ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ. අපේ ව්‍යාපෘති පවරා ගන්න සූදානම්.- චීනය
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට අපහසු බවත්, අවශ්‍ය නම් චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කළ ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරාගනිමින්, ඒවා යම් ණය ප්‍රමාණයක් වෙනුවෙන් හිලව් කිරීමට සූදානම් බවත්, චීනය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දීමට සූදානම් වන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කරයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට පවතින ප්‍රධානම බාධාව බවට පත්ව ඇත්තේ, චීනය විසින් මෙරටට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට චීනය කැමැත්ත නොදැක්වීමයි. චීනය විසින් ලොව රටවල් ගණනාවකට ණය ලබාදී ඇති බැවින්, ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය, යම් හෙයකින් ප්‍රතිව්‍යුහගතකරණය කළහොත්, මේ වන විට ආර්ථික අර්බුදවලට ලක්ව සිටින, තවත් රටවලට ලබාදී ඇති ණයද ඒ හා සමානව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට චීනයට සිදුවීම, චීනයේ වත්මන් ස්ථාවරයට හේතුවී ඇත.
මේ වනවිට රාජ්‍ය ආයතන වන විදුලිබල, තෙල් සංස්ථාව ඇතුළු ආයතන 52ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සැලසුම් කර ඇත. වාර්තා සඳහන් කරන ආකාරයට හම්බන්තොට වරාය අත්පත්කරගත් අාකාරයෙන්, චීන ණය උපයෝගී කරගෙන මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති, චීනයටම පවරාගෙන, එම ව්‍යාපෘති වෙනුවෙන් ලබාදී ඇති ණය කපාහැරීම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇත්තේ මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි. චීන ව්‍යාපෘතිවලට අමතරව, සිය ණය කපහැරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙනත් වත්කම් වුවද ඉල්ලා සිටීමට මෙහිදී හැකියාවක් ලැබෙන බවද අදාළ වාර්තා පෙන්වා දෙයි.
මේ වන විට චීන ණය යටතේ මත්තල ගුවන් තොටුපොළ, නෙළුම් කුළුණ. නොරොච්චෝලේ බලාගාරය ආදී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 9.95 ක් බවට ඇතැම් ස්වාධින ආර්ථික සමීක්ෂණ ආයතන සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් පලකළ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වාදුන්නේ චීනය සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පෙරට එනතුරු ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති වෙනත් පාර්ශ්ව සිය ණය පිළිබඳව සලකා නොබලනු ඇති බවයි. මේ වන විට ජපානය හරහා වෙනත් ණයහිමියන්ගේ එකඟතාවක් ලබාගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටියද, එම උත්සාහය කෙතෙරම් සාර්ථක වේදැයි අනාවැකි පළකළ නොහැකි බවද ආචාර්ය දුනුසිංහ ප්‍රකාශ කළේය
– Aruna