Latestදේශීය

IMF එකත් කියන්නේ ඡන්දයක් තියන්න කියලා – ලක්ෂ්මන් කිරිඇල්ල

‘ආණ්ඩුව ගඳ ගහනවා කල් ඉකුත් වෙලා ඒකයි එක එක අය විවිධ පැති වලට සංක්‍රමණය වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපි කියන්නේ වහාම ජනමතයක් විමසන්න ඒ ජනමතය තුළින් අපේ ඉදිරියේ ගැන කල්පනා කරන්න පුළුවන්’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සදහන් කලේය.

ආණ්ඩුවේ ඇමතිවරයෙක් මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න කියලා කතානායක වරයාට ලිපියක් යවලා තියෙනවා මම එතුමට මතක් කරන්න කැමතියි පාර්ලිමේන්තුව තුළ මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය කරන්න කමිටුවක් පත් කළේ 2012 එවකට තිබුණු ආණ්ඩුව දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉන්පසු ආණ්ඩුව වෙනස් වුණාම යහපාලන ආණ්ඩුවත් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ඒ කටයුත්ත කරගෙන යන්න කිව්වා. ඉන්පසු පොහොට්ටු ආණ්ඩුව ආවමත් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ඒ කටයුත්ත කරගෙන යන්න කිව්වා. කොටින්ම කියනවා නම් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 2012 ඉඳලා අද දක්වා අවුරුදු දහයක් මේ මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති හැටියට වැඩ කරනවා. ඔහුට හොඳටම කල් තිබුණා අවශ්‍ය නීතිරීති ප්‍රතිසංස්කරණය කරන්න. එතුමා මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති වෙන කාලයේ සාමාජිකයෝ දෙදාහයි හිටියේ .එතුමා එය හාරදාහක් කරා ඉන්පසු යහපාලන ආණ්ඩුව කාලයේ එතුමා ඒක අටදාහක් කරා දැන් නැවත මේ ආණ්ඩුව කියනවා ප්‍රමාණය වැඩියි අඩු කරන්න ඕන කියලා. ඒක ගැන අපට තර්කයක් නැහැ හැබැයි අපි කියන්නේ මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය උඩ දාල ප්‍රාදේශීය සභා මැතිවරණය කල්දාන්න බැහැ. එය වෙලාවට පවත්වන්න ඕන පසුගිය සැප්තැම්බර් 20න් පස්සේ මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ඒ කටයුතු ආරම්භ කරන්න.

මම කියනවා අවුරුදු දහයක් තිබිලත් දිනේෂ් ගුණවර්ධන මහත්මයා අවශ්‍ය නීතිරීති ප්‍රතිසංස්කරණය කෙරුවේ නැහැ. දැන් ප්‍රාදේශීය සභා මැතිවරණ කට ළඟට ඇවිත් රජය කියනවා මේ නීතිරීති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගණන වැඩියි එය 4000ට අඩු කරන්න ඕන කියලා හැබැයි වැඩි කෙරුවෙත් එතුමා මේ කරන්නේ මැතිවරණ කල් දාන්න දරන උත්සාහයක් බව හොඳට පැහැදිලියි .අපි රජයට කියනවා මේ වගේ සිල්ලර වැඩ නොකර මැතිවරණයක් තියෙන්න. මොකද ජනමතයක් මේ රටේ ජනතාව පමණක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඉල්ලනවා. පුවත්පත් සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා කිව්වා රජය ජනමතයක් විමසුවොත් හොඳයි කියලා.මොකද මේ රජය බලයට ආවේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කරනවා කියලා නමුත් අද වෙන්නේ රාජ්‍ය සම්පත් එකින් එක විකුණන්න පිඹුරුපත් හදන එක.අපි රජයට කියනවා මැතිවරණ කල් දාන්න එපා අවුරුදු පහක් හිටියා හොඳටම ඇති. ඒ වාගේම මැතිවරණ කොමිසමටත් කියනවා අයවැය තව දින කිහිපයකින් එනවා එම නිසා ප්‍රාදේශීය සභා මැතිවරණයක් තියන්න අවශ්‍ය මුදල් ඉල්ලන්න. අපිට ආරංචි තවම කිසිදු මුදලක් ඉල්ලලා නැහැ කියලා එම නිසා මුදල් ඉල්ලා දිස්ත්‍රික් මට්ටමෙන් මැතිවරණ පවත්වන්න අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරන්නේ කියලා මැතිවරණ කොමිසමට ඉල්ලීමක් කරනවා .මැතිවරණ කොමිසමෙන් මන්දගාමී ස්වභාවයක් අපිට පේන්න තියෙනවා හැබැයි ඔහු ප්‍රසිද්ධියේ කියලා තියෙනවා මැතිවරණ නියමිත වෙලාවට තියෙනවා කියලා එය හොඳ ප්‍රවණතාවයක් නමුත් කියලා විතරක් මදි ආණ්ඩුවෙන් මුදල් ඉල්ලන්න ඕන. දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් පත් කරන්නත් අවශ්‍ය කටයුතු කරන්න ඕන.

ඒ වගේම දැන් රජය අලුත් බදු ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ බදු සම්බන්ධව විපක්ෂයත් එක්ක කිසිදු සාකච්ඡාවක් කරේ නැහැ. හැබැයි රජයේ අපේ සහයෝගය ඉල්ලනවා නමුත් මේ බදු සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡාවක් කරල නැහැ හොර රහසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරලා තමයි මේ බඳු පනවන්න උත්සාහ කරන්නේ. අපි රජයෙන් අවස්ථා ගණනාවක් ඉල්ලුවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තියෙන එකඟතාවය ඉදිරිපත් කරන්න කියල පාර්ලිමේන්තුවට අද වෙන තෙක් එය ඉදිරිපත් කරලා නැහැ .එහෙම කියන අතරමග මෙවැනි ජනතාවට පමණක් නොව සමාගම්වලට වත් දරා ගන්න බැරි විදිහට බදු ක්‍රම හඳුන්වා දීලා තියෙනවා .බදු ගහන්න ඕන තමයි හැබැයි එය බඹරා මලෙන් රොන් ගන්නවා වගේ මල විනාස නොකර. මේ රජය අපනයනකරුවන් වගේම මධ්‍යම පංතිය විනාශ කරන්න තමයි අලුත් බදු යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ.

අපි රජයට කියනවා අපිත් එක්ක සාකච්ඡා කරන්නේ නැතුව මේ වැඩේ කරන්න බැහැ විපක්ෂයට බහුතරය වැඩියි ඒක මතක තියාගන්න 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ අපි සහයෝගය දුන්න නිසා. සාම්ප්‍රදායික දේශපාලනය කරානම් අපිට ඒකට විරුද්ධ වෙන්න තිබුණා නමුත් අපි විරුද්ධ වුණේ නැහැ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කියනවා 19 ව්‍යවස්ථා සංශෝධනය අඩංගු කරුණු ඇතුළත් 22 ව්‍යවස්ථා සංශෝධනය රටට අවශ්‍යයි කියලා.ඒ අනුවයි අපි රට ගැන ජනතාව ගැන හිතලා සහයෝගය දුන්නේ. ආණ්ඩුවට මේක 172ක් ලැබුණා ඉන් 90ක් විපක්ෂයේ ඡන්ද.එම නිසා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විමසන්නේ නැතිව සාකච්ඡා නොකර මේ බදු සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම් අපි ඒවට තරයේ විරුද්ධ වෙනවා මොකද අද අපේ රටේ ජනතාව විඳින දුක වචනවලින් කියන්න බැහැ ලංකා ඉතිහාසයේ කිසිම දවසක 1948 ඉඳලා ආණ්ඩු ගණනාවක් ආවා නමුත් කිසිම ආණ්ඩුවක් අපේ රට මේ තත්වයට බංකොලොත් කෙරේ නෑ .අද රුපියල් ඩොලර් දෙකම නැහැ අපි මේ ආණ්ඩුවට රට භාර දෙන කොට ඇමරිකානු ඩොලර් බිලියන හත්දාස් අටසීයක් විදේශ විනිමයක් එක්ක තමයි රට බාර දුන්නේ. අද මේ රජයට බදු ගහන්න සිදුවුණේ පොහොට්ටුව රට බංකොලොත් කර නිසා.එසේ නොවන ආකාරයට වැඩ කරානම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ.

අද ආණ්ඩුව පැති කිහිපයකට කැඩිලා පිරිසක් විපක්ෂයේ පැත්තට ඇවිල්ලා වාඩි වෙලා තවත් කෑලි තුන හතරකට කැඩිලා මම අවංකවම රජයට කියනවා මේ ආණ්ඩුව expire වෙච්ච ආණ්ඩුවක් බව තේරුම් ගන්න ඕන. යහපාලන ආණ්ඩුව ලොකු සමාගම් වලට වවිශාල වැට් බද්දක් දාලා තිබුණා පොහොට්ටුව ආවා විතරයි ඒ බිලියන 800 අහෝසි කරා. එසේ කෙරේ මේ සමාගම් පසුගිය ජනාධිපතිවරණයට ප්‍රකෝටි ගණන් සල්ලි දුන්නා. එක සමාගමක් මිලියන දාහක් දුන්නා. ඒවා ගැන හිතලා තමයි මේ අය වැඩකරලා එම මිලියන අටසිය නැති උනාම රට සම්පූර්නව අසරණ තත්ත්වයට පත්වුණා .අපේ රටේ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ වහල්ලු මේ බිලියන 800ක ආදායමක් නැති කර ගන්න කොට අලුතින් පත්වෙච්ච රජයේ කිසිම කෙනෙක් ප්‍රශ්න කෙරුවෙ නැහැ. වියත් අය ඉන්නව කියනවා පලවෙනි අයවැයෙන් බිලියන අටසීයක ආදායම් නැති කරගන්න කොට ආණ්ඩුවේ කිසිම කෙනෙක් ප්‍රශ්න කෙරුවේ නැහැ. බිලියන අට සීයක් නැති වෙනවා ඒක හොයා ගන්නෙ කොහෙන්ද එහෙමයි ආණ්ඩුව කටයුතු කරන්න ඕන.

දැනගැනීම සඳහා මම කියන්නම් මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යතුමියට යන්න වුනේ ඇයි එතුමියත් මේ ලොකු සමාගම් වලට ආපු ගමන් බදු සහන දුන්නා විශාල බදු මුදලක් ආණ්ඩුවට නැති වුණා ඒ අග්‍රාමාත්‍ය තුමියගෙන් ප්‍රශ්න කෙරුවෙ විපක්ෂයේ නෙමෙයි එතුමියගෙන් පක්ෂයේ අය මේහේ වගේ වහලු එහේ නැහැ ඒ මුදල කොහෙන්ද හොයා ගන්නේ ඒ මුදලෙන් තමයි රෝහල් පාසල් පවත්වාගෙන යන්නේ කොහෙන්ද මේ නැතිවුන බදු මුදල හොයාගන්නේ ප්‍රශ්න කළ විට එතුමිය දුන් උත්තරය මම ණය ගන්නවා කිව්වා. පසුව එතුමියට ඉල්ලා අස් වෙන්න වුණා ඉතින් මම මේ අවස්ථාවේ කියනවා මේ බදු සංශෝධන වලට අපි විරුද්ධයි මොකද මධ්‍යම ප්‍රාන්තික ජනතාව අද කබලෙන් ලිපට වැටිලා ඊටත් වැඩිය වැටෙන්න තැනක් නැහැ .මේ ආණ්ඩුව ගඳ ගහනවා කල් ඉකුත් වෙලා ඒකයි එක එක අය විවිධ පැති වලට සංක්‍රමණය වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපි කියන්නේ වහාම ජනමතයක් විමසන්න ඒ ජනමතය තුළින් අපේ ඉදිරියේ ගැන කල්පනා කරන්න පුළුවන්.

– මාධ්‍ය අංශය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *