Latestදේශීය

ලොක් පක්ෂ වලට අපි පොඩි පක්ෂ, උත්තර සභාව ඒ ඉතිහාසය ‌වෙනස් කරනවා – විමල් වීරවංශ

“ලොකු පක්ෂ තිබෙන සන්ධානවල අපි හිටියනේ. ඔවුන්ට අනුව අපි පොඩි පක්ෂ. මහත්වරුනි, ‘සැප්තැම්බර් 04’ දිනය මතක තබා ගන්න. අපි මේ පටන්ගත්තු වැඩේ ඉවර කරනකොට “ලොකු කට්ටිය’ චුට්ටි කරලා, ‘චුට්ටි කට්ටිය’ ලොකු කරන්නේ මේ රටේ ජනතාවයි. ඒක සිදුවෙන්නේ ලොකු පක්‍ෂවල කාර්යාල ඇතුළේ නොවෙයි. පොදු ජනතාවගේ සිත් තුළයි. අපි ඒ අභියෝගය භාර ගන්නම්. ලොකු ඒවා සමතලා කරගෙන නැඟී සිටින මහා ධෛර්යවන්ත වෘක්ෂය පැළ කළේ අද. එය මහා වෘක්ෂය බවට අපි ඉදිරියේදී පත් කරනවා.” යනුවෙන් උත්තර ලංකා සභාගය ජනගත කරමින් එහි සභාපති විමල් වීරවංශ පවසයි.

අද(04) මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පැවති උත්තර ලංකා සභාගය ජනගත කිරීමේ මංගල මහා සමුළුව අමතමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

වඩාත්ම වැදගත් රාජ්‍යය

’‘ඉතිහාසය පරීක්ෂා කර බලපුවාම පෙනෙනවා අප අවුරුදු 500කට වරක් දරුණු ගණයේ අර්බුදයන්ට මුහුණ දී ඇති බව. පෘතුගීසි ආක්‍රමණයේ සිට සලකා බලපුවාම මේ 2022 වසර එහෙම අවුරුදු 5000ක් පිරෙන වසරක්. ඉතිහාසය පුනර්රූපණය වූ ආකාරයට හෝ වෙනත් ආකාරයකට මේ පුණ්‍යභූමියට දැවැන්ත අභියෝගවලට මුහුණ දීමට සිදුවී ඇති වසර මේ වසරයි. අවුරුදු 500කට වතාවක් ආක්‍රමණවලට හෝ අභියෝගවලට මුහුණ දෙන්නේ රටේ වර්ග සැතපුම් ප්‍රමාණයට වඩා පිහිටීමේ වටිනාකමක් සහිත රටක් නිසයි. ඒ නිසයි චෝල, පාණ්ඩ්‍ය, කේරල, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් මේ රට අත්පත්කරගත්තේ මේ සියලුදෙනාගේ වෙළඳාම් ප්‍රබල වන විට උවමනා වූ වරායන් සහිත භූමිය වූයේ මේ භූමියයි. හිරු එළිය දින 365ම පතිත වන හින්දා, සමකය ආසන්නයේ පිහිටා තිබෙන හින්දා, ගුරුත්වාකර්ෂණයට අඩුවෙන්ම ලක්වන රටක් හින්දා, රසවත්, සාරවත් කුළුබඩු වැවුණේ. මේ පොළොවේ හින්දා, රන්රිදී, මුතුමැණික් මේ පොළොවේ තිබුණු හින්දා, සේද මාවතේ නොසලකා හැරිය නොහැකි වඩාත්ම වැදගත් රාජ්‍යය මේ රාජ්‍යය හින්දා, අපට නිරන්තරයෙන් සතුරු ආක්‍රමණවලට මුහුණ දීමට සිදු වුණා.

බලශක්ති අර්බුදය-ආහාර අර්බුදය

නමුත් අපේ වසර 2500ක පමණ ඉතිහාස කතාව කියන්නේ, වැටුණු හැම වෙලාවකම නැගිටින්නේ වැටෙන්න කලින් හිටි තත්වයට වඩා හොඳ කක්වයක් අත්කර ගෙන කියලයි. මෙවෙරත් එහෙම තමයි. රටක් හැටියට අද අපි වැටිලා. අපි විතරක් නොවෙයි ලෝක පරිමාණව ගත්තත් අද බලගතු රටවලත් අර්බුද ගහන වෙලා. යුරෝපයේ සාමාන්‍යයෙන් උද්ධමනය 3% – 4% අතර අගයක් . නමුත් එම රටවල අද උද්ධමනය 8% – 9% දක්වා ඉහළ ගිහින්. පසුගිය දිනක ලන්ඩන් නගරාධිපතිවරයා එහි නගරවැසියන්ට කියනවා, ‘එළඹෙන ශීතල තාලයේ ඔබට තෝරාගැනීමට වෙන්නේ එක්කෝ බලශක්තිය. නැතිනම් ආහාර, සමහර විට ඔබට ඒ දෙකම නැතිව ඉන්න සිදුවේවි’ කියලා. බලශක්ති අර්බුදය, ආහාර අර්බුදය කියන වචන අද මුළුමහත් යුරෝපය තුළ තිබෙන ප්‍රධානතම සාකච්ඡාවයි. එළඹෙන ශීත කාලය ඉතා බිහිසුණු ශීත කාලයක් වේවි, කියන බියකරු පින්තූරය දැනටමත් නිර්මාණය වෙලා ඉවරයි. බල්ගේරියාව ශීත කාලයට යුරෝපයට දර යවනවා. නමුත් ‘අපට දර නැති වේවි’ කියා ඔවුන් යුරෝපයට දර යවන එකත් දැන් නතරකර තිබෙනවා. අද මුළුමහත් ලෝකයම ඉන්නේ අර්බුද සුළියක ගොදුරු බවට පත්වෙලා.

නව උප්පත්තිය ගබ්සා කිරීම

අද ඇත්තේ කොවිඩ් අර්බුදයෙන් බැට කෑ ලෝකයක්. රුසියානු – යුක්‍රේන ගැටුම නිර්මාණය වීමත් සමග නේටෝ රටවල් ඊට ප්‍රතිචාර දක්වපු ආකාරයත් එක්ක අද ලෝකයේ බලය ක්‍රමානුකූලව වෙනස් අතකට කරකවමින් සිටිනවා. අපි අද ඉන්නේ පරිවර්තනීය අවස්ථාවක. එක තත්වයක සිට අප වෙනත් තත්වයකට යමින් සිටින වෙලාවක, සමාජ ශල්‍යකර්මයක් සිදුවෙමින් තිබෙන වෙලාවක, නව උත්පත්තියක් ගැබෙහි දරාගෙන සිටින වෙලාවක සමහරු හදනවා, ඒ උප්පත්තිය ගබ්සා කරන්න. නව උප්පත්තිය ගබ්සා කරලා පැරණි උප්පත්තියම තවදුරටත් පවත්වාගෙන යන්න.

දුර්ජනයින්ගේ අතින් සජ්ජනයින්ගේ අතට…

අද අපි මේ උත්තර ලංකා සභාගය පිහිටුවන්නේ ඓතිහාසික තත්වයන් නැමති ගර්භාෂය තුළ වැඩෙන, අභිමානවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි, ඒ නව සුජාත උප්පත්තියට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න මිසක් ඒ උප්පත්තිය වළකන පිලේ නියෝජිතයන් වෙන්න නොවෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පරිවර්තන යුගයේ, මෙතෙක් පැවති දේශපාලනය අභාවයට යන බව. ගතානුගතික, සාම්ප්‍රදායික දේශපාලනය අභාවයට යනවා. මේ පරිවර්තන යුගය කෙළවර වන්නේ, දුර්ජනයින්ගේ අතින් සජ්ජනයිගේ අතට රාජ්‍ය පාලනයේ සුක්කානම මාරු කරලා මිසක් වෙන ආකාරයකට නොවෙයි.

අලුත් විදිහකට බලන්න

මේ රට දිහා අලුත් විදිහකට බලන්න පුළුවන් වෙන්න ඕනෙ. ජන සමාජයත් රාජ්‍ය පාලනයත් දෙකක් නොවෙයි එකක් වෙන්න ඕනේ. එක මිටකට බැඳුණු ජන සමාජයක් හා රාජ්‍ය පාලනයක් ඇතිව මිසක් මේ මහා අභියෝග සමුදායට අපට මුහුණ දෙන්න බැහැ. අද තරුණයො
ඉල්ලනවා සිස්ටම් චේන්ජ්. හැම තැනකම තිබෙන්නේ බිඳවැටීමක්. අද රාජ්‍ය ආයතනවලට අලුත් ක්‍රමවේද හඳුන්වා දෙනවා. නමුත් සතියක් යනවිට ඒවා කඩනවා. ගුවන්තොටුපළේ සීසීටීවී කැමරා හයි කරන්න හදන කොට රේගුවේ සමහරු ඒකට විරුද්ධ වෙනවා. ඒ නිසා ඒවා හයි කරන්නේ නැහැ.

උත්තම දේශපාලන සන්ධානයක්

වැරදි දේට වැට බඳින එකට වළ කපන මානසිකත්වය සහිතව මේ රටට කොහොමත් ඉදිරියට යන්න බැහැ. අද මේ රටට ඕනේ වැරදි දුටුවිට එය නිවැරදි කිරීමට පියවර ගතහැකි දේශපාලන නායකත්වයක්. එහෙම නැතිව වැරදි එක්ක හුරතල් වන දේශපාලන නායකත්වයක් නොවෙයි. අද මේ රටට ඕනේ මහජනයා සමඟ එකට අත්වැල් බැඳගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර සපයන උත්තම දේශපාලන සන්ධානයක්. ඒ දේශපාලන සන්ධානය තමයි අද අපි මේ ගොඩනැගුවේ.

සැප්තැම්බර් 04′

ලොකු පක්ෂ තිබෙන සන්ධානවල අපි හිටියනේ. ඔවුන්ට අනුව අපි පොඩි පක්ෂ. මහත්වරුනි, ‘සැප්තැම්බර් 04’ දිනය මතක තබා ගන්න. අපි මේ පටන්ගත්තු වැඩේ ඉවර කරනකොට “ලොකු කට්ටිය’ චුට්ටි කරලා, ‘චුට්ටි කට්ටිය’ ලොකු කරන්නේ මේ රටේ ජනතාවයි. ඒක සිදුවෙන්නේ ලොකු පක්‍ෂවල කාර්යාල ඇතුළේ නොවෙයි. පොදු ජනතාවගේ සිත් තුළයි. අපි ඒ අභියෝගය භාර ගන්නම්. ලොකු ඒවා සමතලා කරගෙන නැඟී සිටින මහා ධෛර්යවන්ත වෘක්ෂය පැළ කළේ අද. එය මහා වෘක්ෂය බවට අපි ඉදිරියේදී පත් කරනවා.

ප්‍රභූ පවුලකට සිංහාසනය භාර දීපු යුගය ඉවරයි

සමාවෙන්න හාමුදුරුවනේ, අද ගිහියෝ බණ කියනවා, හාමුදුරුවරු වවනවා. අපරාධ විද්‍යාව පිළිබඳ උපාධිධාරියකු සංවර්ධන නිලධාරියකු ලෙස ග්‍රාම සේවා වසමක වැඩ කරනවා. දොස්තරවරු පොහොර ගැන කතා කරනවා. මේ විදියේ විකෘතීන් ඇති තරම් පෙන්වන්න පුළුවන්. මේ විකෘතීන්ගෙන් මේ රට එළියට ගන්න ඕනෙ. ඒ වගේම මේ රටේ ජනතාව හිතනවනම් පවුල් කිහිපයකට මේ රට පාලනය කරන්න සින්නක්කරව ලියලා දීලා තියෙනවා, කියා ඒක වැරදියි. සේනානායකලාට, කොතලාවලලාට, බණ්ඩාරනායකලාට, රාජපක්ෂලාට එහෙම නැත්තම් තවත් එවැනි පවුලකට සිංහාසනය භාර දීපු යුගය ඉවරයි.

රජුගේ ධර්මය ප්‍රජාව රැකීමයි

ලංකාවේ රාජ ඉතිහාසය විමසා බැලුවොත්, රාජකීය උරුමය තිබෙන පවුල්වලින් ආපු රජවරුන්ට වඩා සමහර වෙලාවට ඒ පවුල් උරුමය නැති රජවරු තමයි ලංකාවට වඩා සාධාරණය ඉටු කර ඇත්තේ. ධාතුසේන, වසභ වැනි රජවරු එවැනි රජවරු. අපේ රජවරුන්ගේ පාලනයේ ප්‍රධාන තේමා පාඨය වුණේ මොකක්ද? සද්ධර්මාලංකාරයේ තිබෙනවා ‘රාජ ධම්මා ප්‍රජා රක්ඛා’ කියා. රජුගේ ධර්මය ප්‍රජාව රැකීම, යන්න එයින් කියැවෙනවා. රජු කියන්නේ රංජන. එයින් කියැවෙන්නේ පිනවීම. රජු කරන්නේ මහජනතාව පිනවීම. අපේ ඉතිහාසය තුළ බොහෝ රජවරු ජනයා හොඳින් පිනවූවා.

1977ට පෙර ලංකාවේ ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරයක් තිබුණේ නැහැ. තිබුණේ අතිරික්තයක්. එය ධන ඩොලර් මිලියන 1000යි. දැන් අතිරික්තයක් නැහැ. පරතරයක් තියෙනවා. ඒකත් ඩොලර් මිලියන 1000යි. ඒ පරතරය පියවන්නේ ණයවලින්. සජිත් ප්‍රේමදාස මහත්තයලා ඔහේ බලාගෙන ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරු යහපාලන ආණ්ඩුව, අවුරුදු හතරහමාරක් තුළ මෙරට සමස්ත වාණිජ ණය ප්‍රමාණයෙන් 80%ක්ම රැගෙන තිබෙනවා. මෙම වාණිජ ණයවලට සහන කාලසීමා නැහැ. 6%-7% අධික පොලියක් සහිත මෙම වාණිජ ණවයල වාරිත ණය ගත්තු මාසයෙන් පසු එළඹෙන මාසයේ සිට ගෙවිය යුතුයි. මේ නිසයි එකවර රටේ ණය බර විශාල ලෙස වැඩි වී ණය ගෙවාගත නොහැකි තත්වයක් උද්ගත වූයේ. දැන් ණය ගෙවා ගත නොහැකි තත්වයක් ඇති කිරීමට මුල් වූ අගමැතිවරයා ජනාධිපති වී තමන් මූලික වී හදපු ලෙඩේ සනීප කරන දොස්තර වෙලා තිබෙනවා.

ගෝඨාභය පාලනයට තිබෙන ප්‍රබල විවේචනය

ගෝඨාභය රාජපක්ෂ පාලනයට අපට තිබෙන ප්‍රබල විවේචනය තමයි, එන්න තියෙන අභියෝග කලින් හඳුනාගෙන, එයට මුහුණ දීම සඳහා සැළැස්මක් නොහැදීම. පී.බී. ජයසුන්දරගේ ලණු කාපු එක. බැසිල් රාජපක්ෂ ඇතුළු පවුලේ ලණු කාපු එක. ජීවිතයේ අන්තිම කාලයේ ඇමෙරිකාවට ගිහින් දරු මුණුපුරන් සමඟ සතුටින් ජීවත්වීමේ සිහිනය හේතුවෙන් මානසික බාධා තබාගෙන ප්‍රශ්න දෙස බැලීම. මේ සියල්ල විසින් තමයි ජනාධිපති මන්දිරය අතහැරලා පලා යන තත්වයට ඇද වැටුණේ.

මේ සියල්ල දෙස බලලා අපට සිද්ධ වෙනවා, 1977 සිට ආපු වැරදි ආර්ථික මොඩලයෙන් එළියට එන්න. එහෙම එළියට එන්න ධෛර්ය නැත්නම්, ප්‍රශ්නයට උත්තරය හොයන්නෙත් ප්‍රශ්නය ඇති කරපු ආර්ථික මොඩලය පවත්වාගෙන යමින් නම් කවදාවත් නියම පිළිතුරක් මේ රටට ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නය ඇති කරපු ආර්ථික මොඩලයෙන් මේ රට එළියට ගන්න ධෛර්යය තිබෙන්නේ අපි අද ගොඩනගන උත්තර ලංකා සභාගයටයි.

මාඕගේ විසල් මනස

අද මේ අර්බුදය නිසා මහජනයා තුළ ඇති වී තිබෙන සාධාරණ කෝපය, පීඩනය පාවිච්චි වෙනවා, ඉතාම පාපිෂ්ඨ බලවේග විසින් තම පාපී අරමුණු ඉටුකර ගන්න. ඒ කෝපය, පීඩනය පාවිච්චි කරනවා මේ රට හයිටියක් බවට පත් කරන්න. ඒ උගුලට අපි නොවැටිය යුතුයි. මාඕ සේතුං එක්තරා අවස්ථාවක ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කුමින්තාන් කියන පක්ෂයේ නායකයා සමඟ එකතු වෙනවා. කූමින්තාන් තමයි මාඕගේ ‘රතූ හමුදාව’ මරා දමන්නේ. එහෙම වුණත් අර ප්‍රධාන සතුරාට විරුද්ධව, රතු හමුදාවේ සමහරු එකඟ නොවුණත් මාඕ, කූමින්තාන් සමඟ එකතු වුණා. එක පැත්තක ජපන් අධිරාජ්‍යවාදීන් ඉන්නවා. අනෙක් පැත්තෙන් කූමින්තාන් ඉන්නවා. එක වෙලාවක රතු හමුදාව යෝජනා කරනවා ‘අපි කූමින්තාන්වරු මරලා බලය අල්ලමු’ කියා. එවිට මාඕ සේතුං කියනවා, ‘අපි කැමති වුණත්, නැතත් ඒ තමයි නීත්‍යනුකූල පාලනය. අපි ඔවුන් මරලා පාලනය අතට ගත්තොත් බලය යන්නේ අපට නොවෙයි ජපන් ආක්‍රමණිකයාට’ කියා. පසුව මාඕ සේතුංගේ යෝජනාව අනුව රතු නිල ඇඳුම පසෙකලා කූමින්තාන්ලාගේ නිල ඇඳුම ඇඟලාගෙන රතු හමුදාව ජපන් ආක්‍රමණිකයාට එරෙහිව සටන් වදිනවා. අන්න ඒක තමයි විසල් මනස. අර මෝඩ සාමාජිකයාගෙන් ආපු මෝඩ යෝජනාව ගත්තේ නැහැ. අපේ රටේ අර්බුදයේදීත් බොහෝ අය හැසිරුනේ මේ මුළු මහා පින්තූරය නොදැක. අපට තියෙන්න ඕනේ ප්‍රධාන හතුරු උපද්‍රවය මොකක්ද කියලා බලලා ඒකට අනුව හිටගැනීමේ හැකියාව. අපටත් මේ ගමනේදී නහය වහගෙන හිටගන්න වෙන තැන් ඇති.

යුරෝපයේ බලය වෙනුවට ආසියානු බලයක්

අර්බුදය උත්සන්නවීමත් සමගම අපේ පක්ෂවල නායකයන් අමාත්‍ය මණ්ඩලය තුළ ප්‍රශ්න කථා කරපුවාම උද්දච්ච විදියට නොසලකා හැරියා. පක්ෂ නායක රැස්වීම් කැඳවන එක නතර වුණා. අන්තිමට ප්‍රතිඵලය අන්න ඒ උන්දැලාම භූක්ති විඳිනවා. ඒ නිසා මා විශ්වාස කරනවා ‘මේ බටහිර යුරෝපා ආධිපත්‍ය බිඳ වැටෙමින් තිබෙන කාලය බව. මීට ඉහතදී අදහස් දැක්වූ අපේ සභාගයේ ලේකම් වීරසිංහ මහතා පෙන්වා දුන්නා, ආසියාවේ තමයි වැඩිම ආර්ථික වර්ධන වේගය පවතින්නේ. කියා. ලෝක පරිමාණව ගත්තොත් මේක යුරෝපයේ බලය වෙනුවට ආසියානු බලයක් දක්වා ලෝකයේ කැරකැවෙමින් යන වෙලාව.

‘හේතුඵලවාදයේ’ පියා

‘පරිණාමවාදයේ පියා’ චාල්ස් ඩාවින් කියා පුංචි පුතාලට කියලා දෙනවා. ‘හේතුඵලවාදයේ’ පියාව කවුරුත් හඳුන්වා දී තිබෙනවාද? ‘හේතුඵලවාදයේ’ පියා බුදුන්වහන්සේ කියා කවුරුත් අපට කියා දෙන්නේ, නැහැනේ. මේ තමයි පෙරදිගට තිබෙන ගැරහීම, නොසැළකිල්ල. අපරදිග දැනුම අතේ තියාගෙන, පෙරදිග දැනුම කොල්ලකමින් අපරදිග දැනුම පමණයි අපේ ඔළුවලට අද පටවමින් ඉන්නේ. නමුත් මේ සියලුදෙනාම තේරුම් ගන්න මේ උත්තර ලංකා සභාගය හැදෙන්නේ රට ඇතුළේ පරිවර්තනීය යුගයක් වගේම, ලෝකය ඇතුළෙත් පරිවර්තන යුගයක, යුරෝපය අතේ තිබෙන බලය ආසියාවට පරිවර්තනය වෙමින් තිබෙන යුගයක. අන්න ඒ බව දැකලා ඒ ආසියානු බලයත් එක්ක හිටගන්න, ප්‍රධාන බලවේගය තමයි උත්තර ලංකා සභාගය. අපි ඉන්නේ ආසියානු බලයත් එක්ක.

මේක බුදුන් වහන්සේ තුන් වතාවක් වැඩිය රට. මේක ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ කළ වළගම්බා රජු හිටපු රට. ‘සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් මිස මම මේ රජකම ගන්නේ රජ සැප වෙනුවෙන් නොවේ’ කියා කියපු ගැමුණු මහරජතුමා හිටපු රට. ඒ නිසා මේ රට, මේ අවුරුදු දහස් ගණනක ඉතිහාසය ඇතුළේ මුහුණ දීපු හැම දුෂ්කරතාවකදීම 99.9%ක් විනාශයේ ඉම වෙත ගොස් නැවත හැරී, නැවත නැගී සිටින රටක්.

අපට ඕනේ ගුණය

අද සිට ඔබ සියලුදෙනා උත්තර ලංකා සභාගයේ සාමාජිකයෝ. අපේ සභාගය තුළ ලොකු පක්ෂ, පොඩි පක්ෂ කියලා එකක් නැහැ. මොන ලොකු පක්ෂයක් හෙට මේකට එකතු වුණත් විධායක සභාව තුළ තිබෙන්නේ අනෙකුත් පක්ෂවලට තිබෙන විධායක සභික තනතුරු ගණන පමණයි. ඔය ලොකු පක්ෂ සමඟ සන්ධාන හදපුවාම දිනනකන් හරි ප්‍රජාතන්ත්‍රවාදීයි. හැබැයි දිනපුවාම ලොකු පක්ෂවල සාමාජිකයෝ වැඩියි. එයාලට ඕනෙ දේ තමයි සිදුවෙන්නෙ. ඒ පරණ කතන්දරයට යළි අපි පණ දෙන්නේ නැහැ. පරණ සන්ධාන මොඩලය තවදුරටත් වලංගු නැහැ. සියලුදෙනාගේ සමාන අයිතිය ආරක්ෂා කරගෙන ගණන නොවෙයි හරි දෙයක් තියෙනවානම්, හරි දේ ඒත්තු ගැන්වීම තමයි වැදගත්, තේරුම් කිරීමයි, අවබෝධ කර ගැනීමයි වැදගත්. මෙතැන ඉන්නේ සංඛ්‍යාවෙන් මැච් ගහන්න ඕනේ නායකයෝ නොවෙයි. අවබෝධයෙන් ඥානාන්විතව එකට ගමනක් යන්න පුළුවන් අය. ඒක තමයි අපට ඕනේ ගුණය.

ඒ විතරක් නොවෙයි මීට කලින් වෙන කිසිම සන්ධානයක් ගමේ ශාඛා සමිති හදන්නේ නැහැ. නමුත් මේ සභාගය ගමේ ශාඛා සමිති හදනවා. ගමේ ශාඛා සමිතියේ ජාතික නිදහස් පෙරමුණේ මිනිහත්, කොමියුනිස්ට් පක්ෂයේ මිනිහත්, මේ සියලු පක්ෂවල මිනිස්සුත් ඉන්නවා. පාලන බලය ගත්තත් ශාඛා සමිතිය එහෙමමයි. ගමට රාජ්‍යයෙන් කෙරෙන සැළකිල්ල දැන් තිබෙන්නේ මහ පක්ෂයට විතරයි. ඉස්සර මහා පක්ෂයක් වෙලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පසුගිය කාලයේ නහයෙන් අඩමින් සිටියා, අපට සංවර්ධන ව්‍යාපෘති කිසිවක් ලැබෙන්නේ නැහැ’ කියමින්. ගන්නකම් විතරයි සභාග ඊට පස්සේ අභාග. අපි මේ ගොඩනගන්නේ ඒ විපත සිදුවීමට ඉඩ නැති සන්ධානයක්.

සිස්ටම් චේන්ජ්

අපි මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලනවා, ‘ඔබේ ව්‍යාපාරය, ධනය මීට වඩා සාධාරණ ආකාරයට ආරක්ෂා කරන්නත් මීට වඩා සුරක්ෂිත සමාජයක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳගන්න’ කියා. ඒ වගේම අපි ඉල්ලනවා රාජ්‍ය සේවකයාගෙන් ‘මේ තමයි ඔබගේ සන්ධානය ඒ සමඟ අත්වැල් බැඳගන්න’ කියා. අපට පුළුවන් වුණා පසුගිය කාලයේ යකඩවලට විකුණා දැමීමට තිබූ වාලච්චේන කඩදාසි කම්හලට පණ දෙන්න. අද ලොතරැයි පත් පමණක් නොවෙයි පාසල් දරුවන්ගේ පෙළ පොත් ටිකත් නිපදවන්නේ එතැනයි. ඒ වගේම පසුගිය කාලයේ ගත් වෙහෙසේ ප්‍රතිඵලයක් ලෙස ඛනිජ වැලි සමාගමේ ටෙන්ඩර් පටිපාටියට වෙනසක් සිදුකර ඔන්ලයින් ටෙන්ඩරයක් කැඳවා ටෙන්ඩරය විවෘත කිරීමෙන් පසුව පැය 07ක් තුළ ගැනුම්කරුවාට අදාළ සියලු සේවා සැපයීමට හැකි වුණා. එමගින් දූෂණයට අතුල් පහරක් එල්ල වුණා. සිස්ටම් චේන්ජ් කියන්නේ මෙවැනි දේ නොවෙයිද?

දූෂණය කියන එක නතර කරන්න බැරි දෙයක් නොවෙයි. 100%ක් නොවුණත් එය අවම කළ හැකියි. දූෂණය කියන්නේ මේ ආර්ථික මොඩලයේම එකකුස උපන් දරුවෙක්. ණය ගන්නවා, වියදම් කරනවා කොමිස් ගන්නවා. ඒ නිසා ඒ දරුවා උපද්දවපු ඒ මොඩලයටම බැහැ දූෂණය නවත්වන්න. දූෂණය නැමති දරුවා උපද්දවපු මොඩලයෙන් එළියට එන්න ඕනේ, එය පරාජය කිරීමට. අපේ කතාව ඔබට හරි පැහැදිලියි. මෙන්න අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය.(අද දින එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙන්වමින්) අපි අපේ සභාගය ජනගත කරන දවසේම එහි ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළිදක්වා තිබෙනවා. අපි සියලු ප්‍රගතිශිලී ප්‍රජාතන්ත්‍රවාදී, ජාතිකවාදී, වාමවාදී සකලවිද දේශපාලන බලවේගවලට ඇරයුම් කරනවා, ‘අපි සියලුදෙනාම එකතුවෙලා මේ නව ආදර්ශයට මුල පුරමු!’ කියා.’ සාම්ප්‍රදායික පවුල් දේශපාලනය පිටුපස බඩගෑවා දැන් ඇති. ජාතිය ඉල්ලන අලුත් පරිවර්තනය සඳහා අවශ්‍ය යුගකාරක, නවීකාරක භූමිකා හා මහා නායකත්ව භූමිකාව අපි සියතට ගනිමු. ඒ සඳහා එකතු වෙමු. ඒ සඳහා පරණ මොඩලයෙන් නොවෙයි අලුත් ආකෘතියෙන් අලුක් ගමනකට ඉතාම උද්යෝගයෙන් සබුද්ධිකව පෙළ ගැසෙමු!’ කියා ඉල්ලා සිටිනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *