රට්ටු නම් මොනාද මෙයා…
අද ලෝක ගෝලයේ සමාජ මාධ්‍යවල චරිතය ලයනල් මෙසී. මම හිතන්නේ මේ දවස්වල නැගල යන අර හැරී – මේඝන් හුටපටේටත් වඩා ගොඩක් ඉස්සරහට ඇවිත් තියෙන්නේ එයාගේ කතාබහ. ඒ ප්‍රංශය පරද්දල ලෝක පාපන්දු කුසලානය ආර්ජන්ටිනාව දිනාගැනීමත් එක්ක.
පාපන්දු ක්‍රීඩාවට පොඩිකාලේ ඉඳන් ආස කළාට වෛද්‍යවරු කිව්වේ මෙසී ෆුට්බෝල් වලට හරියන්නේ නැහැ කියල.

ඒකට හේතුව ලයනල් මෙසී උපතින්ම පොඩ්ඩක් උස අඩුවීම. ඒ කියන්නේ උපතින් කොට ජීවිතයක්. මේ උස අඩුවීමට වෛද්‍ය විද්‍යාත්මක හේතුව හැටියට හඳුනාගත්තේ එයාගේ ශරීරයේ ප්‍රමාණවත් වර්ධන හෝමෝන හට නොගැනීම. ඒකට කියන්නේ වර්ධන හෝමෝන ඌනතාවය (GHD – Growth hormone defiency).

ඉතිං ෆුට්බෝල්වල රැඳී ඉන්නනම් එයාට උස හදාගන්න අවශ්‍ය උණා. අනික් අතට මේ ලෙඩේට ඕනි ඖෂධ ගන්න විශාල මුදලක් ඒ වෙලාවේ මෙසීට ඕනිත් උණා. හැබැයි කිසිම ෆුට්බෝල් කලබ් එකක් (පාපන්දු සමාජයක්) ඒ අවශ්‍ය වෙච්ච විශාල මුදල එයාට දෙන්න කැමති උනේ නැහැ. මොකද ඒක ඒ වෙලාවේ සෑහෙන්න විශාල මුදලක් නිසා (දවසකට ඩොලර් 900ක් වගේ කියන්නේ එක අන්තර්ජාතික ක්‍රීඩකයෙක්ගේ දෛනික වැටුපටත් වැඩි මුදලක්).
මෙසී එන්නේ කම්කරු පංති පසුබිමකින්. තාත්ත වානේ කම්හලක සේවකයෙක්. අම්ම පවිත්‍රතා සේවිකාවක්. ඉතිං එයාලට සල්ලි තිබ්බේ නැහැ මුල් කාලේ. මෙසීගේ ආරම්භයත් හරියට පාපන්දු පුරාවෘත්තයක් වෙච්ච පේලේගේ වගේමයි (Pelé).

කොහොමහරි බාසිලෝනා පාපන්දු සමාජය (Barca FC/FC Barcelona) මෙසීගේ දක්ෂතා ඒ කාලෙම හඳුනාගත්ත නිසා ක්ලබ් එකේ සාමාජිකයෝ එකඟවෙනවා මෙසීට වෙදකම්වලට යන මේ වියදම ක්ලබ් එක ගානේ ගෙවන්න.
ඉතින් මේ ප්‍රතිකාර එක්ක මෙසී ප්‍රමාණවත් ලෙස උසයනවා. උසයන්න ගත්ත මේ හෝමෝන ප්‍රතිකාර ගැන නම් රට්ටු කිව්වේ මෙසී උත්තේජක මත්ද්‍රව්‍ය ගන්නවා කියල.

දැන් මෙසී අද දවස වෙනකොට ස්වභාව ධර්මයේ සීමාවත් තරණය කරලා. රට්ටුන්ටත් උත්තර දීලා. බාසිලෝනා පාපන්දු සමාජයට ගොඩක් සතුටු ඇති ඒ කරපු නිර්භීත ආයෝජනයට.
රට්ටු නම් මොනවද නොකියන්නේ?
මහේෂ් හපුගොඩ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

