Latestදේශීය

රනිල්ගේ නිවස ගිනි තැබීම අභිරහසක් නොවිය යුතුයි – කරු පරණවිතාන

විප්ලවවල එක් ස්වභාවයක් වන්නේ සිදු වන ඇතැම් සිදුවීම් සදාකාලික අබිරහස් ලෙස පැවතීමය. අගමැති රනිල්ගේ නිවසට ගිනි තැබීම එවැනි සදාකල් අබිරහසක් ලෙස නොපවතීවා යන්න මාගේ පැතුමය.

අගමැති රනිල්ගේ නිවසට ගිනි තැබීමට අප එරෙහි විය යුත්තේ එහි වටිනා පුස්තකාලයක් තිබූ නිසා හෝ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ජීවත් වූ නිවස නිසා හෝ ඔවුන්ගේ ඇවෑමෙන් මේ නිවස ඒ අසල තිබෙන කොළඹ රාජකීය විද්‍යාලයට තෑගි ඔප්පුවකින් පවරා ඇති නිසා පමණක් නොවේ.  ගෙවල් ගිනි තැබීම අපරාධයක් බැවිනි. මිනී මැරීමට පමණක් දෙවන වන අපරාධයක් බැවිනි.

මේ තර්කය මැයි 9,10,11 දිනවල ගිනි තැබූ පොහොට්ටු මැති ඇමතිවරුන්ගේ නිවාස වලටද අදාලය. ඒවාද අපරාධය. ඒ නිවෙස්වල පුස්තකාල තිබුනේද නාන තටාක තිබුනේද අරක්කු බාර් තිබුනේද යන්න අදාල නොවේ.

විප්ලවවලදී අපරාධ සිදුවීම විප්ලවවලම මතුවන විරුද්ධාභාෂයකි. 19 ශත වර්ෂය දක්වා සිදු වූ  බොහෝ විප්ලවවල සිදු වූයේ මාළිගාව ගිනි තබා රජුගේ ගෙල කපා රිටක අමුනා ප්‍රදර්ශනය කිරීමෙනි.

ජෝර්ජ් අබෂ්විල්ලි යුවරජුගේ ගෙල කපා හිස රිටක ගසා එසේ පෙන්වනු අපි “හුනු වටයේ කතාව” නාටකයෙන් දුටුවෙමු.

නමුත් සමාජය දියුණු වෙද්දී වඩා මානව වාදී අදහස් සහ විශේෂයෙන් සමාජ විමුක්තිය පිලීබද වඩා මානවවාදී අදහස් වර්ධනය වෙද්දී විප්ලව වල සිදුවන්නාවූ ප්‍රචණ්ඩ අපරාධ ගැන විකල්ප කතිකාවක් මතුවිය.

සංවාදය මතු වූයේ  රුසියාවේ බොල්ෂෙව්ක් විප්ලවාදීන්ගේ ආණ්ඩුව සාර් රජ පවුලද සේවකයන්ද ඇතුලු 11 දෙනෙකුට අමතරව සාර්ගේ සුරතල්  බල්ලාද වෙඩි තබා මරා දැමුවේ මන්ද යන ප්‍රශ්නය මතුවීමත් සමගය.

රාජපක්ෂලා එළවීමේ සටන ආරම්භයේ පටන්ම නිර්ප්‍රචණ්ඩ අරගලයක් බව යෝජනා කිරීමේ අර්ථය වූයේම අරගල කරුවන් මේ ඓතිහාසික කතිකාවට සෑහෙන තරමකට සංවේදී වූ බැවිනි.

 ඒ අනුව අරගලකරුවන්ට මේ නිවස ගිනි තැබීමේ වුවමනාවක් තිබුනේ යැයි මා සිතන්නේ නැත. ඔවුන්ට එවැනි වුවමනාවක් තිබුනේ නම් මුලින්ම ගිනි තබන්නේ කොටුව ජනාධිපති මන්දිරයටය. මහා ජන ගංගාවක් එයට කඩා වැදී සුලු සුලු විනාශයන් එම මන්දිරයට සිදුවන්නට පටන් ගත් විට අරගලකරුවන් එය මැදිහත් වී පාලනය කළ අයුරු අපි දුටුවෙමු.

අගමැති රනිල්ගේ නිවස ගිනි තැබීම පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයකි. අරගලය පිට දමා වෙනත් දේශපාලන වාසියක් උරගා බැලීමට මාන බලන බියසුළු පාර්ශ්වයක් ගත්  උත්සාහයකි.

එය මට දැනෙන අදහසක් විනා දැනට සාධක සහිතව ඔප්පු කළ හැකි අදහසක් නොවේ. පාස්කු ප්‍රහාරය හුදු සහරාන්ගේ වැඩක් නොවන බව එය සිදු වූ දිනවල අපට මෙලෙසින්ම දැණුනි.

නමුත් මේ අබිරහස එළිදරවු වනු ඇත. එසේ එළි දරවු වේවා යන්න මගේ පැතුමය.


කරු පරණවිතාන
සභාපති- 42 සේනාංකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *