දේශීය ණය ප්‍රතිව්‍යූහගත කළ යුතුමයි – චම්පික රණවක
වසර 100කට පමණ පෙරාතුව ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන් මැලේසියාව වැනි රටවලට ගොස් එම රටවල් පෙළෙමින් සිටි ආර්ථික අර්බුද වලින් ගලවාගත් ආකාරය පිලිබඳ අත්දැකීම් අද දවසේ අප රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට යොදාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ ‘මැලේසියානු මහ කොමසාරිස් ගරු යැන් තායි ටෑන් මහතා’ හමුවී සිදුකළ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;
“අපි කවුරුත් දන්නවා 1997 – 98 කාලේ මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව ඒ කලාපයේ රටවල් ඉතාම දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. අපි වගේම ඉතින් ඒ අවස්ථාවේදී ඉතා සාර්ථක විදිහට මැලේසියාව ඒ අර්බුදයෙන් නිදහස් වුණා. මොනවද ඒ මැලේසියානු අත්දැකීම් කියන එක අපිට ලොකු ආදර්ශයක්. ඉතා කෙටි කලකින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රට පරිවර්තනය කරගත්ත දියුණු රටක් බවට. ඉතින් ඔහු අපිට කිව්වේ කාලයකට පෙර වෘත්තීයවේදීන් බොහෝ දෙනෙක් ලංකාවෙන් මැලේසියාවට ගියා කියලා අවුරුදු 100 කලින්. වෛද්‍යවරු හැටියට, එහෙම නැත්නම් ගණකාධිකරුවරු හැටියට ස්ටේෂන් මාස්ටර්ස්ලා හැටියට, වැවිලිකරුවෝ හැටියට. ඉතින් ඒගොල්ලෝ තමයි මුල් වෙලා තියෙන්නේ මැලේසියාව නවීකරණය කරන්න. නමුත් අද අපේ තත්වය ගැන කවුරුත් දන්නවා මුළු ලෝකෙම. ඉතින් අපි හිතනවා මැලේසියාවෙන් විශාල අත්දැකීමක් ලබාගන්න පුළුවන් අපිට වෙනසක් ඇති කරගන්න මේ අර්බුදයෙන් ගැලවෙන්න.”
ඉන් අනතුරුව වර්තමාන IMF අරමුල සම්බන්ධ ගැටලු හා වර්තමාන දේශපාලන, ආර්ථික ගැටලු පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පිළිතුරු ලබාදෙනු ලැබිණි.
·ප්‍රශ්නය:
දැන් IMF එකෙන් යම් ණය මුදලක් ලබා දෙන්න එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මොකක්ද මේ තත්වය ඔබතුමා කොහොමද දකින්නේ?
·පිළිතුර:
ඒක ඇත්තටම මේ වාර්තාකරණයේ ලොකු වැරැද්දක් තියෙනවා. IMF එක එහෙම ණය මුදලක් ලබාදෙන්න කොන්දේසි විරහිතව එකඟ වෙලා නෑ. ඒ වගේම IMF එක අපෙන් ඉල්ලලා තියෙනවා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න කියලා. රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් සිද්ධ කරන්න කියලා. ඒ වගේම මේ බලපෑමට ලක් වෙච්ච ජනතාව සඳහා වෙන වැඩපිළිවෙලවල් යොදන්න කියලා. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කරගත්තේ නැත්නම්, IMF එකේ සහයෝගයක්, මුල්‍යමය සහයෝගයක් අපට ලැබෙන්නේ නෑ. ඒ වගේම IMF එකේ මුල්‍ය සහයෝගය ගැනත් මේ සමහරු නොදන්න කතා කියලා තියෙනවා. මේවයින් පුළුවන්ද මේ අපේ ණය කන්ද ගෙවන්න කියලා. මුල්‍ය අරමුදලෙන් ලැබෙන ඒ බිලියන 2.9 න් අපේ ණය ගෙවන්න බැහැ. අපේ ණය බිලියන 53. ඒකෙන් අපට ලැබෙනවා යම් රැකවරණයක්. රාජපක්ෂ පාලනය අපට කරපු ලොකුම විනාශය තමයි අපිට අන්තර්ජාතික මුල්‍ය වෙළඳපොළ සම්පූර්ණයෙන් වසා දැමීම. ඒ නිසා අපට අලුතෙන් ණය ගන්න බැරි වුණා ද්විපාර්ශිකව, බහු පාර්ශවීය. අනිත් පැත්තෙන් ගත්තහම අන්තර්ජාතික මුල්‍ය වෙළෙඳපොළේ තිබිච්ච ව්‍යාපෘතිත් සම්පූර්ණයෙන්ම අත්තනෝමතිකව වහලා දැම්මා. ඒ නිසා ජපානය, චීනය බොහෝ රටවල්වල ව්‍යාපෘති ලංකාවේ නතර කළා. ඒ මෝඩකම් වල ප්‍රතිඵල තමයි අපි භුක්ති විඳින්නේ. එතකොට මුල්‍ය අරමුදල මඟින් ලැබෙන්නේ කිසියම් දුරකට අපිට නැවත වතාවක් අන්තර්ජාතික මුල්‍ය වෙළෙඳපොළ විවෘත වීම හරහා අපට යම් ණය මුදල් ලබා ගැනීමේ හැකියාව නැවත ඇතිකර ගැනීම තමයි වෙන්නේ.
·ප්‍රශ්නය:
ඒ කියන්නේ වැරදි අර්ථකථනයක්ද දීලා තියෙන්නේ?
·පිළිතුර:
සම්පූර්ණ වැරදි අර්ථකථනයක්. ඒ නිවේදනය කියෙව්වාම තේරෙනවා ඒකෙ දෙවෙනි, තුන්වෙනි ඡේද වලට ගියාම මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා.
·ප්‍රශ්නය :
ඒ කියන්නේ ඔවුන් මොනවද ගේන යෝජනා?
·පිළිතුර:
ප්‍රධානම එක තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ණය කිව්වම වර්ග දෙකක් තියෙනවා, රුපියල් ණය හා ඩොලර් ණය. දැනට අපි ඩොලර් ණය විතරයි ප්‍රතිව්‍යුහගත කරමින් යන්නේ. ඒ රුපියල් ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයි ණය නිවැරදිව ප්‍රතිව්‍යුහගත කරනවා නම්. මේ රාජපක්ෂවරු ලංකා බැංකුවයි, මහජන බැංකුවයි ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල හූරන් කෑවා. මේ රටේ අවුරුදු දහ අටට වැඩි බොහෝ දෙනෙක් එක්කෝ මහජන බැංකුවේ ගිණුමක් සහිත, එක්කෝ ලංකා බැංකුවේ ගිණුමක් සහිත, එක්කෝ සේවක අර්ථසාධක අරමුදලේ ගිණුමක් සහිත අය. ඒ සියලු දෙනාම උගසට තියලා නටපු සෙල්ලමක් තමයි රාජපක්ෂ පාලනය හා ඒකට උදව් දීපු අය කළේ. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාගේම අනාගතය ඉතාම භයානක අනතුරක වැටෙනවා මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නොගියොත්.
·ප්‍රශ්නය:
මගේ මතකය නිවැරදි නම් මිලියන 2,333 අයවැය හිඟය. කොහොමද ඒක පියවගන්නේ?
·පිළිතුර:
ආසන්න වශයෙන් ට්‍රිලියන 6.3 අපේ වියදම. ට්‍රිලියන 2.1 / 2.2 තමයි ආදායම. ඒ කියන්නේ රුපියලක ආදායම රුපියල් 2.60 වියදම් කරන්න තියෙනවා. ඉතින් මුල්‍ය අරමුල කියලා තියෙනවා 2024 වෙනකොට ණය නොවන ලංකාවේ අනෙක් වියදම් ලංකාවේ ආදායම් වලින් පියවගෙන ප්‍රථමික ශේෂය ධන (+) අගයක් කරගන්න ඕනයි කියලා ලොකු කොන්දේසියක් දාලා තියෙනවා. ඉතින් ප්‍රථමික ශේෂය යන්තම් බිංදුව (0) කර ගත්තේ අවුරුදු 54 පස්සේ 2018. ඉතින් ඒක ලොකු අභියෝගයක්. ඒ අනුව ඉදිරියේදී වියදම් කප්පාදුව වගේම ආදායම් වැඩි කර ගැනීම සඳහා අලුත් පියවර ගැනීම අවශ්‍ය වෙනවා.
·ප්‍රශ්නය:
දැන් මේ තත්වය මත රටේ ජනතාවට මොනවගේ තත්වයකට මුහුණ දෙන්න සිදුවෙයිද? ඔබතුමාගේ දැනීමේ හැටියට?
·පිළිතුර:
ඉතින් ජනතාව දැනුත් දුක් විඳිනවා. තවත් දුක් විඳින්න වෙයි. ප්‍රධාන ගැටලුව මේවට දායක වෙච්ච චෝර පුත්තු තාමත් බලයේ ඉන්නවා. බලයේ ඉන්නවා විතරක් නෙවෙයි. ඒ අය අදටත් මේ තෙල් ගෙන්වීම, ඒ වගේම ගල් අඟුරු ගෙන්වීම වගේ කාරණා පිටිපස්සේ ඉඳගෙන මේ ගසාකාපු රටෙන් නැවතත් ගසා කනවා. ඒක තමයි තියෙන ඛේදවාචකය මේ රටේ. ඒ නිසා මේ රටේ ජනතාව මතක තියා ගන්න ඕනේ මේකට වගකිව යුතු චෝර පුත්තු තාමත් රජවරු හැටියට පිටිපස සිට දේශපාලනය හසුරවන්න යනවා. ඒකෙන් අපි රට වෙනස් කරගත යුතු වෙනවා.
·ප්‍රශ්නය:
දැන් පසුගිය දවස්වල මේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතාබහට ලක්වුනා. හැබැයි දැන් ඒක ටිකෙන් ටික සර්ව පාක්ෂික කියන කතාව ඈත් වෙමින් තියෙනවා. දැන් නැවත වතාවක් සුපුරුදු පරිදි රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේ සූදානමක් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මොකක්ද ඔබතුමාගේ අදහස?
·පිළිතුර:
සර්වපාක්ෂික ආණ්ඩුවක් සාර්ථක වෙන්න ඉටු කළ යුතු කාරණා ගොඩක් තියෙනවා. ඒවා ඉටු වෙලා නෑ. ඒවා ඉටු වෙලා නැතුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නෑ. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවට තියෙන ලොකුම බාධාව තමයි අර චෝර පුත්තු තවත් දශක ගාණක් මේ රටේ බලයේ ඉන්න දරන උත්සාහය.
·ප්‍රශ්නය:
දැන් ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව යම් ප්‍රශ්නයක් නැගිලා තියෙනවා. දැන් තැන තැන මිනී මරනවා. මොකක්ද මේ තත්වය. ඔබතුමා දකින්නේ කොහොමද?
·පිළිතුර:
ඇත්තටම ඒකට පොලිස් ඇමති උත්තර දිය යුතුයි. ඒක පොලිසියේ නීතිය හා සාමය පිළිබඳ ගැටළුවක්. හැමතැනම මිනිස්සු මරනවා. මුහුදේ මළසිරුරු පාවෙලා එනවා. ඉතින් මේක පාලනය කිරීම පොලිස් ඇමතිගේ වැඩක්. එහෙම නැතුව මේ ජනාධිපති කාර්යාලයට ගිය අය කවුද? අගමැති කාර්යාලයට ගියේ කවුද කිය කිය හොය හොය තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරන්න කලින් නීතියයි සාමයයි ස්ථාපිත කරන්න ඕන. ඒ වගේම දූෂිත චෝදනා එල්ල වෙච්ච DIG දේශබන්දු තෙන්නකෝන් වැනි අයට එරෙහිව පියවර නොගන්නා තාක් කල් රටේ නීතිය පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්නෙත් නැහැ. පාතාලේ මර්ධනය වෙන්නෙත් නැහැ.
·ප්‍රශ්නය:
දැන් ඔබතුමාලගේ ඉදිරි දේශපාලන ගමන මොකක්ද?
·පිළිතුර:
අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ රට ඔය පැරණි වාමාංශික, දක්ෂිණාංශික අන්තවාදී මතවාද වලින් තොර මේ රට ගලවගන්න ප්‍රයෝගික වැඩපිළිවෙළක්. ඒකට මැලේසියාව තමන්ගේ ආර්ථික අර්බුදය ජයගැනීමට ගත්ත මාර්ගය හොඳ උදාහරණයක් හැටියට අපි දකිනවා. ඒගොල්ලෝ ඒක කරේ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහයෝගය නැතුව.
– Media unit