Latestදේශීය

ගිලෙන නැවට පනිනවානම් අබ සරණයි – උදය ගම්මන්පිල

දේශපාලකයන් සුන්දර පොරොන්දු ලබා දෙමින් ජනතාව මුලා කිරීම නැවැත්වීම සදහා දේශපාලකයින් විසින් නව ව්‍යාපෘතියක් යෝජනා කරන විට එයට වැය වන මුදලත් ඒ මුදල් සොයන ක්‍රමයත් ජනතාව හමුවේ තැබිම සදහා වන නීති රීති සම්පාදනය කල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව හා එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

මිල්ලනිය සිදුවීමට හේතු මොනවා ද?

මිල්ලනිය පාසලක විදුහල්පතිනිය විසින් පොලිසිය ලවා දරුවන්ට හිංසා කරවීම අද සමාජයේ ලොකු අවධානයකට පත්වෙලා තිබෙනවා. මගේ තාත්තා ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය අරඹලා අධ්‍යාපන පරිපාලන නිලධාරියෙකු ලෙස විශ්‍රාම යන විට අම්මා විදුහල්පතිනියක් ලෙස විශ්‍රාම ගියා. මම පුංචි කාලයේ ජීවත් වුණේ පාසල තුලම තිබුණු විදුහල්පති නිල නිවස තුල. එදා සහ අද සංසන්දනය කරන විට පාසලෙන් වාර්තා වන ඛේදවාචකයන් බරපතල ලෙස ඉහල ගිහින්.

මිල්ලනිය පාසලක විදුහල්පතිනිය විසින් පොලිසිය ලවා දරුවන් වධ හිංසාවන්ට ලක් කිරීම හුදකලා සිදු වීමක් නෙවෙයි. මේ සිදුවීමට දැවැන්ත මාධ්‍ය අවධ්‍යානයක් යොමු වුනාට මෙවැනි සිදුවීම් නිතරම රට පුරාම සිදුවෙනවා. එදාට වඩා අද මේ සිදුවීම් වැඩි වුනේ ඇයි කියන ප්‍රශ්ණයට අපි උත්තර හොයන්න ඕනෑ. එදා විදුහල්පතිවරුන් දරුවන්ට විරුද්ධව පොලිසි ගියේ නෑ. පාසලේ ප්‍රශ්න පාසල තුලම විසඳ ගත්තා. දරුවන්ගේ දෙමව්පියන් ගෙන්නලා ගෙවල් වල ප්‍රශ්න පවා විසඳුවා. එදා කරපු දේ අද නොවෙන්නේ ඇයි ?

විද්‍යාව, ගණිතය භාෂාවට උපාධියක් ලැබූ පමණින් ඒ දැනුම බෙදන ගුරුවරයෙකු වෙන්න බෑ. අධ්‍යාපන වේදය වෙනම විෂයක්. ළමා මනෝ විද්‍යාව, ඉගැන්වීමේ ක්‍රම, සන්නිවේදනය, කණ්ඩායම් පාලනය වැනි විෂයන් ගණනාවක් ගැන අවබෝධය ලබාගෙන ගුරුවරයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. එදා උසස් පෙල සමතෙකු වුණත් උපාධිධාරියෙකු වුණත් පාසලට යවන්න කලින් මිරිගම ගිරාගම කටුකුරුන්ද ගුරු විදුහල්වලට යවලා වසර දෙක තුනක් ගුරුවරයෙකු ලෙස පුහුණු කරලා තමයි ගුරුවරයා පන්ති කාමරයට යොමු කලේ.

ගුරුවරු ප්‍රමාණයෙන් වැඩි වන විට පුහුණුව අඩු වුණා. දැන් උපාධියක් තිබේ නම් තරග විභාගය සමත් නම් සති කිහිපයක පුහුණුවකින් පාසලට යවනවා. හරියට බ්‍රොයිලර් චිකන් වගේ. අවුරුදු දෙකේ හමුදා පුහුණුව මාස හයට අඩු කරලා උතුරේ යුද්ධයට යවපු සොල්දාදුවන්ගේ ඉරණමම තමයි අද ගුරුවරුන්ට අත් වෙලා තිබෙන්නේ.

මනා පුහුණුවක් තිබුණා නම් අර මිල්ලනිය පාසලේ විදුහල්පතිනිය පොලිසි යන්නේ නෑ. දරුවන් ඉරියව් සහ දෙන පිළිතුරු අනුව මේ දරුවන් ඇත්තටම පසුම්බියක් සොරකම් කලා ද නැද්ද කියා සොයා ගන්නවා. පුහුල් හොරා කරෙන් දැනේ වගේ කතා උගන්වන්නේ ඒ දැනුම අපට ලබා ගන්නයි.

දේශපාලකයින්ගේ සෑම යෝජනාවකටම මුදල් සොයන ක්‍රමයත් ඕනෑ

ලංකාව අද මෙහෙම අසරණ තත්වයට පත් වුනේ වසර පනහක් විතර ණයට කාලා සැපට හිටිය නිසා. අපි විදුලි ආවරණය 95% ක් කලේ ප්‍රධාන පාරවල් කාපට් කලේ ගමේ පාර කොන්ක්‍රිට් කලේ ණය අරගෙන. හැබැයි බංගලි දේශය හැමදාමත් ආදායමේ හැටියට වියදම් කලේ. ඒ රටේ 40%කට විදුලිය නෑ. තවමත් ගම්වල තිබෙන්නේ ගුරු පාරවල්. නමුත් විදේශ සංචිත ඩොලර් බිලියන 43 ක් තිබෙනවා. අපිත් දැන් ණය ඉල්ලන්නේ බංගලිදේශයෙන්.

ණයට කෑමේ ආදිනව උපරිමයට විඳින ගමන් ඊ ලඟ ඡන්දය දිනන්න නැවතත් පොරොන්දු දේශපාලනය පටන් අරන්. නොමිලේ පාසල් දරුවන්ට දිවා ආහාරය දෙනවාලු. සෑම දිස්ත්‍රික්කයකම විශ්ව විද්‍යාලයක් අරඹනවාලු. විදේශ රටවල ඉගෙන ගන්න දරුවන්ට ශිෂ්‍යත්ව දෙනවාලු. සමෘද්ධි ලබන පිරිස වැඩි කරනවාලු. මේවා ඉතාම හොඳයි. ඒත් කරන්න සල්ලි කෝ?

බොහෝ යුරෝපීය රටවල දේශපාලකයින් විසින් නව ව්‍යාපෘතියක් යෝජනා කරන විට ඒකට වැය වන මුදලත් ඒ මුදල් සොයන ක්‍රමයත් කියන්න ඕනෑ. මැතිවරණ ප්‍රකාශනයේ තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන්න මොන බදු වැඩි කරලා ද ආදායම සොයන්නේ කියන එකත් මැතිවරණ ප්‍රකාශනයේ දාන්න ඕනෑ. කොටින්ම කියනවා නම් අනාගත අයවැය තියෙන්නේ මැතිවරණ ප්‍රකාශනයේ. අපි නීතියක් සම්මත කරලා හරි මේ පොරොන්දු දේශපාලන සංස්කෘතිය නැති කලේ නැති නම් ඊ ලඟ ඡන්දය දිනා ගන්න අපේ ඊලඟ පරම්පරාවත් උකස් කරනවා.

අපේ ආච්චිලා සීයලා හැටේ දශකයේ දී රොටි කන්න පිටි ගෙන්න පීඑල් 480 ඇමෙරිකානු ණය ක්‍රමය යටතේ ගත් ණය මෑතක් වන තුරු ගෙව්වා. අපි දුක් වින්දා හොඳටෝම ඇති. ඡන්ද දිනන්න සුන්දර පොරොන්දු දීලා ඒවා කරන්න ණය අරගෙන අපේ දරුවන්වත් අපි සිරවුණු ණය උගුලේ හිර කරන්න එපා කියලා පොරොන්දු දෙන දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය

ආණ්ඩුව මැතිවරණය තියාවිද ?

පිළිතුර

ආණ්ඩුවේ ආසාව නම් මැතිවරණය කල් දාන්න. ආණ්ඩුවට ඒක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මැතිවරණ සීමා නිර්ණය කොමිසම සහ පලාත් පාලන මැතිවරණ සීමා නිර්ණ කමිටුව මගින් මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලිය සිදුවන්නේ නැහැ. ඒ අය හදන යෝජනාවලිය පාර්ලිමේන්තු පනතක් හරහා සම්මත කරන්නට ඕනෑ. මැතිවරණයට කලින් ඒ පනත සම්මත කළොත් තමයි මැතිවරණය කල් දැමීම සිද්ධවෙන්නේ. ඒ නිසා මේ සීමා නිර්ණයෙන් මැතිවරණ කල් දැමීම සිදු වෙනවා කියන්නෙ වැරදි අදහසක්.

පාර්ලිමේන්තුවට එවැනි පනත් කෙටුම්පතක් ගෙනල්ලා සම්මත කරගන්න මාසයකට මදක් අධික කාලයක් ගත වෙනවා. ඒ තුළ දේශීය වගේම විදේශීය පීඩනයක් ආණ්ඩුවට එල්ල වෙනවා. මොකද මේ දිනවල ලංකාව පිටරටවල සාදර අනුග්‍රහයෙන් ජීවත් වන නිසා පිටරටවල් කියන දේ අහන්න සිද්ධ වෙනවා. විදේශ ආධාර වල කොන්දේසි අංක එක වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිව්‍යුහගත කිරීම නොවෙයි. වහාම මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන්න කියන එකයි. ඒ නිසා ආණ්ඩුවට වැඩිම වුනොත් මැතිවරණය මාස දෙකක් කල් දමා ගන්නට පුළුවන් වෙයි. එහෙම මාස දෙහෙකට කල් දාලා නාගෙන ඡන්දයකට යනවට වඩා නිසි කලට ඡන්ද පැවැත්වීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයටද හොඳයි කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.

ප්‍රශ්නය‍

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වෙන්න යනවා කියලා කියනවා නේද ?

පිළිතුර

ඔය කට කතාව දැන් ටිකක් පරණයි. සාමාන්‍යයෙන් අයවැය කිට්ටු වෙනකොට ඉතිහාසය පුරාම ඔබ බැලුවොත් නොවැම්බර් මාසයේ ඔය කට කතාවට පියාපත් එනවා. මේ ආණ්ඩුව විතරක් නෙමේ සමස්ත රටම ගිලෙන නැවක්. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්නේ කෙසේද කියන එකට ආණ්ඩුවට මේ දක්වාම වැඩපිළිවෙළක් නැහැ. ගිලෙන නැවට පිරෙන වතුර එළියට දාන්නේ කොහොම ද? නැවේ තියෙන හිල් වහන්නේ කොහොම ද? කියලා වැඩ පිලිවෙලක් නැතුව කවුරුහරි ගිලෙන නැවට පනිනවා නම් අනේ ඒ අයට අබ සරණයි.

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුර හෙළ උරුමය ගම්පහ දිසා සංවිධායක අංජන උදාර වත්තල ආසන සංවිධායක නන්දන ජයලත් යන මහත්වරුන් ද සහභාගී විය.

– Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *