Latestදේශීය

ආන්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු – 2022 ශිෂ්‍ය වීර දිනය මහජන සහභාගිත්වයෙන්

අන්තර්  විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලය විසින්  “ඔවූහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ” යන මැයින්  සංවිධානය කළ 2022 ශිෂ්‍ය වීර දිනය ඊයේ (20) අභිමානවත්ව සමරන ලදි. මෙම සැමරුම සදහා විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට අමතරව වෘත්තීය සමිති, බහුජන සංවිධාන, කලාකරුවන්, සිවිල් සංවිධාන ඇතුළු විශාල ජන සහභාගිත්වයකින් සිදුකිරීම විශේෂත්වයක්.

කොළඹ ලිප්ටන් වට රවුමෙන් ආරම්භ කරන ලද විරෝධතා පාගමන “ගෝඨා රනිල් කුමන්ත්‍රණ ආන්ඩුව පන්නමු – ක්‍රමය පෙරළමු” බැනරය පෙර දැරිව කොළඹ කොටුව දුම්රියපල අසලට පැමිණ එහිදී ශිෂ්‍ය වීර දිනය සමරන ලදි.

අනතුරුව සිසු විරුවන් සදහා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව සිසු විරු ගීතය ගායනා කළ අතර අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්නෑවේ සිරිධම්ම හිමියන් රැලිය ආමන්ත්‍රණය කරන ලදි.

රටේ පොදු ප්‍රශ්ණ තම දෙවුරට ගත් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට අත් වූයේ මල් මතින් පැමිණි ගමණක් නොවන බවත්, ඒ වගේම රටේ සටන් කරන සංවිධාන වලට, රටේ ප්‍රශ්ණ වෙනුවෙන් කතා කරන සංවිධාන වලට කොයිම වේලාවකදී හෝ මල් මතින් යන ගමනක් නැති බව මෙහිදී සිරිධම්ම හිමියන් පැවසුවා. ඒ වගේම මේ වන විට සමස්ථ සමාජයම වඩා යහපත් සමාජයක් නිර්මාණය කරගැනීම සදහා අරගලයක නිරථව සිටින බැවින් එම අරගලකාරී සමාජයට ද කටුකත්වයට, මර්ධනයට මුහුණ දීමට සිදුව ඇති බව ගල්නෑවේ හිමියන් වැඩිදුරටත් පවසන ලදි.

දුගද හමන සමාජ ක්‍රමය වෙනස් කරන්න අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියාකළ, මරණය පෙනි පෙනි සටන අත් නොහැරිය ශිෂ්‍ය වීරයින්ගේ ආදර්ශය මේ සමාජයට, මේ අරගලයට, මේ මොහොතට වඩා වැදගත් බව ද සිරිධම්ම හිමියන් මෙහිදී පැවසුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිධම්ම හිමියන්,

2022 ශිෂ්‍ය වීර දිනය සමරන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය විධියට අපේ තේමාව වන්නේ “ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ. ඔවුන් දිවි පිදූවේ දුගද හමන සමාජ ක්‍රමය පෙරළීමටයි” ඔව් අපි ශිෂ්‍ය දිනය විධියට කතා කරන්නේ, අදත් අපි ශිෂ්‍ය වීර දිනය විධියට අනුස්මරණය කරන්නේ, දුගද හමන සමාජ ක්‍රමය වෙනස් කරන්න  මැදිහත් වුන මිනිස්සුන්ගේ ඒ ජීවන රටාව කියවන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අතීතය ආවර්ජනය කරන්න උත්සාහ කරන මේ මොහොතේ අපි ටිකක් බලමු අද වර්ථමාන සමාජය මොන විදිහටද තියෙන්නේ කියලා.

මේ වෙනකොට අපි දකිනවා අර කුලී හයර් යන ත්‍රී රෝදරථ රියදුරන්ට, අපේ අම්මලාට, සහෝදරවරුන්ට දවස් ගණන් තෙල් පෝලිම් වල ඉන්න වෙලා තියෙනවා තමන්ගේ වාහනයට තෙල් ටික ගහගෙන එදිනෙදා ජීවිකාව ගත කරගන්න. ඒ වගේම රැකීරක්ෂා වලට යන අම්මලා තාත්තලාට දැන් වාහනටික දාලා බස්වල යන්න වෙලා තියෙනවා තමන්ගේ රැකියාවලට. ඒ බස්වලත් දැන් ඉඩකඩ නැතුව කෝච්චිවල පවා එල්ලිලා යන්න සිද්ධ වෙලා  තියෙනවා තමන්ගේ ජීවිතය පරදුවට තියලා.

එදිනෙදා ජිවිකාව වෙනුවෙන් ගෑස් එක පවා ගන්න පෝලිම් වල කිලෝමීරට ගණන් ගාල් වෙන්න වෙලා තියෙනවා දවස් ගණන්. කොළඹ ගත්තොත් මේ මහල් නිවාසවල මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ඉස්සර තුන් වේලක් කාලා ජීවත් වෙච්ච මිනිස්සුන්ට දැන් එක වේල කාලා ජීවත්‌ වෙන්නේ කොහොමද කියලා හීන මවන්න වෙලා තියෙනවා.

තෙල් ටිකක් ගහගන්න බැරුව, තෙල් නැවක් කොයි වෙලාවකදී එයිද කියලා මුහුද දිහා බලාගෙන සුසුම්ලමින් ඉන්න වෙලා තියෙන වෙලාවක තමයි අපිට ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට මේ ශිෂ්‍ය වීර දිනය 2022 දී සමරන්න වෙලා තියෙන්නේ.

තරුණයන්ට තමන්ගේ ජීවිත රැකගන්න රට දාලා යන්න වෙන තත්ත්වයට මේ සමාජ ක්‍රමය නරුමත්වයට ගිහිල්ලා තියෙනවා. රටින් යන තරුණයින්ටත්, මිනිස්සුන්ටත් රට දාලා යන්නත් දවස්ගනන් පාස්පෝට් පෝලිම්වල ලගින්න වෙලා තියෙන තත්වයකට මේ සමාජ ක්‍රමය පරිහානියට පත් වෙලා තියෙනවා.

රටක අනාගතය කියන්නේ, දරුවන්. දරුවන්ගේ අනාගතය කියන්නේ අධ්‍යාපනය. අද වෙනකොට අධ්‍යාපනය තියෙන්නේ කොයි වගේ තත්ත්වයකද? පාසල් ටික මේ වනවිට අවුරුදු දෙකහමාරක් විතර අඩපණ වෙලා තියෙන්නේ. ඒවා නිවැරදිව ආරම්භකරගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ වගේම ඒ විභාග ටික හරියට පවත්වගෙන යන්න කඩදාසි ටික නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ළමයින්ට පාසලට යන්න වාහන වලට කුලී ගෙවාගන්න බැරිවෙන තත්ත්වයට, තෙල් නැති හින්දා ප්‍රවාහනය පවා නැතිවෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා.

රිජ්වේ ආර්යා වගේ ළමා රෝහල් ගත්තට පස්සේ, පිලිකා රෝහල ගත්තට පස්සේ මේ වෙනකොට ළමයින්ට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය බෙහෙත් ටික නැතුව ළමයින්ට මැරෙන්න වෙන තත්ත්වයට ඒ විතරක් නෙමෙයි ඒ ළමයින්ට පෝෂණීය ආහාර දෙන්න බැරුව මැරෙන්න වෙන තත්ත්වයට මේ සමාජ ක්‍රමය පත්වෙලා තියෙනවා.

මේක තමයි අපි කියන්නේ මේ ධනේෂ්වරයේ තියෙන අර්බුධය, මේ ධනේෂ්වරයේ තියෙන අරාජික බව විසින් මේ සමාජය ගද ගහලා මේ කඩාගෙන වැටෙන්න යද්දි තමයි මේ පාලකයෝ  දැන් මුක්කු ගහලා පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ ජරාජීර්ණ වුන මේ ගද ගහන සමාජය වෙනස් කරන්නයි අපි මේ කතා කරන ශිෂ්‍ය වීරයෝ මැදිහත් වුනේ. අපි දන්නවා මේ සමාජය ප්‍රාථමික සාමූහික සමාජ ක්‍රමවල ඉදන්, වහල් සමාජ ක්‍රමවල ඉදන්, වැඩවසම් සමාජ ක්‍රමවල ඉදන්, මේ වෙනකොට තියෙන ධනේෂ්වර සමාජ ක්‍රමය දක්වා මේ මේ සාමජය වෙනස් වුනේ නිකම්ම මිනිස්සු බලාගෙන ඉදලා නෙමෙයි. මිනිස්සු මැදිහත්වෙලා කරපු කැපකිරීම් වල, මිනිස්සු මැදිහත් වෙලා කරපු වගකීම් වල, මිනිස්සුන්ගේ මැදිහත්වීම් වල ඵලයක් විදිහට තමයි මේ සමාජය වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සමාජයට පනිවුඩයක් දෙනවා, මේ සමාජ ක්‍රමය අපිට වෙනස් කළ යුතුව තියෙනවා. ඒ වගේම වෙනස් කළ හැකියි කියලා අපි  විශ්වාස කරනවා.

අපි මේ ශිෂ්‍ය වීරයින් සමරද්දී  අපි දකිනවා සමාජය තුළ වීරයින් විධියට කතා කරන්නේ කවුද? එක පැත්තකින් වීරයෝ විදිහට කතා කරනවා මේ සමාජය ජරාජීර්ණ කරන්න කටයුතු කළ, දරුවන්ගේ අනාගතය සම්බන්ධව, මිනිස්සුන්ගේ අනාගතය සම්බන්ධව, ජීවිත සම්බන්ධව තඹ සතේකට හිතපු නැති පාලකයෝ අපි දකිනවා තැන් තැන් වල පිළිම ගහලා වීරයෝ විදිහට අදහන සමාජයක් තියෙන්නේ. අනිත් පැත්තෙන් පුංචි ළමයින්ට වීරයෝ විදියට හදුන්වලා දීලා තියෙන්නේ අර කාටුන් වල බෙන් ටෙන් ලා, ස්පයිඩර් මෑන්ලා, සුපර් මෑන්ලා තමයි වීරයෝ විදියට හදුන්වලා දීලා තියෙන්නේ.

නමුත් අපි මේ කතා කරන ශිෂ්‍ය වීරයෝ  කියන්නේ බෙන් ටෙන් ලා වගේ ස්ප්‍රයිඩර් මෑන්ලා වගේ, පොත් පත් වලින් අපිට උගන්වලා තියෙන අපිට වඩා ලොකු, අපේ ශරීරයට වඩා ශක්තියක් තියෙන, යෝධයෝ වගේ කතා කරන අපිට හිතාගන්න බැරි වීරයෝ නෙමෙයි.

අපි කතා කරන ශිෂ්‍ය වීරයින්ගේ ඔය පාලකයින් වගේ පිළිම නෙලලා නැහැ. පොත් පත් වල ලියවිච්ච ඉතිහාසයක් නෙමෙයි අපි මේ කතා කරන ශිෂ්‍ය වීරයෝ කියන්නේ. අපි බලමු අපි කතා කරන ශිෂ්‍ය වීරයෝ කියන්නේ මොනවගේ අයද කියලා.

අපි උදාහරණයකට ගමු රෝහණ වීරසූරිය කියලා කියන්නේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ විශ්ව විද්‍යාලයක් තුළ පළමුවෙන්ම ඝාතනය කරපු මේ සමාජය වෙනුවෙන් මැදිහත් වෙච්ච ශිෂ්‍ය වීරයෙක්. රෝහණ වීරසූරිය කියන්නේ උහුමිය කියන විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට තේරුණු පළමු ශිෂ්‍යයා. අපි දන්නවා තමන්ගේ දරුවා විශ්ව විද්‍යාලයකට තේරෙද්දී, තමන්ගේ ගමේ ඉන්න දරුවා විශ්ව විද්‍යාලයකට තේරෙද්දී, යම් සහෝදරයෙක් සහෝදරියක් විශ්ව විද්‍යාලයකට තේරෙද්දී ඒ සහෝදර සහෝදරිය ගැන තමන්ගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට ලොකු හීන ගොන්නක් තියෙනවා. ඒ වගේම විශ්ව විද්‍යාලයට තේරෙන සහෝදර සහෝදරියනුත් විශ්ව විදයාල තුළට එන්නේ නැවත හීන ගොන්නක් කර පින්නාගෙන තමයි.  නමුත් මේ රෝහණ වීරසූරියලා, අපි කතා කරන නිෂ්මිලා, බාලේලා, ත්‍රිමාලා, වෙනුරලා, ජනකලා, සිසිතලා, අන්න ඒ තමන් වෙනුවෙන් හීන හිතනවා වෙනුවට තමන්ගේ හීන හැබෑ කරගන්නවා වෙනුවට, මේ රටේ ඉන්න බහුතරයක් දෙමාපියන්ගේ, බහුතරයක් සහෝදර සහෝදරියන්ගේ හීන සැබෑ කරන්න තම ජීවිතය කැපකරපු, තම ජීවිතයෙන් වන්දි ගෙවපු ශිෂ්‍ය වීරයෝ. අද අපි සමරන්නේ ඒ වීරයින්ව.

එදා ඉදන්ම මේ ධනේෂ්වර ආන්ඩු තමන්ගේ පන්තිය රැකගන්න මර්ධනය ගෙනාපු එක තමයි දිගින් දිගටම කළේ. අදත් අපි දකිනවා ඒ මර්ධනය ඒ විධියටම ක්‍රියාත්මක වෙනවා. අදත් අපේ විශ්ව විද්‍යාල පද්ධතියට ඒ මර්ධනය ගේන්න ආන්ඩුව කටයුතු කරමින් සිටින වෙලාවක තමයි අපි මේ ශිෂ්‍ය වීර දිනය සමරන්නේ.

අපි කියනවා, මොනතරම් මර්ධනය තිබුනත් මොනතරම් අවධානම් තිබුනත් අපි සමාජය වෙනුවෙන් මැදිහත් වෙන්න ගත් අරමුණ කිසිසේත්ම අත් හරින්න සූදානම් නැහැ කියලා. ඒ වගේම මර්ධනය කියන එක මේ ශිෂ්‍ය ව්‍යාපරයට අළුත් දෙයක් නෙමෙයි. දශක 4ක් තිස්සේ ඒ මර්ධනය අපි කියවගෙන තියෙනවා. ඒ මර්ධනයට අපේ ශිෂ්‍ය ව්‍යාපාරය මුහුණ දීලා තියෙනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාවට කියනවා මේ මර්ධනයට එරෙහිව අපි සියලු දෙනා අත්වැල් බැදගමු. අත්වැල් බැදගෙන මේ මර්ධනය පරාජය කරන්න කටයුතු කරමු කියලා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *