ක්‍රීඩාදේශීයමතවාද

හොඳට බලපන්, ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක්

විවියන් රිචර්ඩ් කියන්නේ ක්‍රිකට් ලෝකේ දක්ෂ පිතිකරුවෙක් කියල හැමෝම දන්නවනේ. හැබැයි විවියන් ක්‍රිකට් වලට ආපු මුල්ම කාලේ එයාගේ පහරදීමේ කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ.

ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච් එකක් තිබ්බේ. ඉතිං ටයිමිනුත් අවුල් කවුරුත් වැඩිය දන්නෙත් නැති ආධුනික විවියන් රිචර්ඩ් ඒ මැච් එකේ බැටින් ක්‍රීස් එකට එනවා.

අනිත් පැත්තේ බෝලෙ තියෙන්නේ ග්‍රෙග් තෝමස් අතේ. ග්‍රෙග් තෝමස් බෝල් කරන්නේ අකුණු ගහනවා වගේ කියල තමයි කට්ටිය කියන්නේ. ඒ තරම් වේගවත්.

එදා මැච් එකේ ඔන්න ග්‍රෙග් තෝමස් යකා වගේ බෝල් කරනවා. පළවෙනි බොලේ විවියන්ගේ ඇඟේ වදිනවා. විවියන්ට තේරෙනවා එයා ඒ බෝලේ ඉස්සරහා පැරදුණා කියල. ඉතිං එයා කරබාගෙන හිටිය. රිදුණේ නැහැ වගේ ඊළඟ බෝලෙට සුදානම් වුණා.

තෝමස් කාරය නෙවෙයි නිකම් හිටියේ. පිටියට සහ ක්‍රීඩාවට අලුත් කළු හමක් තියන විවියන්ගේ මොරාල් බස්සන්නත් එක්ක පොර මෙහෙම කියනවා. නක්කලේට. ”මේ හලෝ, පේන්නේ නැද්ද…ඕක රතුපාට අවුන්ස පහක් බර රවුම් බෝලයක්. හොඳට බැලුවොත් පේනවා”.

මේ නක්කල් කරන්නේ අපි එවන බෝලෙවත් හරියට පේන්නේ නැති උඹට මොන ක්‍රිකට්ද කියන තේරුමෙන්.

විවියන් සද්දයක් නැහැ. කරබාගෙන ඉන්නවා.

ඔන්න එනවා ඊළඟ බෝලේ. ඒක අරිට හපන්. වෙඩිල්ලක් වගේ කණ ළඟින් කීං ගාල ගියා. ගහන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ.

තෝමස් කාරය ආයෙත් උගේ සද්දේ දාන්න ගත්ත. ”ඕයි…ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක්..ඒකවත් පෙන්නේ නැද්ද?”

විවියන් ආයෙත් කරබාගෙන ඉන්නවා. බිම බලාගෙන.

තුන්වෙනි බෝලේ ආව. ඒකට උස්සල ගහපු ගැහිල්ලට බෝලේ ක්‍රීඩාගාරයට උඩින් පියාඹල ගිහිල්ල ඊට පිටිපස්සෙන් ගලන ඇලට වැටුණ.

මෙච්චර වෙලා කරබාගෙන හිටපු විවියන් ග්‍රෙග් තෝමස්ට මෙහෙම කිව්වා. ”උඹ බෝලේ පාටයි හැඩෙයි බරයි ඔක්කොම දන්නවනේ… දැන් ගිහිල්ල අහුලාගෙන වරෙං”.

ඒක තමයි ක්‍රිකට් වල ශ්‍රේෂ්ටයෙක්ගේ ආරම්භය…ගොඩක් වෙලාවට බොහොමයක් ශ්‍රේෂ්ටයින්ගේ ආරම්භය.

මහේෂ් හපුගොඩ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *