Latestදේශීය

මිලියන 226කට අධික මුදල් වංචාව පිටුපස තවත් අය

මුදල් වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තිළිණි ප්‍රියමාලී නම් කාන්තාව තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7,500ක මුදලක් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබේ.

එමෙන්ම රහත් වී ඇතැයි පවසන භික්ෂුවක් සමග එක්ව රත්‍රං ලබාදෙන බව පවසමින් සැකකාරිය තවත් ව්‍යාපාරිකයන් රැසක් රටවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් මුලාකර මුදල් වංචා කළැයි චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලී නම් කාන්තාව පිළිබඳව තවත් කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

තමන්ගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන ලෙස බලකරමින් ඇය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7,500 ක මුදලක් ලබාගෙන ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

එම ව්‍යාපාරිකයාගෙන් විමර්ශන නිලධාරීන් අද (07) ප්‍රකාශ ලබාගත් බව වාර්තා විය.

අවස්ථා තුනකදී ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති සැකකාරිය ඔහුට නැවත මුදල් ලබාදී නොමැති බව සඳහන් ය.

මේ අතර එම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සමග සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන සුරූපි රංගන ශිල්පිනියකගෙන් ද සැකකාර කාන්තාව රුපියල් කෝටි 10ක පමණ මුදලක් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබේ.

එමෙන්ම කඩවත ප්‍රදේශයේ වෙසෙන, රහත් වී ඇතැයි පවසන භික්ෂුවකගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ සැකකාරිය සමග පැවැත්වූ හිතවත්කමක් හේතුවෙනි.

රහත් වී ඇති බව කියන එම භික්ෂුව සතුව රත්‍රං ඇතැයි පවසමින් සැකකාරිය එම ස්ථානයට ව්‍යාපාරිකයින් රැගෙන ගොස් රවටා මුදල් ලබාගෙන ඇති බව වාර්තා විය.

එමෙන්ම පසුගිය කාලයේ රටේ දැඩි කතාබහට ලක් වූ භික්ෂුවක් ද සිය අධි සුඛෝපභෝගී ජීප් රථය සැකකාරිය වෙත හිතවත් කම මත ලබාදී ඇති අතර පසුව ඇය එය රුපියල් කෝටි 3කට වෙනත් අයෙකුට අලෙවි කර තිබූ බව හෙළිවී තිබේ.

උන්වහන්සේ ඇයගෙන් ඊට අදාළ මුදල් ලබාගෙන ඇත්තේ දැඩි ප්‍රයත්නයකින් පසුව බව විමර්ශන නිලධාරීන් පැවසීය.

රුපියල් මිලියන 226කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන්, තිළිණි ප්‍රියමාලි නම් සැකකාරිය මේ වන විට රිමාන්ඩ් කර සිටී.

– Ada derana


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *