Latestදේශීය

නාගරික සංවර්ධනය ඉහළටම ගේනවා – ප්‍රසන්න රණතුංග

කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර තිබූ තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට නාගරික සංවර්ධන හා නිවාස කේෂ්ත්‍රය ගෙනඒම තම බළාපොරොත්තුව බව නගාරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (3) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඒ සඳහා විවිධ බාධා එල්ලවුවද නවීන තාක්ෂණය භාවිතා කරමින් නාගරික සංවර්ධන හා නිවාස කේෂ්ත්‍රය වැඩිදියුණු කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


අළුත් දේශපාලන සංස්කෘතියක් තුළ අළුත් රටක් හදන්න නම් අළුත් අදහස්වලින් පෝෂණය විය යුතු බවද හෙතෙම කීය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කතාව ආරම්භ කරමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද අපි සාකච්ඡාවට ගන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වන 123, 291, 309 සිට 311 දක්වා වන වැය ශීර්ෂ පිළිබඳවයි. මෙම වැය ශීර්ෂ පිළිබඳ අදහස් දක්වන පක්ෂ විපක්ෂ සියලුම දෙනාම විෂයභාර අමාත්‍යවරයා විදිහට මා ඉල්ලා සිටිනවා රටේ පවතින ආර්ථික අර්බුදය අවබෝධ කර ගෙන රටේ පුරවැසියා වෙනුවෙන් ඵලදායි හා ප්‍රයෝජනවත් යෝජනා හා අදහස් ඉදිරිපත් කරයි කියලා.

ඊට අමතරව මෙම අමාත්‍යාංශය සම්බන්ධව චෝදනා හෝ නිවැරදි විය යුතු කරුණු තිබෙනවා නම් ඒවා සාධනීයව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. පසුගිය දවස් කීපයේ අයවැය විවාදයට ඇහුම්කන් දුන්නාම අපේ ගරු මැති ඇමතිතුමන්ලගේ කථාවලින් පැහැදිලි වු‍ණේ ඔවුන් මෙවරත් බලාපොරොත්තු වෙලා තියෙන්නේ සාම්ප්‍රදායික සුබසාධක අයවැයක් කියලයි.

මේක එහෙම සාම්ප්‍රදායික සුබසාධක අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. මම විශ්වාස කරනවා මේ වෙලාවේ රටට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම අයවැයක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. පවතින තත්ත්වය තුළත් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 48,491ක මුදලක් මේ අමාත්‍යාංශය සඳහා වෙන් වී තිබෙනවා. එහි පුනරාවර්තන වියදම් ලෙස වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,744ක්. අපි සමස්ථ මුදලෙන් රුපියල් මිලියන 43,740 ක් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. නාගරික සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 20,433ක්, නිවාස සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 16,057ක් මෙන්ම කසළ කළමණාකරණය හා පරිසර ආරක්ෂණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 7,250ක් වෙන් කර තිබෙනවා. මෙම අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු 4 සඳහා රුපියල් මිලියන් 2007ක් වෙන් කර තිබෙනවා.


කොවිඩ් වසංගතයත් එක්ක රට මුහුණ දුන් ආර්ථික අර්බුදය නිසා රටේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති අඩාල වුණා. ආනයනය පාලනය කරන්න සිද්ධ වෙච්ච නිසා වෙළඳපොලේ ඇති වු භාණ්ඩ හිඟයත්, අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් මේ තත්ත්වයට හේතු වු බව අපි පිළිගන්න ඕනේ. මම මේ අමාත්‍යාංශය භාරගත්තේ එවැනි පසුබිමක් තුළ.

මේ විෂය මට අළුත් විෂයයක් නොවේ. මම බස්නාහිර පළාත් සභාවේ මේ විෂයට සම්බන්ධ ඇමති ධූරයක් දරලා තියෙනවා. ඒ බස්නාහිර පළාතේ නිවාස නාගරික සැළසුම් ඇමති ධුරයයි. ලංකාවේ ආර්ථික වශයෙන් වැදගත්ම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මට ඔබ සියළු දෙනාගේම සහයෝගය ඇතිව මේ අමාත්‍යාංශය නිවැරදි දිසාවට මෙහෙයවන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.මේ අමාත්‍යාංශය යටතේ ආයතන 21ක් තියෙනවා. මේ ආයතන 21ම රටේ සංවර්ධනයට සෘජුව දායක වන ආයතන. මේ ආයතන පසුගිය කාලයේ යම් කඩා වැටීමකට ලක්ව තියෙනවා. ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශයට වැඩ කරන්න පුළුවන් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කළා. අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන 21 න්

1. නාගරික සංවර්ධන අධිකාරිය,
2. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව,
3. ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව
4. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව
යන ආයතන හැරුණාම අනිත් සියලුම ආයතනවල වගකීම මම රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබෙනවා. ඒ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න කටයුතු කළා. ඒ ආයතන නිළ වශයෙන් ඔවුන්ට පැවරුණත් කැබිනට් අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල වගකීමත් ඔවුන්ට තිබෙන බව මා දැනුම් දී තිබෙනවා. මොකද අපි රට හදන්න ඕනේ එකමුතුවෙලයි. මම වැඩ බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. බෙදාගෙන කරන කෙනෙක්.

සමහර ආයතනවල සේවකයන්ගෙ පඩි ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරගෙන ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගන්න අපි උපදෙස් දී තිබෙනවා. කැබිනට් ඇමතිවරයා විදිහට මගෙත්, රාජ්‍ය අමාත්‍යවරුන්ගෙත් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලු ආයතන ප්‍රධානීන්ගේත්, අපේ අමාත්‍යාංශය යටතේ ඉන්න ඉහළ සිට පහළ දක්වා සියලුම දෙනාගේත් අපේක්ෂාව වෙලා තියෙන්නේ පවතින තත්ත්වය තුළ මේ නාගරික සංවර්ධන හා නිවාස ක්ෂේත්‍රය ගොඩගන්න එක. ඒ වගේම ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න කම්කරුවාගේ සිට ඉහළම ආයෝජකයා දක්වා රැක ගැනීම. ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම.

මම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය භාරගත්තාට පස්සේ මුලින්ම කළේ අපිට මුහුණ දෙන්න තිබුණ අභියෝග හඳුනා ගැනීම. ඒ අභියෝග හඳුනා ගෙන ඒවාට විසඳුම් ලබා දෙන්න පුළුවන් විවිධ පාර්ශ්ව
එක්ක සාකච්ඡා කළා. සාකච්ඡා කරලා ඒවාට අදාළ විසඳුම් ක්‍රියාත්මක කළා. ඒ වැඩපිළිවෙල අතරතුර ආර්ථික අර්බුදය නිසා අතරමග නතර වෙලා තිබෙන ණය, ආධාර ලබාදීම්, නිවාස ව්‍යාපෘති, නාගරික සංවර්ධන යෝජනා නැවත ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් සකස් කළා. ඒ සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අපි හඳුනා ගත්තා. අපිට මුලින්ම තිබුණ අභියෝගය තමයි පශ්චාත් කොවිඩ් වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටී තිබු ඉදිකිරීම් ක්ෂේත්‍රය රැක ගැනීම. මේ ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියාවල ලක්ෂ 10කට ආසන්න පිරිසක් නිරත වෙලා ඉන්නවා. ආනයන සීමා කිරීම්, සැපයුම් ප්‍රවාහන ප්‍රමාදය, බැංකු පහසුකම් සීමා කිරීම, රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන මිල, ඉදිකිරිම් ද්‍රව්‍ය හිඟ වීම වගේ කාරණා මේ ක්ෂේත්‍රය කඩා වැටීමට හේතු වුණා.

මේ තත්ත්වය හඳුනාගත් අපි අමාත්‍යාංශයක් විදිහට ඉදිකිරීම් ක්ෂේත්‍රය රැකගැනීම සඳහා විශේෂ පියවර කීපයක් ගත්තා. අපේ පළමු පියවර වුණේ ඉදිකිරිම් කර්මාන්තයේ පැවැත්ම උදෙසා සහනදායි ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමයි. එහි ප්‍රතිඵලයක් විධියට ගරු ජනාධිපතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එම කැබිනට්
පත්‍රිකාව මම සභාගත කරනවා.

මේ අනුව 2020 මාර්තු සිට 2022 දෙසැම්බර් අවසානය දක්වා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසෙනවා. මෙම සහන ලබන වසරේ (2023) දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට අපි කටයුතු කර ගෙන යනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ සිදු කෙරුණු ඉදිකිරීම් සඳහා ගෙවීම් ප්‍රමාද වී තිබෙන මුදල රුපියල් බිලියන 12කට ආසන්නයි. මහා මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ටත් මේ හා සමාන මුදලක් ගෙවන්න තියෙනවා.

අපේ නිවාස අමාත්‍යාංශය යටතේ ගෙවන්න තිබෙන මෙම මුදල මේ වන විට ක්‍රමානුකූලව, කඩින් කඩ ගෙවමින් තියෙනවා. අපි විශ්වාස කරනවා ලබන වසරේ මුල් කාර්තුව අවසන් වන විට මේ ගෙවීම් කටයුතු අවසන් කරන්න අපට පුළුවන් වෙයි කියලා.

අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන සීඩා ආයතනය (ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය) ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා. ඇත්තටම කිව්වොත් මේ ආයතනයෙන් නිසි ප්‍රයෝජනයක් අපි මෙතෙක් අරගෙන නෑ. උදාහරණයක් විධියට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පහළම කම්කරුවාගේ සිට ඉහළම පුද්ගලයා දක්වා වෘත්තීය පිළිගැනීමක් (Recognition) ඇති කිරීමට කටයුතු කර තිබුණේ නෑ. එවැනි පිළිගැනීමක් ඇති කිරීමට නම් එම වෘත්තීය ප්‍රමිතිගත කිරීම කළයුතුයි. එම කාර්යය පැවරෙන්නේ මෙම ආයතනයටයි. ඒ අනුව දැනට පවතින ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලගන්වා මෙතෙක් කලක් ප්‍රමාද වී තිබු ඉදිකිරීම් ශිල්පීන් සහ නිපුණ ඉදිකිරීම් ශිල්පීන් වර්ග කිරීම මීට සති දෙකකට පෙර අපි ආරම්භ කළා. ඒ අනුව ඉදිකිරීම් ශිල්පීන්ට වෘත්තීය හැඳුනුම්පතක් නිකුත් කිරීම දැන් සිදු වෙනවා. මේ නිසා ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවයද ඇති වී තිබෙනවා. මේ වැඩපිළිවෙල ඉදිරි වසර තුළ දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *