“ගොඩ යමු” වික්ටර් අයිවන් ට අනුව [වැල යන අතට මැස්ස ගැසීමේ න්‍යාය]
වසා දමා ඇති රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරකවරයා හා රාවය සමාගමේ සභාපතිවරයා දැන් “රනිල් රාජපක්ෂ” අණ්ඩුවේ නිල නොවන උපදේශකයෙක්. ලංකාවේ මේ පවතින අර්බුද්ධයට හිටපු පාලක පංතීන් වෙනුවෙන් ක්ෂමාලාප දෙසා බාන්නෙක්. ඔහු මේ බංකොලොත් ආණ්ඩුව රැකීමට ක්‍රියාත්මක වෙන “ගොඩ යමු” ව්‍යාපාරයේත් නායකයෙක්. ඔහුගේ වර්තාමන දේශපාලන භූමිකාව දැන්දැන් බොහෝ දෙනෙකුගේ විවේචනයට හසුවෙනවා. අප හිතන්නේ මේ විවේචනය එල්ල වෙන්නේ ඔහුගේම “පුනරුද ව්‍යාපාරය” ට දරදිය ඇදපු උදවියයි, විමතියෙන් හා කෝපයෙන් මේ විවේචන ගේන්නේ.
ඔහුගේ නවතම දේශපාලන මතය වික්ටර් හොදින්ම දන්නා උදවියට අලුත් දෙයක් නෙවෙයි. ඔහු වැල යන අතට තමන්ගේ දේශපාලන මැස්ස ගහන කෙනෙක් බව ප්‍රකටයි. ඒක තේරුම් ගන්න ඔහුගේ දේශපාලන ජීවිතයට මදක් එබෙන්න ඕනා. මේ දේශපාලන චරිතය දිහා බලන්න මම යුග දෙකක් නම් දෙකකින් ගන්නවා. ඒ පොඩි අතුල හා වික්ටර් අයිවන්.
පොඩි අතුල ගැන ලංකාවේ දේශපාලන ඉතිහාසයට එකතු වෙන්නේ 1972 දී අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ මුල් විනිශ්චය සභාව ආරම්භවීමත් සමඟයි. ඔහු ‘මහ නඩුව’ නමින් ප්‍රකට එම විභාගයේ 07 වෙනි සැකකරුවා. පොඩි අතුල නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වූවත් ඔහු කැරැල්ල ඇරඹීමට මසකට පමන පෙර බෝම්බ නිෂ්පාදනයේ යෙදී සිටියදී සිදු වූ පිපිරීමකින් බරපතල තුවාල ලැබුවා. වමත අහිමි කර ගත්තා. ‘මහ නඩුවේ’ විත්තිකරුවන් පෙල ගැස්සුවේ පාලක සමගි පෙරමුනේ දේශපාලන අවශ්‍යතාව මත. මේ නිසා කැරැල්ලට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුනේ ආරම්භකයා හා නායකයා වූ රෝහණ විජේවීර 13 වෙනි සැකකරු දක්වා තල්ලු කෙරුණා.
විජේවීර විස්තර කරන ආකාරයට පොඩි අතුල නඩු විභාගයටත් පෙරම සමඟි පෙරමුණේ දේශපාලන රැකවරන ලැබුවා.
අප්‍රියෙල් කැරැල්ල හා එහි දේශපාලනය හරියටම නිල නොවන දේශපාලන සරසවියක් වගේ. එහි ඇතුලත්වීමේ විභාගය වී තිබුන්නේ එංගලන්ත රැජිණ නිල නායකයා වූ රාජ්‍යයක් සන්නද්ධ අරගලයකින් පෙරලා දැමීමට එකඟ වීම පමනයි. අවංකවම එසේ එකඟ වී ‘ව්‍යාපාරයට’ එකතු වූ සටන්කාමීන්ට දේශපාලන පුහුණුවක් හා ආයුධ පුහුණුවක් ලැබුනා. කැරැල්ල පරාජය වී හිරකරුවන් වූ විට යලිත් දේශපාලන අධ්‍යාපනය හිරගෙවල්වල දීම පටන් ගැනුනා. පොඩි අතුලට ‘කැරලි විශ්ව විද්‍යාලයෙන් දේශපාලන “උපාධිය” ලැබෙන්නේත් ලංකා සමාජයේ සිවිල් බලයක් හිමි වෙන්නේත් මේ ආරම්භය නිසයි. අයුවි (අපරාධ යුක්ති විනිෂ්චය) කොමිසමේ වාර්තාව අනුව පොඩි අතුල ඉතාම අවංකව දේශපාලනයට කැපවූ කෙනෙක්. තනමින් සිටි බෝම්බය පිපිරී තුවාල ලබූ ඔහු ප්‍රතිකාර කිරීමට වෙනුවට ව්‍යාපාරය ආරක්ෂා කිරීමට මරා දමන මෙන් ඉල්ලා සිටියා.
කැරලිකරුවෙක් වූ වරදට කොමිසම ඔහුට අවුරුදු 5 සිරදඬුවමක් නියම කලා. ඔහු දිළිදුකම හා දේශපාලනය නිසා අහිමි වූ අධ්‍යාපනය ජවිපෙන් මෙන්ම හිරගෙදර දී කෙරුණු ස්වයං අධ්‍යයනයන්ගෙන් සම්පූර්ණ කර ගත්තා.
ඔහු සිරගෙදරින් පැමිණියේ මහත්මා ගාන්ධිගේ අවිහිංසා දේශපාලනය සරණ යන බව කියමින්. එහෙත් ඔහු දේශපාලනය කරන්න තෝරා ගත්තේ එවකට පිළුණු වී ගඳ ගසමින් තිබූ සමසමාජ පක්ෂයයි. අප ඔහු මුලින්ම දුටුවේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලය ඉදිරිපිට පැණිබීම [ස්නැක් බාර්] හලක් දමා ගෙන සිටිද්දී. 1979 ගාල්ල අතුරුමැතිවරණයට වම බෙදී ඉදිරිපත් වෙද්දී ඔහු සමසමාජයේ අපේක්ෂකයා වී සිටිය.
ජවිපෙන් තරඟ වැදුනේ ඔහු සමඟ හිරගෙදර සිටි ඉංජිනේරුවෙකු වූ ලයනල් බෝපගේ. පොඩි අතුලගේ ප්‍රචාරක ව්‍යාපාරය මුළුමනින්ම ජවිපෙ විරෝධී එකක්. එහි තරඟ වැදුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් ඩයස් හෝ එජාපයේ විජයානන්ද දහනායක පොඩි අතුලගේ දේශපාලන විවේචනයට හසු වුනේ නෑ. එහෙත් තමන් උපන් ගාල්ලේ ආසනයේන් ඔහු චන්ද 800 පමන ලබද්දී බෝපගේ චන්ද තුන් දහසකට අධික ප්‍රමාණයක් හිමිකර ගත්තා.
අපට ආයෙත් පොඩි අතුල දකින්න ලැබෙන්නේ තිරාණගම හංදියේ සිල්ලර කඩයක් කරමින් සිටිද්දී. ඒ වනවිටත් ඔහු පොත් ලියනවා. මම හිතන්නේ ‘අඳ ගොවිතැනේ අභියෝග’ ලියන්නේ මේ කාලේ. ඔහු එකල ලියු පොත්වල කතුවරයාගේ නම ‘වික්ටර් අයිවන් පොඩි අතුල’. ඔහු තමන් කැරැල්ලේ දේශපාලන අනන්‍යතාව හා ඥාතීත්වය ‘රාවය’ හයිවෙනකල්ම ගෙනාවා. ඔහු සර්වෝදයේ නායක ඒ. ටී. ආරියරත්නට ලංවීම ගැන තොරතුරු අඩුයි. එහෙත් ඔහු ආරියරත්නට ලියපු එක් ලිපියක කොටසක් මට පසු කලෙක මිත්‍රයෙක් පෙන්නුවා.
“මම පහසුවෙන් විශ්මයට පත්වන්නෙක් නොවෙමි. එහෙත් ඔබ තනිවම ගොඩනැඟූ සර්වෝදය ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය දැක පුදුමවෙමි.”
මේ ලිපියෙන් ටික කාලේකට පස්සේ පොඩි අතුල කියන ගාන්ධිවාදියා සර්වෝදය ගාන්ධිවාදියාට එකතු වෙනවා. ඔහුට සර්වෝදය අධාරය යටතේ ජනමාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උපකාර ලැබෙනව. ‘රාවය’ සඟරාවේ මුල එතන. ඔහුට දේශපාලනයේ දී ‘වැල යන අතට මැස්ස ගැහීමේ ඉව ජනමාධ්‍යයේදීත් තිබුනා. මුල් යුගයේ ‘රාවය’ සඟරාව නියෝජනය කලේ සිංහල ජාතිකවාදය. ඉන්දියානු හමුදා ලංකාවට කඩාවදිද්දී මේ මතවාදයට සෑහෙන ඉල්ලුමක් සමාජයේ තිබුනා.
1990 පමණ වෙද්දී ඔහු ‘රාවය’ සඟරාව ටැබ්ලොයිඩ් පත්තරයක් බවට පත් කළා. ප්‍රේමදාස ආණ්ඩුවේ බලවත් විවේචකයෙක් බවට පත් වුණා. ඒ වනවිට ඔහුගේ පක්ෂපාතීත්වය තිබුනේ බණ්ඩාරනායකලාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඔහු වමේ දේශපාලනය වෙනුවට බණ්ඩාරනායකලගේ ‘මැද මාවතට’ මාරු වුණා. ‘පොඩි අතුල’ භාවිතය අමතක කළා. ප්‍රජා අයිතිය අහිමිවීම හා දිගු කාලීන දේශපාලන පරාජයන්ට මුහුන දී හුදකාලාවු බන්ඩාරනායක පවුල, තමුන් හිරේ දාල පුනරුත්ථාපනය කළ මේ පැරණි කැරලිකරුවා දැක්කේ ගැලවුම්කාරයෙක් හැටියට. වික්ටර්ට මේ අලුත් ‘මැද මාවතේ’ සුවපහසු ගමනක් පෙනුනා. සමසමාජය, හිරගෙදරින් පැමිනි ‘පොඩි අතුල’ කෙලින්ම මධ්‍යම කාරක සභාවට ගත්ත ආකාරයටම ශ්‍රීලනිපය මේ වන විට වික්ටර් [ජයග්‍රහකයා?]අයිවන් හැටියට වෙනස් වී සිටි ඔහු බණ්ඩාරනායක පවුලේ ඔඩොක්කුවේම වාඩි කරා. චන්ද්‍රිකා – සිරිමා ගැටුමේ දී ඔහුම වරක් අපට කී අකාරයට…
“ මම චන්ද්‍රිකාගේ පැත්ත ගත්තට මම මැඩම්[ සිරිමා බණ්ඩාරනායක]ගේ සමීප මිත්‍රයෙක්. එයා පිටරට ගියාම තෑගි ගේන සීමිත ලැයිස්තුවේ මමත් ඉන්නවා” එයා බොහොම ආඩම්බරයෙන් කීවේ ඒ කාලේ. එයා චන්ද්‍රිකා ‘පත්තිනි දේවියක්’ කරල කරගහගෙන යන්න කලින් හිටියේ ලලිත් ඇතුලත්මුදලිත් එක්ක. වික්ටර්ට, ඊළාම් යුද්ධයේ විශාල කාලයක් රටේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිකම දරපු, උතුරේ හා දකුණේ රාජ්‍ය භීෂණයේ යෙදුණු නිලධාරීන් ආරක්ෂා කිරීමට ‘වගකීමෙන් ආරක්ෂා විමේ පනත ගෙනා ලලිත් ඇතුලත්මුදලි පෙනුනේ ලංකාවේ “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීමට මහා බ්‍රහ්මයා එවු “විෂ්ණුගේ අවතාරය” හැටියටයි.
මේ කාලේ සර්වෝදය [1993 මුල] රාවයට මුදල් දීම නවතා දමනවා. ඔහුගේ උපකාරයට ‘රාජාලියෙක්’ වගේ ආවේ අනාගත බලය සොයමින් සිටි ලලිත්- ගාමිණි [දිසානායක] යුවල.
අවාසනාවට වික්ටර්ගේ “විෂ්ණුගේ අවතාරය” 93 අප්‍රියෙල් අග ඝාතනය වෙනවා. ඔහු බිඳවැටුණු බලාපොරොත්තු සපුරා ගන්නේ “අවතාරයේ” තැනට “පත්තිනි අම්මා” වඩම්මවමින්. අප්පච්චියි – හස්බන්ඩයි දෙන්නම වෙඩි තියල මරපු නිසා චන්ද්‍රිකා, “පත්තිනි දේවි” කරන්න පහසු වුණා. ඔහුට පරහක් තිබුනේ තමුන්ගේ අලුත්ම දේශපාලන දිව්‍යාංගනාව හෙවත් “පත්තිනි දේවතාවිය” මරා දැමූ පොළඟා වෙනුවට අලුත් “නළු පොළඟෙකු” ආරක්ෂාවට ඔඩොක්කුවේ තබාගෙන සිටීමයි. එහෙත් මේ “නළු පොළඟ” සිනමා සක්විත්තාට පෙනුනේ “ඔඩොක්කු කුක්කෙක්” වගේ. වික්ටර් “පත්තිනි දේවිට” ලංවෙන්න හදන හැම විටම “නළු පොළඟ” හපන්න පැන්න. ඉතින් බොහොම අමාරුවෙන් තමයි එයා වැඩසිටි ‘අරලිය ගෙයි’ වන්දනාවට ගියේ.
මුලදී ‘රාවයේ’ වැඩ ඉවරකරන බ්‍රහස්පතින්දා හැන්දැවට වික්ටර්, ‘කළු හවුලට’ ගෙනෙන ගල් බෝතල් එකතුවට ලොකුම ගණන දමල එකතු වෙනවා. 1994 අවසාන වෙද්දී වික්ටර් කළු හවුලට සල්ලි දැම්මට අඩිය ගහන්න ඉන්නේ නෑ. ‘අරලිය ගෙදර’ පත්තිනි වන්දනාවේ යනවා. එතන ගල් වෙනුවට විස්කි තිබුන නිසා. මේ කාලේ ‘රාවයට’ දේසපාලකයො වෙනුවට පාඨකයෝ අනුග්‍රහ දෙමින් සිටියා. පත්තර ලක්ෂ එකහමාරක් විතර අලෙවි වෙනව. මිනිස්සු අසාවෙන් අලුත් බලාපොරොත්තු මිලදි ගතතා.
1997 පමණ වෙද්දී චන්ද්‍රිකා ආන්ඩුව පිරිහෙමින් තිබුනේ. ඔහුට ‘රාවය” පාඨකයන් බේරා ගැනීමේ සටනක් තිබුනා. පත්තරේ “බ්‍රෝඩ් ශීට්” [ලොකු ප්‍රමාණය] කරලා හෙමිහිට චන්ද්‍රිකා විවේචනය කරන්න පටන් ගත්තා. ඒත් පත්තරේ අලෙවිය අඩු වෙනවා. ඔහු පත්තරය පවත්වාගෙන යාමට චන්ද්‍රිකාගෙන් පුද්ගලිකව සල්ලි ගත්තා. අපි ඇහුවම ඇයි ‘හෙරකගෙන්’ සල්ලි ගත්තේ කියලා …..
“නෑ එයා මුලදිම පොරොන්දු වුණා රාවයට මුදල් අනුග්‍රාහයක් දෙන්න මිලියන දෙකක. එයින් කොටසක් දුන්නේ. මම ඒ සල්ලිවලින් පනස් දාහක් තියාගෙන අනික් ඔක්කොම කළුට [ දයා කළුආරච්චි – එකල අලෙවි කළමණාකරු] බාර දූන්නා. සල්ලි දෙන ගමන් එයා[ චන්ද්‍රිකා] කීවා “හබැයි ඔන්න මුදල් අමාත්‍යංශය ගැන ලියනවනම් මගෙන් අහල ලියන්න” කියලා. ඒ වුනත් මම ඒ සතියේම මුදල් අමාත්‍යංශයේ පුවතක් දැම්මා”
1999 වෙද්දී ඔහු චන්ද්‍රිකා ආණ්ඩුවේ අංක එකේ සතුරෙක් බවට පත් වී සිටියා. ඒ නිසාම 1999 ජනාධිපතිවරනයේ දි ඔහු රනිල් වික්‍රමසිංහට චන්දය දෙන්න කියල පත්තරේ මුල් පිටුවෙන්ම කීවා. එහෙත් ඔහුගේ පාඨකයෝ යූඑන්පී කාරයන් නොවන නිසා පත්තර වැටීම නවතා ගන්න නොහැකි වුණා. 2001 වෙද්දී පත්තර බෙදන ප්‍රමාණයෙන් භාගයක්ම ආපහු එන්න ගත්තා. වතාවක් අපට රාවය සමාගමේ ගිණුම් අංශයෙන් කිවා ‘ආපහු එන පත්තර ගොඩ ගැහිල තව ටික දොහකින් ඉන්න තැනක් නැති වෙනවා කියලා’ මේ බව ලොක්කට කියන්න…!
ඔවුන්ට කියන්න බැරි දේ කියන්න අපි ඉදිරිපත් වුණා.
“ඇයි මේ පත්තරේ ගහල කෙලින්ම ‘කවීතට’ [පැරණි පත්තර තොග මිලදී ගන්නා මුදලාලි] දෙන්නේ නැතුව රට පුරා බෙදල ආයේ එකතු කරල දෙන්නේ..?”
වික්ටර්ගේ මුණ කළු වුණා.
“ ඔයා අඩියක් ගහපු වෙලාවට කියන දේ ඇයි මෙහෙම කන්තෝරුව මැද්දේ කියන්නේ”
අපේ යාළුකම ඉවර වුණේ එදා. ඒත් පත්තරේ වැටීම නතර කරන්න බැරි වුණා. පත්තරේ දිව්වේ පොත් ගහලා.
2005 දී ඔහු පත්තරේ රාජපක්ෂලා පස්සෙන් යැව්වා. 2010 ‘රනිල් ෆොන්සේකා’ පස්සෙන් යැව්වා. 2015 දි රනිල් සිරිසේන පස්සේ යැව්වා. අන්තිමට පත්තරය හා මුද්‍රණාලය ලොකු ගානකට විකුනන්න ලෑස්ති වුණා. පස්සේ පිංවතුන් එකතුවෙල අරමුදලක් එකතු කරල දුන්නා. ඒත් පත්තරේ ගොඩ දාන්න බැරි වූණා. කතෘවරු මාරු කළා. එකක්වත් හරි ගියේ නෑ. අන්තිමට ගෙඩිය පිටින් ආයෙත් විකුනන්න හදන කොට නඩුවක් දැම්ම අනෙක් කොටස්කාරයෝ.
දැන් ‘රාවයේ’ ඉන්නේ කොකිට වවුල්ලු විතරයි. වික්ටර් අයිවන් මේසයක් පුටුවක් නැතුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇවිද ඇවිද උපදෙස් දෙමින් ඉන්නවා.
රාවයෙන් හා වික්ටර් අයිවන්ගෙන් පත්තර කර්මාන්තයට ඉගෙන ගන්න තියෙන්නේ මොනවාද? සඳය [සඳරුවන් සේනාධිර – ලංකා ඊ නිව්ස්] කියන විදිහට,
“නොකල යුත්තේ කුමක් ද?’ පමණයි. පත්තර දේශපාලකයන් වෙනුවෙන් කඩේ යාම ආරම්භ කළ විට මෙබදු ඉරණමක් පත්තරයට, එය අයිති සමාගමට හා එහි නායකයාට අත්වීම ස්වභාවිකයි. ඔහු පත්තරය ඉනේ ගසා ගෙන “පුනරුද ව්‍යාපාරය” නමින් දේශපාලනය කළා. එතන හිටියේ පැරණි වාමාශිකයන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්. උන් ඔක්කොම පාරේ දාල නායකයා ආණ්ඩුවට රිංගුවා. දැන් පුනරුදකරුවන් වික්ටර්ගේ “ගොඩ යමු” ව්‍යාපාරයට එකතු කරන්න වෙනම පුනරුත්ථාපන කඳවුරක් ‘කපුහේපොල’ [ඔහුගේ ගම] දාන්න ඕනා.
අපි සඳයගේ විග්‍රහයට එකඟ වෙන්නේ නෑ. අපේ විග්‍රහයට අනුව වික්ටර්ගෙන් ඉගෙන ගන්න තියෙන්නේ එකම දෙයයි ඒ ..
“වැල යන අතට මැස්ස ගැසීම” පමණයි.
නන්දන වීරරත්න