Latestදේශීයමතවාද

ඉල් මහට වදනක්

තවත් නොවැම්බර් 13 දිනක් පැමිණ ඇත. තාප්ප සහ පාප්ප සිය වගකීම් නොවලහා ඉටු කරමින් සිටී. ඒ ගැන තාප්පවලට සහ පාප්ප වලට අපේ ආචාරය හිමිවිය යුතුය. මගේ පරම්පරාවේ නික්ම ගිය සගයන් ඒ කිසිත් නොදකිනු ඇත. වෙනස් සමාජයක බිහිවීම පිලිබඳ අපේක්ෂාව පමණක්ම දරාගෙන අනන්තවූ වධ බන්ධනයන්ට ලක්ව, පරසිදු මෙන්ම සැඟවුනු වධකාගාරයන්හී වෙඩි කා, සමූහ මිනී වලවල්හී වැළලුණු, ටයර් සෑයන්හී දැවුණු, රෝහණ සහෝදරයා ඇතුළු සහෝදර සහෝදරියන් මේ පාප්ප යට ඇති බෙදුම් ඉරි නොදකිනු ඇත. ඒ බෙදුම් ඉරි දකිමින් සහ හරවත් නොවන වාගාලාප යුද්ධයන්ගේ කරච්චලය විඳින්නට සිදුව ඇත්තේ එක්සත්ව කරනා අරගලයක් ගැන අපේක්ෂා දල්වාගෙන ජීවතුන් අතර සිටින සහෝදරයන්ටය.

දේශපාලන ව්යාෝපාරයන්හී මතවාදී අරගල ඇතිවීම ස්වාභාවිකය. එහෙත් ඒ මතවාදී අරගල කිසි විටෙනකත් තීරණාත්මක මොහොතක එක්සත් වැඩපිලිවෙලකට බාධා පමුණුවන්නේ නැත. එසේ බාධා පමුණුවන්නේ නම් ඒ අන් කිසිවක් නොව අවස්ථාවාදයම බව ඉතිහාසය විසින් පෙන්වාදී ඇත්තේ වරක් දෙවරක්ද නොවේ. පංතියේ සතුරා වෙනුවට එකම අදහස් දරන අනෙකා බලවත්ම සතුරා ලෙස දැකීම තරම් දේශපාලන වරදක් තවත් නැත. ඒ ගැන ඒ ඇති යයි සිතමි.

1985 වසරේ අග භාගයේ දිනෙක කමල් මන්නපෙරුම (අද ඉතිහාසය තුළ අමතක කර දමා ඇති සෙනෙවි) සහ සුගත් අශෝකද සිල්වා යන වෛද්යෙ සිසු සහෝදරයන් දෙදෙනා පළමු වරට හමුව කළුතර දිස්ත්රිගක්කයේ අන්තරයේ සහ ශිෂ්ය අංශයේ වැඩ ඇරඹූ ආකාරය දැන් මගේ මතකයට එයි. එවක අපි තිදෙනාම සරසවියේ පළමු වසර සිසුහු වීමු. අප තිදෙනාම හොරණ කලින් යොදා ගත් තැනට ආවේ ශිෂ්යම අංශයෙන් ලද උපදෙස් අනුවම පමණි. කිසිදු සැකයක්, පාවා දීම ගැන බියක් නොවිණි. එදා අල්ලා ගත් අතින් අපි මහත් විශ්වාසයෙන් ගමන ඇරඹීමු. ඉක්මනින්ම අපේ කුලකය වර්ධනය විණි. මහින්ද සෙනරත්, විමල්, ලියනගේ ඇතුළු බොහෝ සහෝදරවරුන් සමග අපේ ගමන ඉදිරියට ඇදිණි. මේ සියල්ලෝම සරසවි සහ පාසල් සිසුවෝය. අතරමැදදී සුගත් සහෝදරයා මාතරදී ඝාතනය කෙරිණි. කමල් සිය ගමනේ විවිධ හැරවුම් සමග ගමන් කර පිලිකාව හමුවේ පරාජයව නික්ම ගියේය. ඒ වන විට අප දෙදෙන පසුවූවේ එකිනෙකාට විරුද්ධ මතවාදයන්හිය. එහෙත් ඔහු නික්ම යන්නට දින දෙකකට කලින්ද මම ඔහු හමුවීමට ගියෙමි. එදින ඔහු සිය ලෙඩ ඇඳ මත හිඳ තම අතින්ම පිලියෙල කළ තේ කොප්පයක් මට දුන් ආකාරය සහ එහි සීනි ඇති නැති බව හැන්දෙන් දිව ගා බලමින් පදම සකස් කල ආකාරය මට තවම මතකය. අපේ මතවාද කිසි විටෙකත් අප අනෙකාට එරෙහිව පොලු උස්සන තත්වයට පත් කළේ නැත. ඒ වෙනුවට සංවාද වාද කිරීමේ ශික්ෂණය අපට තිබිණි.

මගේ පළමු ගමන් සගයන් දෙදෙනාම අහිමිව මම දැන් ඉතිරි මග ගෙවා දමමින් සිටිමි. ගෙවෙනා සෑම දවසක්ම සිහිපත් කරනුයේ ඉතිරිව ඇති කාලය ඉතා කෙටි බව සහ මරණයේ බර අඩිය කොයි මොහොතේ හෝ ළය මත තෙරපෙන්නට ඇති බවය. ඉදින් ඒ දිනයේ නික්ම යන්නට වන්නේ කා කොටා ගන්නා රතු කමිස යුද්ධයක් මැද නම් ඒ ගැන අනාගතයට වග උත්තර කියන්නට සිදුවනු ඇත්තේ අද සමරනු ලබනා සගයන්ට නොව වත්මන් බුද්ධි මණ්ඩලවලට බව පමණක් ලියා තැබිය යුතුය.

කෙසේ වෙතත් මේ සටහන නිමා කරන්නට පෙර පසුගිය දා ඇස ගැටුණු එක් සඳහනක් ගැන යමක් ලිවිය යුතු යයි සිතමි. සටහනේ හිමිකරු ලාල් කාන්තය. ඔහු සිය සටහනින් මෙසේ කියයි.

‘ශිෂ්යු අවධිය දේශපාලනයේ මොන්ටිසෝරි අවධිය මිස විශ්ව විද්යාැල අවධිය නොවේ.’

දශක ගණානවකට පසුව කරන ලද මේ මහඟු සොයා ගැනීම ගැන තුති. මෙහි ඇති මොන්ටිසෝරි යන වදන මේ කියමනේ ඇති කුහකකම පෙන්වා දෙයි. ළදරු පාසල යන්නට ඉංග්රීොසි යෙදුම ලෙස භාවිතාවන අවස්ථාව හැරුණු විට ලංකාවේ මොන්ටිසෝරි යන යෙදුම භාවිතා කෙරෙනුයේම ගර්හාත්මක අරුතිනි. සරලව කියන්නේ නම් බාල වැඩ නැතිනම් හුජ්ජ කොල්ලන්ගේ වැඩ යන අර්ථයෙනි. නිකං මොන්ටිසෝරි වැඩ කරන්න එපා බං යනුවෙන් පවසනු අසන්නට ලැබෙන අවස්ථා අප සමාජයෙහි බහුලය. සමහර විට ලාල්ගේ මේ කියමනට හේතු වන්නට ඇත්තේ මේ දිනවල අන්තරය සම්බන්ධයෙන් ජවිපෙ සහ පෙරටුගාමී දෙපාර්ශවය අතර වන වදන් ගුටි බැට නිසාවෙන්ද විය හැකිය. එහෙත් මෙවන් අදහසක් පල කිරීම යනු බරපතල බව ඔහු නොදැන සිටිය නොහැකිය.

ජවිපෙ දේශපාලනය තුළ සැමදාමත් අන් අංශ හා හරි හරියට වැඩ කළ පිරිස අතර සිසුන් සිටි බව රහසක් නොවේ. අප සමග අසූව දශකයෙහි වැඩ කළ අති බහුතරයක් සරසවි සිසුන් වූ අතර ඒ අතර පාසල් සිසුන්ද සිටි බව ලාල්ද නොදන්නවා නොවේ. අවශ්යු නම් රංජිතම්ගෙන් පටන්ගෙන දිග ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකිය. එසේම ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළුව විවිධ අංශවල නායකත්වය කරා ආ සැලකිය යුතු පිරිසක් ශිෂ්ය. අංශයෙන් ආ අය බව අමුතුවෙන් කියන්නටද අවශ්යව නැත. එය හැත්තෑ එකට අසූනමයට මෙන්ම අදටද පොදු කරුණකි.

මේ ශිෂ්ය.යන් විසින් ජවිපෙ දේශපාලන ගමනට දෙන ලද දායකත්වය සහ ඔවුන් විසින් දෙන ලද නායකත්වය මෙන්ම සහභාගීත්වය අතරෙහි ඔවුන් පල කළ දියුණු ගුණාංග ගැන ඒ ඒ අවධියෙහි අත්දැකීම් ඇත්තන් ම කතා කළ යුතුය. එහෙත් මින් ශිෂ්යැ අංශය යනු මුළුමනින්ම නිවැරදි පෙරමුණක් බව අදහස් නොවෙයි. සමස්ත ව්යා පාරය තුළම ගැබ්වූ සාධනීය ලක්ෂණ මෙන්ම දුර්වලතාද ශිෂ්යා අංශය තුළද එසේම පැවති අතර අදටත් එය එසේමය. එය හුදෙක් ශිෂ්යීයන්ගේ වරදක් නොව ශිෂ්යතයන්ට දේශපාලන නායකත්වය දෙන අයගේ ගැටළුවක් බව අප තේරුම් ගත යුතුව තිබේ. එය ජවිපෙ මෙන්ම පෙරටුගාමීන්ද එකසේ සලකා බැලිය යුත්තේ මේ දෙපිරිසම ශිෂ්ය යන් අතර වැඩ කරන හෙයිනි. ඉදින් ලාල් ගේ කියමන අනුව වෙසෙසින්ම ජවිපෙ සිය ශිෂ්යඩ අංශය ගැන සලකා බැලිය යුතුව තිබේ.

වසරක් පාසා ජවිපෙ තරුණ අංශය විසින් මහත් උත්කර්ෂයෙන් සමරනු ලබන චේ සිය දේශපාලන ගමන අරඹන්නේද සිසු අවධියෙනි. ඔහු සිය පරිණතබව පෙන්වන්නට පටන් ගන්නේම සිසු අවධියෙහිය. මෙය සෝවියට් සහ චීන විප්ලවයෙන් පටන් ගෙන ලොව ඇතිවූ සෑම වමේ ව්යායපාරයකටම පොදුය. සෑම විප්ලවවාදී ව්යා පාරයකම සිසුන් විසින් දක්වන ලද දායකත්වය, කැපවීම මෙන්ම පරිණතබවද ලෙහෙසියෙන් අමතක කළ හැක්කක්නොවේ. එය මොන්ටිසෝරි අවධියකැයි ගරහන්නට හැක්කේ දේශපාලන කුහකකමෙහි වෙස්මුහුණට මුවහවී පමණි.

ලාල් ලංකාව පසෙක ලා අවම තරමින් සෝවියට් විප්ලවය දෙස බැලුවා නම් මැනවැයි මට සිතෙයි. ඒ විප්ලවයේ පතාක යෝධයෙකුව, ඉතා කෙටි කලක් තුළ ලෙනින්ගේ මහත් ඇල්ම දිනාගත්, දැවැන්ත බුද්ධියක් විදහා පෑ නිකොලායි බුකාරින් අරගලයට සම්බන්ධ වනුයේ දහසය වැනි වියෙහිදීය. මුල පටන්ම ඔහු පල කර සිටියේ අරගලය උදෙසා තමන් තුළ වන දියුණු භාවිතාවන්මය. අවසන ස්ටාලින්ගේ මර්ධනයට හසුව ඝාතනය කරනු ලැබූ අවස්ථාව දක්වාම ඔහු එය රැකගෙන සිටි බවට ඉතිහාසය සාක්ෂි දරයි.

ඉදින් මේ ඉල් මහ සමරුවෙහිද ඔබ තම තමන්ගේ කඳවුරු තුළ සිට විරුවන් සමරනු මැනවි. එහෙත් මෙවන් ගැරහීම් නොකරනු මැනවි. ශිෂ්ය අවධියෙන් දේශපාලන දිවිය ඇරඹූ කුහුඹුවකු වන මට කියන්නට ඇත්තේ එයයි.

නොවැම්බර් දහතුන යනු ජීවිතය පුරාවටම වේදනාබර මතකයකි. රෑ නින්දෙන් අවදි කර නෙත් කඳුලින් බර කරන කරුම රැයකි. ඒ වේදනාව අපට ඇතිය. වධකාගාරයන්හිදී පෙන්වන ලද, ඝාතනයට ලක්වූ සහෝදරවරුන් අතර එකටම සිටි සගයන්ගේ විවිධ වධබන්ධන වලට ලක්වූ සේයා රූ හද පීරි ගායි. ඒ අතර ලාල් කියනා මොන්ටිසෝරි අවධියේ සිටි සිසු සහෝදර සහෝදරියන්ද වෙයි. ඔවුහු ලාල් කාන්ත වැනි දේශපාලනයේ ආචාර්ය උපාධි මට්ටමට පැමිණි අය නොවන බව සැබෑය. එය වර්තමානයේ අරගල කරනා වසන්තලාටද පොදුය. එහෙත් ඔවුන්ගේ කැපකිරීම අවබෝධයෙන් තොර බොළඳ කාර්යයක් ලෙසට පිරිහෙලීම නොකරනු මැනවි. කැමති අයෙකුට කැමති පාරකින් අරගලය ඇරඹිය හැකිය. ඒ ඔවුන්ගේ නිදහසයි. එහෙත් අතීතයට හෝ වර්තමානය සමග කෝන්තර පිරිමහන්නට කිසිවකුට හෝ අයිතියක් නැත. මා මැයි දිනයට වත් රතු කමිසයක් ඇඳ නැත. එහෙත් මම රතු යන්නෙහි දේශපාලන අරුත දනිමි. ඒ අරුත විශ්වාස කරමි. අවසන් හුස්ම පොද තෙක්ම ඒ වෙනුවෙන් වෙහෙසෙමි. නුඹලා සියළු දෙනාටම සුබ පතමි.

පස් යට සැඟව ගිය සහෝදරයන්ගේ නාමයෙන් මෙපමණක් පවසමි.

‘සදා සමරමු සොහොයුරෝ- කිසිදා නොමරමු සොහොයුරෝ.’

චූලානන්ද සමරනායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *