ආර්ථික අර්බුධයේ තවත් වේදනාත්මක කතාවක්
උදෑසන හිස් බඩම පාසලට පැමිණ කුසගින්නේ සිටි එකම පවුලේ අක්කා මලෝ දෙදෙනාගේ අසරණතාවය දැක සංවේදී වූ ගුරු මවක් එම සිසු දරුවන් දෙදෙනාට හා ඔවුන්ගේ පවුලේ අයට ද පිහිට වූ පුවතක් රජරට තඹුත්තේගම අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පෙදෙසක පාසලකින් අසන්නට ලැබුණි.
මහේෂිකා දුලාංජලී අබේරත්න නමැති මෙම ගුරු මාතාව එදින උදෑසන පාසලේ 4 වැනි ශ්‍රේණියට පැමිණියේ අදාළ විෂය ඉගැන්වීම සඳහාය. ඒ මේ අතරතුර පාසලේ විවේක කාලය ඇරඹි බවට වන සීනුව නාද වන්නට විය. ළමුන් සියල්ලන්ම ලහි ලහියේ කෑම ගැනීමට වෙන් කර ඇති ස්ථානයට දිව යන්නට වූයේ ගුරුතුමියගේ උපදෙස් පරිදිය. සියලු සිසුන් අදාළ ස්ථානයට ගොස් ආහාර ගැනීමට සූදානම් වුවත් එක් සිසුවියක් පමණක් පන්තියේම රැඳී සිටියාය. මේ බව දුටු ගුරුතුමිය ඇගෙන් ආහාර ගැනීමට නොයන්නට හේතුව ඇය විමසා තිබේ. එහිදී ඇය කියා ඇත්තේ “ටීචර්, කෑම ගෙනාවේ නෑ. උදේට තේ වතුරවත් බිව්වෙ නෑ. ගෙදර ඉන්නවාට වඩා ළමයි එක්ක සෙල්ලම් කරන්න ආස හින්දා ඉස්කෝලෙ ආවා.” යැයි කියාය.
කුඩා දියණිය පැවසූ දේ අසා සංවේදී වූ ගුරුතුමිය වහාම පාසල අසල තිබූ කුඩා කඩයකට දිව ගියේ දැරියට කෑමට යමක් රැගෙන ඒම සඳහාය. එහෙත් එහි කෑමට තිබුණේ රොටී සහ වඩේ පමණකි. ඉන් කිහිපයක් මිලදී ගෙන දැරියට ගෙනත් දුන් ගුරුතුමිය පංති කාමරය තුළදීම ඒවා ඇයට කෑමට දුන්නාය. ගුරුතුමිය දුන් කෑම කන අතරවාරයේ සිසුවිය නැවත ගුරුතුමියට කතා කළාය. ඇය ඇසූ දෙයින් මේ ගුරුතුමියගේ හදවත උණු වී ගියේ පුංචි දරුවකු වුවද ඇය සතු සහෝදර ප්‍රේමය කොතෙක්දැයි ඇගේ පැනයෙන් මොනවට පෙනී ගිය නිසාය. ඇය විමසා සිටියේ, “ටීචර් අපේ මල්ලිටත් කන්න දුන්නාද?” කියාය. ඇයට තවත් බාල සොහොයුරකු ද මේ පාසලේම සිටින බව දැනගත් ගුරුතුමිය ඔහු පිළිබඳ සොයා බැලීමට ඔහු සිටින 3 වැනි ශ්‍රේණියේ පන්ති කාමරය තුළට යද්දී දැක ගත හැකි වූයේ සෙසු සියලු දරුවන් ආහාර ගන්නා නමුත් එම දරුවා පමණක් මේසය මත හිස තබාගෙන තද නින්දක පසු වන බවයි.
නැවතත් කඩේට ගොස් රොටී සහ වඩේ ගෙනැවිත් එම සිසුවාට ද කෑමට දුන් ගුරුතුමිය, කෑම ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් පවුලේ තතු විමසුවාය. ඔවුන් එවිට කියා ඇත්තේ තමන් දෙදෙනාට අමතරව ඔවුන්ට තවත් මාස 03ක මල්ලි කෙනකු අම්මා සමඟ නිවෙසේ සිටින බවයි. ඔවුන් සියලු දෙනා දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වන බවත්, ඉගෙනීමට වඩා සෙල්ලමට ඇති ආශාව නිසා මෙම දරුවන් දෙදෙනා කුසගින්නේ හෝ බොහෝ විට පාසල් පැමිණෙන බවත් එහිදී ගුරුතුමිය වටහා ගත්තාය.
පාසල නිම වී නිවෙසට ගිය ගුරුතුමිය දහවල් සිදු වූ සිද්ධිය මීගලෑව මහජන බැංකු ශාඛාවේ සේවය කරන සිය සැමියාට කීවාය. ඔහු ඒ බව ඔහුගේ හිතවතුන්ට ද පැවසීමට අමතක නොකළේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම පිරිස පසු දිනක වියළි ආහාර මලුත් රැගෙන එම පුංචි නිවහන සොයා පිය නැගූහ. නිවසේ සිටි මව, පියා, සිඟිත්තා හා සිසු දරු දෙදෙනා ද කැටුව නගරයේ වෙළෙඳ සැල් කරා ගියහ. එහිදී සිසු දරුවා හා දැරියට පාසල් යෑමට අවශ්‍ය පාපැදි දෙකක් මිලදී ගෙන දුන් පිරිස, ඔවුනට අවශ්‍ය පාසල් පොත්පත් මෙන්ම නිවෙසේ සියලු දෙනාටම අලුත් ඇඳුම් පවා තෝරා ගන්නට ඉඩ සලසා දී ඒවාට මිල ගෙවන්නට තරම් කාරුණික වූහ.
පොල්පිතිගම නන්දන කැලේගම