා වූ අතර ඒ හරහා සමස්ත සමාජ ප්‍රශ්න සුවිශේෂ ක්ෂේත්‍ර වල වෙන් වෙන් ප්‍රශ්න බවට ඌණනය කෙරිණ. වෙන් වෙන්ව සටන් සංවිධානය විය. එසේම උද්ඝෝෂණ හෝ වැඩවර්ජන ක්‍රියාමාර්ග පවා පුවත් නිර්මාණය කිරීමේ ජනප්‍රිය ප්‍රචාරකවාදයක් වූ අතර ධනේශ්වර නිෂ්පාදන ආකෘතියට සැබෑ බාධාවක් නොවීය. දැන් වෘත්තීය සමිති යනු නිලධාරිවාදයේ තෝතැන්නක් වී ඇත.
පක්ෂවලට හෝ පාර්ලිමේන්තුවට රිංගා ගැනීමේ කෙටි මගක් බවට දැන් වෘත්තීය සමිති ඌණනය වී ඇත. නමුත් ලංකාවේ නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දෙන විදෙස් ශ්‍රමිකයන් හෝ වතු කම්කරුවන් හෝ අඩමාන ශ්‍රමිකයන් හෝ ඇඟලුම් ශමිකයන් වෙනුවෙන් බලපෑම් සහගත වෘත්තීය සමිති නොමැත. අසීරු සංවිධානය වීම් වෙනුවට ඇත්තේ චාරිත්‍ර ඉටුකරන වෘත්තීය සමිතිය. වඩා බලවත්, ප්‍රකට වෘත්තීය සමිති යනු සුරක්ෂිත රැකියා ඇති, මාසික පඩි ලබනා රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතනවල වෘත්තීය සමිතිය. මේ යුගයේ ශ්‍රමය සංවිධානය වීමේ නවතම ආකෘතිය වන අඩමාන ශ්‍රමය වගුරන ශ්‍රමිකයන්ට වෘත්තීය සමිති නියෝජනයක් හෝ අවම වශයෙන් නොමැත.
බහුජන දේශපාලන බලවේග ලෙස නාමිකව එකතුවන ව්‍යාපාර සහිත සාමූහික සටන් යනුම ඒ අර්ථයෙන් බරපතළ සීමා සහිත නියෝජනයන්ය. ඒ සටන් කරන්නන් යනු දැනටමත් වරාප්‍රසාදිත තත්වයන් මත සිටින්නන් වන අතර සමාජ දේශපාලන තලයෙන් පිටමංකරන ලද අඩමාන ශ්‍රමිකයන් වැනි කම්කරුවන් යනු තවදුරටත් දේශපාලනය තීරණය කිරීමේ පිරිසක් නොවේ. මීට අමතරව විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතව ශ්‍රමය වගුරන කම්කරුවන් සැලකුව ද තත්ත්වය මෙසේමය. ඔවුන් නියෝජනය වන විධිමත් සංවිධානාත්මක දේශපාලන නියෝජනයක් ද නොමැත. එක් අතකින් විසිවන සියවස පුරාවට ධනවාදය විසින් වර්ධනය කල කම්කරු ශ්‍රමය විකේන්ද්‍රීය කිරීමේ විධිමත් ව්‍යාපෘතිය සාර්ථක වී ඇත. පිරිසිදු කිරීමේ කම්කරුවෙකු සැලකුවහොත් ඇය හෝ ඔහු එක් ස්ථානයක පවා දිගින් දිගටම වැඩ කරන්නේ නැත. දැන් දැන් ඇඟලුම් හා ආයෝජන කලාප වල ශ්‍රමය පවා මේ ආකෘතියෙන් විකේන්ද්‍රීය කෙරී ඇත. සමාජ අසාධාරණය මුල්කොට දේශපාලනය කරනා දේශපාලන ව්‍යාපාරයන් පවා මෙවැනි නව ශ්‍රමික ව්‍යුහ උදෙසා සංවිධානාත්මක සැලසුම් සකස් කිරීමට හෝ මැදිහත්වීමට අපොහොසත් වී ඇත. ඔවුන්ව සංවිධානය කරන්නේ එන්. ජී. ඕ විසිනි.
ශ්‍රමය වගුරන කම්කරුවන් වෙනුවට දේශපාලනය තීරණය වන්නේ දක්ෂිණාංශික ජාතිකවාදී හා ලිබරල් ප්‍රතිසංස්කරණවාදී පාර්ශව මගිනි. මොවුන් වෘත්තීය සමිති, නව සමාජ ව්‍යාපාර, බහුජන ව්‍යාපාර, කුඩා කණ්ඩායම්, ලිබරල් බුද්ධිමය කව, කුඩා වාමාංශික පක්ෂ ආදී වශයෙන් ක්‍රියාත්මක වේ. එහිදී පැරණි පූර්ණ කාලීන පක්ෂ කාඩර්වරයා ලෙස වාමාංශික දේශපාලනය තුළ ගොඩනැගුනු වෘත්තීය දේශපාලන ක්‍රියාධරයා වෙනුවට ඉන්නේ අර්ධ කාලීන හෝ කිසිසේත්ම සමාජය සංවිධානය වෙනුවෙන් කාලය කැප නොකරන පුද්ගලයන් ගොන්නකි. ඔවුන් පඩියක් ලබන නියෝජිතයන්ය. ඔවුන් සමාජ ප්‍රශ්න නිසා පඩියකට අමතරව අනන්‍යතාවයක් ද ලබා ගනී. එක් අතෙකින් පක්ෂයක පැවති මතවාදී එකඟත්වයන් වැනි සරළ කේන්ද්‍රයක් හෝ මේ අය අතර ගොඩනැගීම ඉතා අසීරු වී ඇත. ඇත්තේ ඒ ඒ ආයතන වල වාර්ෂික වාර්තා අරමුණුය. ඔවුන් දේශපාලනය කරන්නේ ජීවදත්ත පත්‍රිකා සඳහාය. නැතහොත් විදෙස් සමුළු සංචාර වැනි සිල්ලර වරප්‍රසාද උදෙසාය. ඔවුන්ට ශක්තිමත් දේශපාලන ස්ථාවර නොමැත. මෙවැනි සාමූහික හෝ බහුජන ව්‍යාපාර හෝ සභාග වලදී ලිබරල්, කොමියුනිස්ට්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පමණක් නොව ධනවාදී හෝ ජාතිකවාදි පිරිස් පවා බාර ගැන්මට හෝ සන්ධාන ගතවීමට බලකෙරෙනා දෘෂ්ටිවාදී රාමුවක් ගොඩනැගී ඇත. සරළව කිවතොත් මෙවැනි ඒකරාශීවීම් වල දෘෂ්ටිවාදී පදනම බහුත්වවාදයයි. මේවා අතර සංවාදයක් පැවතුන ද තීරණ ගෙන ක්‍රියාවේ යෙදවීමේදී බහුත්ව නියෝජනය ආරක්ෂා කිරීමට සිදු වේ. එහිදී මහජනයා වෙනස් කිරීමට බලපෑම් කිරීම වෙනුවට සිදුවන්නේ සිල්ලර සම්මුතිගත වීම්ය. ඔවුන් කිසිසේත්ම විප්ලවවාදී නැත. එනම් ක්‍රමය සැබෑවටම වෙනස් කිරීමට වෙහෙසෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ක්‍රමයේ අර්බුදයෙන් යැපෙන්නන්ය. මහජනයා විවේචනය කිරීමේ දේශපාලනය මෙවැනි අයට අවදානම් සහගතය. එසේ වුවහොත් සිදුවන්නේ පිරිස් විසිර යාමයි. එසේම ඊනියා විකල්ප දේශපාලනය තුළ නියලෙන පිරිස් මෙවැනි එක්වීම් හා විසරයෑම් නිසා තවදුරටත් පුදුම නොවන තරම් එය ස්වභාවික ක්‍රියාවලියක් ද වී ඇත. ඔවුන් එලෙස එකම දේ කරමින් පවතී. ඔවුන්ට වෘත්තීය සමිති හෝ අනෙකුත් නව සමාජ ව්‍යාපාර වලින් ලැබෙනා වේතනය දිගටම හිමිවේ. මොවුන් ඊනියා පඩි ලබන ක්‍රියාධරයන්ය.
කල යුත්තේ කෙසේද?
විශේෂයෙන් වාම ක්‍රියාකාරීන් අතර චාරිත්‍රයක් මෙන් මෙවන් පුද්ගලයන්ගෙන් සමන්විත කව හා කමිටු නොනවත්වා නිර්මාණය වන අතර බරපතළ කල්ලිවාදයන් හෝ න්‍යායික නොඑකඟතා මත ඇතැම්විට විසිර යාම් ද සිදුවේ. නැතහොත් ඉතා සීමිත පිරිසකට සාකච්ඡා හෝ සංවිධාන සීමාවේ. දැනට ජනතාව සංවිධානය කිරීම නම් ක්‍රියාවලිය තුළදී සාර්ථක වී ඇත්තේ ලංකාවේ ප්‍රධාන පක්ෂ වල ප්‍රාදේශීය අනුග්‍රාහක දේශපාලනයේ නිරතවන මැතිවරණ සංවිධායකයන්ය. ජවිපෙ හෝ ජාජබ වැනි පක්ෂ පවා දැන් ඉන්නේ එවන් ඡන්ද සූදුවකය. ඊනියා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේය. ඔවුන්ගේ දේශපාලන ඉලක්කය හෝ ක්ෂිතිජය වන්නේ පාර්ලිමේන්තුව හරහා කරනා මැදිහත්වීම්ය. ඔවුන් ද ජනතාව විවේචනය නොකරන නමුත් ජනතාව පත්කල පාලකයන්ව පමණක් විවේචනය කරයි. ජාජබ ද සාම්ප්‍රදායිකව ‘හොඳ මිනිස්සු’ සොයා ඔවුන්ව පාර්ලිමේන්තු යවා, ඒ හරහා සමාජය වෙනස් කිරීමේ ඊනියා සදාචාර දෘෂ්ටියකින් දේශපාලන උපායමාර්ග සොයමින් සිටී. අපි දැනට ඔවුන්ට සුබපතමු !
‘පද්ධති වෙනස’ හෙවත් ‘සිස්ටම් චේන්ජ් ‘ යනු ධනවාදයේ කේන්ද්‍රයක් වූ ඇමරිකාවේ ඔබාමාගේ සිට පරිවාරයේ රටක් වූ ලංකාවේ ගෝඨාභය දක්වා වූ උදාන වාඛ්‍යකි. එපමණක් නොව ඔවුන්ට විරුද්ධව නැගීසිටිනා ඊනියා මහජනයාගේ ද ජනප්‍රිය සටන්පාඨය වන්නේ සිස්ටම් චේන්ජ්ය. කිසිවෙකුත් මේ කරන්න යන පද්ධති වෙනස කුමක්දැ’යි තමන්ගෙන් විමසාගන්නේද? පද්ධතිය යනු කුමක්ද? එය වෙනස් කල යුත්තේ ඇයි? වෙනස් කිරීම යනු කුමක්ද? එය කල යුත්තේ කෙසේද? මේ අයෙක් බැරෑරුම්ව දේශපාලනයේ නිරත වන්නේ නම් තමන්ගෙන්ම නිරන්තරයෙන් අසාගත යුතු මූලික ප්‍රශ්නයි.
මීට ධනේශ්වර ලිබරල් දේශපාලනයේ නිරත වන්නෙක් යෝජනා කරනුයේ ව්‍යවස්ථා වෙනස්කම් මගින් හෝ දැනටමත් පවතිනවායැයි කියනා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ හරහා සමාජයේ යහපත් පද්ධති වෙනසක් සිදුකිරීමයි. එහිදී ඔවුන්ගේ සංවිධානය කරනා පිරිස වන්නේ මහජනයායි. මීට ප්‍රතිපක්ෂව කොමියුනිස්ට් දේශපාලනයේ යෝජනාව වන්නේම දැනටමත් ගොඩනැගී ඇති සමාජ ආයතන පද්ධතිය පවා ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය රැකීමේ නිළ ආරක්ෂක රාමුව බවයි. එහිදී රැඩිකල් හෙවත් පදනම් සහගතව සමජයේ නිෂ්පාදන ආකෘතියේ අසමානතාව හෝ අයුක්තිසහගත බවට විරුද්ධව පෙනී සිටිනා කොමියුනිස්ට් ව්‍යාපාරයක් ධනේශ්වර රාජ්‍ය පද්ධතියම ප්‍රශ්න කරයි. කොමියුනිස්ට් දේශපාලනයේ සංවිධාන ඉලක්කය වූයේ පංති දේශපාලනයයි. තරඟකාරී වෙළඳපල ක්‍රමය ප්‍රශ්න නොකරන ලිබරල්වාදීන්ට ධනේශ්වර රාජ්‍ය ආකෘතිය සමග ව්‍යුහාත්මක ගැටලුවක් නොමැත. ඔවුන්ට ඇත්තේ ඊනියා පරිපාලන ගැටළුවකි. උදාහරණයකට ජනප්‍රිය දෘෂ්ටිවාදයක් වන “මහන්සි වෙලා වැඩ කලොත් ඕනෙ කෙනෙකුට දියුණු වෙන්න පුලුවන්” වැනි තර්කයක් බලමු. මෙහි ‘දියුණුව’ වන්නේ සමාජ නිෂ්පාදන පරිභෝජන හැකියාවයි. මේ සඳහා ඔවුන් සමාජයේ එසේ දියුණු වූ විවිධ හුදකලා පුද්ගල උදාහරණ ද පෙන්වනු ඇත.
නමුත් අර්බුදය වන්නේ කම්කරුවන් හෝ නිර්ධනයන් වැනි ඕනෑම නියෝජනයක මිනිසුන් ජීවිත කාලයම පමණක් නොව පරම්පරා වශයෙන් සැලකුව ද ව්‍යුහාත්මක බැහැර කිරීමකට ලක්කරන යන්ත්‍රණයක් ධනේශ්වර රාජ්‍ය ඓතිහාසිකව ගොඩනගා තිබීමයි. කොපමණ මහන්සි වුව ද ඔවුන් දියුණු වන්නේ නැත. ක්‍රමයේ මූලික අසාධාරණය ඇත්තේ නිෂ්පාදනය හා ශ්‍රමය අතර සම්බන්ධයේය. ඔබ පද්ධතිය කියන්නේ එම නිෂ්පාදන ක්‍රමයට නම් ඔබට ආණ්ඩු මාරුවකින් හෝ හොඳ මිනිසුන් පාර්ලිමේන්තු යැවීමෙන් හෝ හිතේ වරදකාරීත්වය මගහැරවා ගැනීමේ පුංචි පුංචි පිං අතේ සුබසාධන වැඩ වලින් සමජය වෙනස් කල හැකිද?
කල යුත්තේ කුමක්ද?
මේ ලිපිමාලාව මාතෘකා දහයක් ඔස්සේ මේ දක්වා රචනා කෙරුනේ ලංකාවේ සමාජය දැනටමත් සංවිධානය වී ඇති සංකීර්ණ සමාජ පදනම් දේශපාලනිකව විශ්ලේෂණයට හා විචාරයට ලක්කර ගැනීමටයි. ඊට යොදාගත් නිමිත්ත වූයේ අප්‍රේල් මස සිදු වූ සමාජ නැගිටීමයි. අප්‍රේල් නැගිටීමට මේ ලිපි මාලාව තුළ සවිඥානිකවම ‘අරගලය’ නම් යෙදුම භාවිත නොකොට ‘නැගිටීම්’ නම් යෙදුම භාවිත කලේ සමාජය සංවිධානය වී ඇති පුද්ගලවාදය, ජාතිකවාදය, ප්‍රභූවාදය, දේශපාලන ආර්ථිකය, භු දේශපාලනය, ජනප්‍රියවාද ආදී කිසිදු දේශපාලන ප්‍රපංචයක් පදනම් සහගත ලෙස ප්‍රශ්න කිරීමක් හෝ ඒවා ඉලක්කගත සංවිධානාත්මක ‘අරගලයක්’ 2022 අප්‍රේල් නැගිටීම් තුළ නිරීක්ෂණය කල නොහැකි නිසාය. ගෝල්ෆේස් හී වූයේ රාජපක්ෂ විරෝධයකි. එහි මුල් සටන්පාඨය වූ ‘ගෝටා ගෝ හෝම්’ යන්න හෝ අවම වශයෙන් තාමත් ජයගෙන නොමැත. ඒ අර්ථයෙන් මේ ක්‍රියාවලියම යනු හුදු ‘ජනප්‍රිය නාගරික මධ්‍යම පංතික මහජන නැගිටීමකි’. බොහෝ විකල්ප බුද්ධිමතුන් හා ක්‍රියාධරයන් හඳුනාගන්නා ආකාරයේ බරපතළ සමාජ වෙනසක් මේ මගින් සිදු නොවුන බවට මේ ලිපි මාලාව මගින් තර්ක කෙරෙයි. ඒ වෙනුවට අප්‍රේල් නැගිටීම් වල නිරීක්ෂණය කල හැක්කේ සිද්ධිවාචික සුවිශේෂී දේශපාලන සන්ධිස්ථානයකි. ඒ බව තෝරාගත් දේශපාලනික තේමා දහයක් ඔස්සේ දීර්ඝව, නමුත් හැකිතාක් සරළව මේ ලිපිපෙළ හරහා විචාරයට ලක්කෙරිණ. විවිධ පරම්පරා දේශපාලනය අත්විඳින්නේ විවිධ ආකෘති මගිනි. ගෝල්ෆේස් නැගිටීමේ එකම සාධනීය කාරණය ලෙස නව තරුණ පරම්පරාවක් මේ හරහා ‘පොදු සාමූහික දේශපාලනය’ යනු කුමක්දැ’යි යන්න පිළිබඳව ඡායාමාත්‍ර අත්දැකීමක් හෝ ලැබූ බව පමණක් නම් පිළිගත හැක.
නමුත් ඉතා ශක්තිමක් කේන්ද්‍ර සහිතව සංවිධානය වන ගෝලීය ධනවාදය හා සසඳන විට ගෝල්ෆේස් නැගිටීම් හි දේශපාලනයක් සලකුණු කිරීම ඉතා අසීරුය. එය හුදු ලිබරල් උප සංස්කෘතියකි. ජූනි මස මේ ලිපිපෙළ අවසන් වනවිට දැන් ගෝල්ෆේස් ගෝටා ගෝ ගම යනු මිනිසුන් රහිත කූඩාරම් පමණක් සහිත බිමක් වී ඇත. ගෝටා ගෝ ගමට ආරම්භක ජනප්‍රිය ජවය රඳවා තබා ගැනීමේ සංවිධානාත්මක ව්‍යුහයක් නොවීය. මේ තත්ත්වය ගෝල්ෆේස් නැගිටීමට දායක වූ අයගේ පමණක් නොව අප සැමගේම යුගයේ දේශපාලන සීමාවකි. එනම් සාමූහික සංවිධානය වීම් යනු දැන් ව්‍යාජ, කෙටිකාලීන පැවැත්මවල් වීමයි. පොදු, ඉලක්කගත, බැරෑරුම්, කැපවීමේ හා වෙනස්වීමේ දේශපාලන භාවිතයක් සංවිධානය කිරීම මේ යුගයේ අසීරුම දේශපාලන අභ්‍යාසය වී ඇත. එනිසා ව්‍යාජ, කෙටිකාලීන සම්මුතිගත වීම් බහුල වී ඇත. ගෝල්ෆේස් නැගිටීමේ ද දක්නට ලැබුනු බරපතළම දුර්වලතාවක් වූවේ බහුජන තලයේ එය උත්කර්ෂවත් කිරීමට මිස ඊට සාධනීය විවේචනයක් එල්ල කිරීමට කිසිවෙකුත් නොසිටීමයි. අභ්‍යන්තර විවේචනය යනු දේශපාලනයේ තීරණාත්මකම සංඝටකයකි. දෘෂ්ටිවාදය විචාරය මිස අපට විමුක්තිය පවත්වාගත හැකි අන් මගක් සලකුණු කල හැකිද? අලංකාරික හරහා ගෝටා ගෝ ගම වැනි නාගරික උප සංස්කෘතියක් බරපතළ දේශපාලනයක් ලෙස බොහෝ දෙනා සැලකීමම එක් අතකින් මේ යුගයේ දේශපාලන චින්තනයේ සීමාවන් බරපතළ ලෙස හෙළිදරව් කල අවස්ථාවකි.
දැන් නැවතත් කව්රුන් හෝ විසින් සියල්ල වෙනස් කරවන සිදුවීමක් කරනා තුරු සියල්ලෝ දෑස් දල්වා බලා සිටිති. දේශපාලනය අනෙකාට බාරදුන් නිර්පාක්ෂික, අරාජික ගෝල්ෆේස් නැගිටීම යනු මේ යුගයේ දේශපාලනය සංවිධානය කිරීමට අපොහොසත් බවේ සංකේතයක් හැර අන්යමක්ද? දැන් නැවතත් බලශක්ති අර්බුදය ගෑස් හා ඉන්ධන හිඟය හරහා උණුසුම් වී ඇත. පොහොට්ටු පක්ෂය දුර්වල වීමත් සමග මාධ්‍ය සමාගම් විසින් ධම්මික පෙරේරා, චම්පික රණවක, ඩලස් අලහපෙරුම ආදී මීලඟ ජනප්‍රිය දේශපාලන හැරවුම් වෙත මාතෘකාව මාරු කරවමින් පවතී. රනිල් වික්‍රමසිංහ හෝ අන් අයකු IMF හෝ වෙනත් ණය මාර්ගයක් හරහා මූලික පරිභෝජන අවශ්‍යතා පිරවුවහොත් තත්ත්වය කෙසේ වෙනස් වෙයිද? පරිභෝජනවාදී මහජනයා දිගටම සටන් කරයිද? ආර්ථික අර්බුදය තාවකාලිකව හෝ විසඳීමට ජනප්‍රිය පාලකයන් අසමත් වුවහොත් දැනටමත් දිය වී ඇති ගෝල්ෆේස් වෙනුවට රටපුරා අවිධිමත් කැරළි ඇතිවීමක් සිදුවිය හැකිද? මේ යුගයේ ආපදා ධනවාදයේ ගෝලීය භූ දේශපාලනය යනුම එවන් ස්වභාවික, වසංගත, ආර්ථික අර්බුද හෝ කැරළි ආදී ඕනෑම ඛේදවාචකයක් පවා යළි ලාබ ලැබීමේ බහුජාතික උල්පතක් බවට පරිවර්තනය කරගැනීමක් වීමක් විනා ඕපපාතිකව විප්ලව සිදුවන යුගයක් නොවේ.
දේශපාලන ගැටළු අවබෝධ කරගෙන ‘මිනිසුන් ඉබේම නැගිටීවි’ කියා බලාසිටීම වෙනුවට සක්‍රීයව හා සංවිධානාත්මකව මැදිහත් වීමේ දේශපාලන භාවිතයක් අප නැවත පණගැන්විය යුතුය. කුමන ආකෘතියකින් හෝ දේශපාලනය පූර්ණ කාලීන භාවිතයක් කරගත් බරපතළ ලෙස සමාජය සංවිධානය කරනා නව දේශපාලන සංවිධානයක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කල යුතුය. ගෝලීය දේශපාලනයේ ද අසමත් බව ඇත්තේ එතැනය. ධනවාදයේ ප්‍රමුඛතම දෘෂ්ටිවාදය ලෙස පුද්ගලවාදය ශක්තිමත් වී පොදු දේශපාලන සංවිධාන යනු මේ යුගයේ අසීරුම මිනිස් ආකෘතියක් බවට පත්කරවා ඇත. පුද්ගලයන් සංවිධානවලට වඩා ශක්තිමත් වී ඇත.
වාමාංශික දේශපාලනය තුළ සිදු වී ඇති මූලධාර්මික බෙදීම් ද මෙහිදී තීරණාත්මක භූමිකාවක් දරනු ඇත. එක් අතෙකින් සාම්ප්‍රදායික – සම්භාව්‍ය කොමියුනිස්ට් දේශපාලන පක්ෂ ක්‍රමය බරපතළ සීමා සහිතව අර්බුදයට ගොස් ඇත. ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෝ සමාජවාදී සමානතා පක්ෂය මීට උදාහරණය. ලංකාවේ තත්ත්වය සුවිශේෂීය. ලංකාවේ වාම න්‍යායික සංවාදය පසුගිය දශක කිහිපයක් තිස්සේ පක්ෂ යාන්ත්‍රණයකින් එපිට වර්ධනය වූ අතර න්‍යායික සංවාදය කරනා පිරිස කිසිදු බැරෑරුම් දේශපාලන සංවිධානාත්මක උත්සාහයක නිරත නොවන්නන්ය. පවතින සාම්ප්‍රදායික පක්ෂ ක්‍රියාධරයන් යනු චාරිත්‍ර මෙන් සාදාගත් කාලසටහනක් ක්‍රියාවේ යොදවමින් සිටිනා පිරිසක් වී ඇත. අනෙක් පසින් වාම ජනප්‍රියවාදය හරහා කොමියුනිස්ට් දේශපාලනයේ දාර්ශනික හා සංවිධානාත්මක සංකල්ප විකේන්ද්‍රීය කර ඇත. ඉහත දැක්වූවේ සම්ප්‍රදායික පක්ෂ හා නව ජනප්‍රියවාදී ව්‍යාපාර ලෙස අද දවසේ වාම දේශපාලනය සීමා වී ඇති අන්ත දෙකයි.
ජවිපෙ දැන් එහි එක් අන්තයකට ගොස් ඇත. පෙසපෙ සයිටම් වැනි ශිෂ්‍ය අරගල හරහා පාර්ලිමේන්තුවෙන් පිටත දේශපාලන ආකෘතියක් දුර්වලතා මධ්‍යයේ වුවත් උත්සාහ කරමින් සිටිති. අධ්‍යාපනය පුද්ගලීකරණය ලංකාවේ සියලු මූලික ධනේශ්වර පක්ෂ වල මෙන්ම ගෝලීය ධනවාදයේ ද අවශ්‍යතාවක් වන නමුත් ලංකාවේදී ඒ අරගලය ජයග්‍රහණය කලේ මැතිවරණවලදී ඡන්ද නවදහසකට ආසන්න ප්‍රමාණයක් පමණක් හිමි කරගන්නා පෙසපෙ නායකත්වය යටතේ වීම සුවිශේෂී, නමුත් තාවකාලික වාම දේශපාලන ජයග්‍රහණයකි.
න්‍යායිකව වාම ජනප්‍රියවාදය හා ඊට ප්‍රතිපක්ෂ සාකච්ඡාව ඉතා තීරණාත්මක අතර අනාගත කොමියුනිස්ට් දේශපාලනයක පදනම මේ න්‍යායික හා භාවිත අරගලයක් හරහා සංවිධානාත්මකව මතුවිය යුත්තකි. නැවතත් දේශපාලනයේ අවසන් සත්‍ය දන්නා බාහිර අනෙකෙකු හෝ දේශපාලනය චාරිත්‍රයක් බවට ඌණනය වූ සමකාලීන පක්ෂ ආකෘතිය වෙනුවට දේශපාලනය ආත්මීය අනුරාගයක් කරගත් න්‍යායික හා භාවිත තලයන්හි තියුණු නව ආකෘතියක ක්‍රියාධරයන් අවශ්‍ය වී ඇත. එවන් ක්‍රියාධරයන්ගේ සංකල්පීය එකමුතුවකින් නව බැරෑරුම් දේශපාලන සංවිධාන ආකෘතියක් බිහි කල යුතුමය. ඊට කොමියුනිස්ට් සමාජ සම්මුතිය නැවත විචාරය කල යුතුය. ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ ලිපිපෙළ යනු “කල යුත්තේ කුමක්ද?” යන්නට අවසන් පිළිතුරක් වෙනුවට කොමියුනිස්ට් පිළිතුරක් සාධනය කරගැනීම උදෙසා ආරම්භක උපන්‍යාස සූත්‍රගත කිරීමට අවශ්‍ය අලුත් දේශපාලන බලාපොරොත්තුවක සටහන් පමණි.
“කොමියුනිස්ට්වාදය පරණයි” කියා වැළලෙන්නට හදනා උදවියට මතක් කල යුත්තේ ධනවාදය ඊටත් වඩා පරණ බව පමණි.
බූපති නලින් වික්‍රමගේ
2022 ජූනි 17