Latestක්‍රීඩාදේශීය

අන්තර් විධාන රුවල් තරඟාවලිය අවසන්

නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය -2022, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු තීරයේදී 2022 ඔක්තෝබර් 04 සිට 07 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි පිරිමි අංශයේ ශූරතාවය දියත් විධානයත්, කාන්තා අංශයේ ශූරතාවය පුහුණු විධානයත් දිනා ගන්නා ලදී.

ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු තීරයේදී දින 04 ක් පුරා පවත්වන ලද මෙවර අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය එන්ටර්ප්‍රයිස් අංශය (Enterprises category) යටතේ පැවැත්වුනු අතර, ප්‍රථම වරට ලේසර් අංශය (Laser category) අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා හඳුන්වා දීමද මෙවර තරඟාවලියේදී සිදු විය. ඒ අනුව, සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් මෙවර තරඟාවලියේ එන්ටර්ප්‍රයිස් අංශය සඳහා රුවල් යාත්‍රා 17 ක් සහ ලේසර් අංශය සඳහා රුවල් යාත්‍රා 06 ක් සමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‍ 45 ක් සහභාගී විය.

මෙම රුවල් යාත්‍රා තරඟාවලියේ එන්ටර්ප්‍රයිස් අංශය යටතේ පැවති පිරිමි ශූරතාවය දියත් විධානය විසින් දිනා ගත් අතර, එහි අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනා ගන්නා ලදී. එන්ටර්ප්‍රයිස් අංශය යටතේ පැවති කාන්තා ශූරතාවය පුහුණු විධානය විසින් දිනා ගත් අතර, එහි අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, ප්‍රථම වරට අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා හඳුන්වා දුන් ලේසර් අංශය සඳහා රුවල් යාත්‍රා 06 ක් පුහුණු විධානය, දියත් විධානය,බටහිර විධානය සහ දකුණු විධානය නියෝජනය කරමින් එක් වූ අතර, එහි ජයග්‍රහණය දියත් විධානය නියෝජනය කරමින් සහභාගී වූ ලුතිනන් කේකේපීඑන් කන්නන්ගර විසින් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා අංගනයේදී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *