Latestක්‍රීඩාවිදේශීය

වැලිකතරේ කුසලානයේ ඔල්වරසම් හමුවේ යුක්තිය අයැදින ඉරානයේ අඳෝනාව

එළඹෙන්නේ මැදපෙරදිගට විශේෂ සමයක්. ඉරිදා(20) කටාර් රාජ්‍යයේ ඇරඹෙන පාපන්දු ලෝක ශූරතාවය මැද පෙරදිග දී පැවැත්වෙන ප්‍රථම පාපන්දු ලෝක ශූරතාවයයි. එතරම් දියුණු පාපන්දු සංස්කෘතියක් නොමැති රටක පාපන්දු ලෝක ශූරතාවයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාවද මෙයයි. 2002 වසරේ ජපානය සහ දකුණු කොරියාව ඒකාබද්ධව පැවැත්වූ ලෝක කුසලානය ඇරෙන්නට මුලු ආසියාවේම මින්පෙර පාපන්දු ලෝක ශූරතාවයක් පවත්වා නැහැ.

තෙල්වලින් පොහොසත් කටාර් රජ්‍යයට ලෝක ශූරතාවය පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඕනෑවටත් වඩා ඇතත් එරට මානව හිමිකම් සම්බන්ධයෙන් සහ විදෙස් ශ්‍රමිකයින්හට සලකන ආකාරය සම්භන්ධයෙන් ඇති මතබේදයට තුඩු දුන් කරුණු ඔවුනට සත්කාරකත්වය ලබා නොදී සිටීමට තරම් ප්‍රභල බවයි කියවුනේ.

සත්කාරක කටාර් පාපන්දු කණ්ඩායමද ලෝක ශූරතාවයකට සහභාගි වන්නේ ප්‍රථම වතාවටයි. කෙසේ වෙතත් එලඹෙන ඉරිදා ආරම්භ වන තරගාවලියේ වඩාත්ම අවධානයක් දිනාගනු ලබන මැදපෙරදිග රට වන්නේ කටාරය නොව ඉරානයයි. ඒ මන්දයත් එරට රජයට එරෙහිව නැගෙන විරෝධතා සහ විරෝධතාකරුවන් කිහිප දෙනෙකුටම එරෙහිව එරට අධිකරණයන් මගින් මරන දඬුවම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කලාපයේ අවධානය ඉරානය වෙත යොමුවී තිබීමයි.

දෛවෝපගත ලෙස ඉරානයට ලෝක කුසලානයේ ප්‍රථම වටයේදී මුනගැසෙනුයේ තම දේශපාලනයේ ගෝලීය එදිරිවාදීන් සේ සැලකෙන  අමෙරිකාව සහ එංගලන්තයයි. එම කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම වන්නේ වේල්සයයි.

තම රටෙහි පැනනැගී ඇති වත්මන් තත්වය ලෝකය වෙත ගෙන යාම සඳහා ඉරාන වැසියන් පසුගිය සමයේ ක්‍රීඩාව උපයෝගි කර ගැනීම සුලභව දක්නට ලැබුණා.

සැප්තැම්බර් අග ඉරානය, ඔස්ට්‍රියාවේ වියානාහි දී අප්‍රිකානු ශූරයින් වන සෙනගලය සමඟ සුහද තරගයක නියැලුණා. 1-1 ලෙස අවසන්වූ තරගයෙන් ඉක්බිති ඉරාන ක්‍රීඩකයින්වත්, පුහුණු කරුවන්වත් සතුටු වන බවක් දක්නට ලැබුනේ නැහැ. ඉරානය විසින් යොදවනු ලැබූ ආරක්ෂකයින් විසින් ඉරාන ප්‍රේක්ෂකයින් හට ක්‍රීඩාංගනය වෙත ඇතුලුවීම වලකාලනු ලැබුවත් ඉරාන ප්‍රේක්ෂකයින් ක්‍රීඩාගාරයෙන් පිටතසිට විරෝධතා පවත්වනු ලැබුවා. මෙගාෆෝන් සහ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ඔවුන් දැක්වූ විරෝධය කොපමණද යත් ඔවුන්ගේ සටන් පාට නොඇසෙනු වස් ඉරාන රාජ්‍ය රූපවාහිනිය තරග විකාශය ශබ්දය නොමැතිව රූප වලට පමණක් සීමා කළා.

සැප්තැම්බර් මැද භාගයේ සිට ඉරානයේ ජන ජීවිතය ඉස්ලාමීය ජනරජයට එරෙහිව නැගී ආ විරෝධතා රැල්ලකින් ගහන වී පසුව එය පසුගිය දශකයක තුළ  ඉස්ලාමීය ජනරජයට මුහුණ දීමට සිදුවූ විශාලම අභියෝගය බවට පරිවර්තනය වුනා.

මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇස්තමේන්තු කරන්නේ උද්ඝෝෂණ  අරම්භවීමෙන් පසු 15,800 ක් පමණ අත්අඩංගුවට පත්වී 341 දෙනෙකු විරෝධතා අතරතුර මිය ගොස් ඇති බවයි. එලෙසම ආරක්ෂක භටයින් 39 දෙනෙකුද මිය ගොස් ඇති බවට ද වාර්තා වී තිබෙනවා.

මෙම විරෝධතා රැල්ල ඇතිවීමට ආසන්නම හේතුව සැපයූවේ දැඩි හිජාබ් නීති කඩ කළ බවට චෝදනා කරමින් ඉරානයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විසිදෙහැවිරිදි කාන්තාවක් වන මහ්සා අමිනී පොලිස් බාරයේ සිටියදී මියයාමයි.

ක්‍රීඩා පිටියෙන් පිටත විරෝධතා දැක්වූ පිරිස්ද උද්ඝෝෂණය කළේ මහ්ෂා අමිනී  නම කියා කෑගසමින්.

මෙම වටපිටාව තුළ එලඹෙන සඳුදා(21) ඉරානය එංගලන්තයට එරෙහිව කටාර්හි පැවැත්වෙන ආරම්භක ලෝක කුසලාන තරගයට මුහුන දීමට නියමිතයි. ඉරාන ක්‍රීඩාලෝලීන් සහ ක්‍රීඩකයින් මෙම ලෝක කුසලානයේදී ක්‍රියා කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැති නමුත් සියල්ලෝම එම තරගය දෙස බලා සිටිනු ඇති. කෙසේ වෙතත්  ලෝක කුසලානය තුළ ඉරාන ක්‍රීඩා ලෝලීන්ගෙන් සහ ක්‍රීඩකයින්ගෙන් අනපේක්ෂිත විරෝධයක් එල්ල වුවහොත්  එය ඉරාන රජය දැඩි අපහසුතාවයකට පත්කරනු ඇති.

ඉරානය ගිනියම් කළ බරපතල සිදුවීම් හී ආරම්භය ලෙස වයඹදිග ඉරාන නගරයක දිවිගෙවූ තරුණ කුර්දි කාන්තාවක් වන මහ්සා අමිනී දින තුනක් කෝමා තත්ත්වයෙන් පසුවී සැප්තැම්බර් 16 වැනිදා ටෙහෙරාන් රෝහලකදී මිය ගියේ පොලිසිය අත්අඩංගුවේ සිටියදී. පොලීසිය විසින් අමිනී අත්අඩංගුවට ගන්නා විට ඇය පවුලේ අය සමඟ අගනුවර සිට ඇති අතර ඇයට එල්ලවූ චෝදනාව වූයේ හිසකෙස් නිසි ලෙස හිජාබයකින් ආවරණය කර නොතිබීම සහ අත් සහ පාද ලිහිල් ඇඳුම් වලින් ආවරණය කළ යුතු බවට වූ නීතිය උල්ලංඝනය කිරීමයි.

මෙම අවස්ථාවේදී ඉරාන පොලිස් නිළධාරින් අමිනීගේ හිසට බැටන් පොල්ලකින් පහර දී ඔවුන්ගේ වාහනයක හිස ගසා ඇති බවට වාර්තා වුනා. බලධාරීන් ඇයට “හදිසි හෘදයාබාධයක්” ඇති වූ බව ප්‍රකාශ කළත් ඇයගේ පවුලේ අය පවසා ඇත්තේ ඇය නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටි බවයි.

අමිනීගේ මරණයත් සමග කෝපයටපත්වූ කාන්තාවන් ඇගේ අවමංගල්‍ය කටයුතු සිදු කරන මොහොතේ තම හිජාබ් ගලවා රජයට එරෙහිව කෑ ගැසූ අතර මෙම සිදුවීමේ වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමග රට පුරා උද්ඝෝෂණ වේගයෙන් ව්‍යාප්ත වුනා. පොදු ජනතාව දෛනිකව දැක්වූ මෙම විරෝදතාවයන් වඩාත් ත්‍රිවු කරවීමට ක්‍රීඩාව ද වේදිකාවක් සපයා තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේදී කඳු නගින ක්‍රීඩිකා එල්නාස් රෙකාබි දකුණු කොරියාවේ පැවති ආසියානු ශූරතාවලියට තරඟ කළේ හිජාබයක් නොමැතිවයි. ඇයගේ මෙම ක්‍රියාව මහත් ආන්දෝලනයක් ඇතිකල අතර ඇය ආපසු පැමිනෙන විට ඇයව පිළිගැනීමට දහස් ගණනක් ගුවන් තොටුපළට පැමිනුණා.

නමුත් ඇය නැවතත් සිය නිවසට යමට පෙර ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් පළ කරමින් පවසා සිටියේ සිය නොසැලකිලිමත් කම නිසා හිසකෙස් ආවරණය නොකර තරඟ කළ බවයි. කෙසේවෙතත් ඇගේ එම පෝස්ටුවෙහි භාවිතා කර ඇති භාෂා ශෛලිය තුළින් එය බලහත්කාරයෙන් ලියවා ඇති බවක් පෙනෙන්නට තිබුණු බව ඒ පිලිබඳ අදහස් දැක්වූ විවේචකයින් පවසා තිබුණා.

කඳු නැගීම මෙන් නොව පාපන්දු ඉරානයේ ජනප්‍රියම ක්‍රීඩාවයි.  පසුගිය දිනවලදී එරට පාපන්දු පදනම් කරගනිමින් දක්වන ලද විරෝධතා වලින් පෙනී යන්නේ පාපන්දු ලෝක කුසලානය එවන් විරෝධතා සඳහා විශාල වේදිකාවක් සපයනු ඇති බවයි.

2005-2007 වකවානුව තුළ ජර්මනියේ බයෙන් මියුනික් (Bayern Munich) කණ්ඩායමේ ක්‍රීඩාකල හිටපු ඉරාන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන අලි කරිමි මෙම විරෝධතා ව්‍යාපාර වල මූලිකත්වය ගෙන තිබීමත් ඉරානයේ වාර්තාගත ගෝල්ලාභියා සහ එරට අති ජනප්‍රිය චරිතයක් වන අලි ඩේයි ද මෙම විරෝධතාවන්ට සිය සහය පළ කර තිබීමත් හමුවේ එවන් විරෝධතාවන් ලෝක කුසලාන තරගවලදී ද සිදුවනු ඇත්දැයි බලාසිටීමට උත්තේජනය සපයනවා.

සෙනගාලයට එරෙහිව සැප්තැම්බර් 27 පැවති තරගයේදී, ඉරානයේ සමහර ක්‍රීඩකයින් විරෝධතාවලට සහය දක්වමින් සමාජ මාධ්‍ය පණිවිඩ පළ කර තිබුනත්, එසේ නොකරන ලෙස ඔවුන්ට කල්තියාම දන්වා තිබුනා. කණ්ඩායමේ 27 හැවිරිදි ප්‍රහාරක Bayer Leverkusen සහ ඔවුන්ගේ ප්‍රමුඛතම ක්‍රීඩකයා වන Sardar Azmoun, ඉරානයේ ක්‍රියාත්මක වීමට අවසර දී ඇති සමාජ මාධ්‍ය ජාල කිහිපයෙන් එකක් වන Instagram හි ඔවුන්ගේ සහයෝගය විරෝධතාවයන්ට දිගටම පළ කර තිබුණා.

එලෙසම මාස ගණනාවක් තිස්සේ පාපන්දු ක්‍රීඩකයින් ඉරාන ලීගයේ තරඟ වලදී ගෝල වාර්තාකරන අවස්ථා වල සිදුකරන සැමරීම් නවතා දමා තිබූ බවත් වාර්ථා වුණා. ගෝලයක් වාර්ථා කලපසු, ලකුණුලාභියා සාමාන්‍යයෙන් තම දෑත් පහතට ගෙන ඒම මගින් රටේ සිදුවෙමින් පවතින දේ නරඹන අයට මතක් කිරීමට පෙලඹී තිබෙනවා.  මේ නිසාම රාජ්‍ය රූපවාහිනී විකාශකයින් ලකුණු ලබා ගත් කණ්ඩායම වෙනුවට  එම වේලාවේදී විරුද්ධ කන්ඩායමේ ක්‍රීඩකයින් ප්‍රදර්ශණය කිරීමට පටන්ගෙන තිබෙනවා.

Esteghlal FC ක්‍රීඩකයින්, ඉරානයේ වැඩිපුරම අනුගාමික සංඛ්‍යාවක් සිටින ක්‍රීඩා සමාජ දෙකෙන් එකක්. ඔවුන් සති දෙකකට පෙර එරට ප්‍රමුඛතම පාපන්දු කුසලානය ජයග්‍රහණය කළ විට සැමරීම් නොකර සිටීමට තීරණය කළා. ඔවුන් සංවිධායකයින්ට කියා සිටියේ තමන් තරඟයෙන් පසු පවැත්වෙන උත්සවයට සහභාගී වන්නේ ගිනිකෙළි සහ සංගීතය උත්සව නොමැති නම් පමණක් බවයි. රාජ්‍ය රූපවාහිනි එම රූප රාමුද ප්‍රදර්ශනය කලේ ඉතාමත් කෙටියෙන්.

විරෝධතා ආරම්භ වූ දා සිට සියලුම ඉරාන පාපන්දු ලීග් තරඟ පවත්වා ඇත්තේ ප්‍රේක්ෂකයින්ට විවෘත නොවූ ක්‍රීඩාගාර තුළයි.  නොවැම්බර් මස මුල ඩුබායි හි පැවති අන්තර් මහාද්වීපික වෙරළ පාපන්දු කුසලානයේ දී ඉරානයේ සයීඩ් පිරමූන් ගෝලයක් ලබා ගැනීමෙන් පසු සිය කොණ්ඩය කපා දමන සෙයක් අභිනයෙන් පෙන්වීම මගින් නිහඬ විරෝධයක් ප්‍රදර්ශනය කරනු ලැබුවා. එමගින් සමහර කාන්තාවන් ප්‍රසිද්ධියේ තම කොණ්ඩය කැපීම රූගත කර දක්වා ඇති විරෝධතා සංකේතාත්මකව කළ බවයි සඳහන් වන්නේ. සයීඩ් පිරමූන් සහ ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් අවසන් මහා තරගයේදී බ්‍රසීලය පරාජය කළත් නැවත වරක් සැමරුම් නොකිරීමට වගබලාගෙන තිබුණා.

ඉරානයේ පැසිපන්දු,වෙරළ පාපන්දු,වොලිබෝල් සහ වෝටර් පෝලෝ කණ්ඩායම් සියල්ලම මෑත තරඟවලදී ජාතික ගීය ගායනා නොකිරීමට තීරණය කර තිබුණා.

ලෝක කුසලානයට පෙර ඔවුන්ගේ අවසන් තරඟය වූ නිකරගුවාවට එරෙහිව ටෙහෙරානයේ පැවති ප්‍රේක්ෂකයින්ට විවෘත නොවූ සුහද තරඟයේදීත් ඉරාන පාලන තන්ත්‍රයට ප්‍රසිද්ධියේ සහාය දුන් දෙදෙනෙකු හැර අනිකුත් බොහෝ ක්‍රීඩකයින් ද ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

මෙවන් වටපිටාවක ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලාණයේදී කුමක් සිදුකරයි ද යන්න ලෝකයේම අවධානයට යොමුවී තිබෙනවා.

මේ සියල්ල ඉරානයට සහ එහි පාපන්දු ලෝලීන්ට මෙන්ම දේශපාලන තන්ත්‍රයට ලෝක කුසලානය සඳහා අසාමාන්‍ය ආරම්භයක් නිර්මාණය කර තිබෙනවා.  ඉරානයේ ක්‍රීඩකයින් ක්‍රීඩා තරගවලදී ක්‍රියා කළ ආකාරයට නැවතත් ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කළහොත් හෝ කටාර්හි කැමරා ඉදිරිපිට වෙනත් ආකාරයක විරෝධතාවක් දැවුවහොත් කුමක් සිදුවේද? ඔවුන් ගෝල වාර්තා කරන මොහොතක කුමක් කරාවිද?

මේ සියලු දේ මැද සිය පළමු වටයේදි ඔවුනට ක්‍රීඩා කිරීමට සිදුවන්නේද සිය රටේ රජය සිය පරම සතුරන් ලෙස ගණන් ගන්නා රටවල් වන ඇමරිකාව, එංගලන්තය සහ වේල්සය සමගයි.

1998 ප්‍රංශයේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායම් අදියරේදී ඔවුන් ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු ඉරානය පුරා පතිරී ගිය දැවැන්ත ජාතික අභිමානය පිළිබඳ මතකයන් නැවත ඇමරිකා එක්සත් ජනපදය හා තරගයේදී පිබිදෙනු ඇති. 1998 දි සටහන් කරන ලද්දේ ඔවුන්ගේ පළමු ජයග්‍රහණයයි.

ලෝක පාපාන්දු තරගාවලියේදි කටාර් රාජ්‍යයේ පාපන්දු ක්‍රීඩාබිමේ සහ ප්‍රේක්ෂකාගාරයේ ඉරාන හැසිරිම පිළිබදව දැනට නිෂ්චිත පුරෝකතනයක් ලබා දිමට නොහැකි වුවත් එය නිසැකවම සාමාන්‍ය තරග බිමකට වඩා උණුසුම් දේශපාලන ප්‍රතිචාරයන් සහිත වටපිටාවක් නිර්මාණය වනු ඇති බවනම් කිව හැකියි.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *