Latestදේශීය

නත්තල අදයි

සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් උපන් දිනය සමරයි.

දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලය ම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික අප ද අද මේ දිනය සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටුවයි.

සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමේ සුබ මොහොත සහ කාලීන අවස්ථාව උදාවී ඇතැ යි අද රටපුරා සෑම දෙව් මැදුරක ම ගැයෙන බැතිගීවල නාදය වනු ඇත.

නත්තලේ සැබෑ අරුත වන්නේ එකිනෙකා තුළ සාමය සහෝදරත්වය හා ආදරය පැතිරවීම සහ බෙදා ගැනීමයි. එහෙත් වත්මන් සමාජය නත්තලේ සැබෑ ආධ්‍යාත්මික අරුත අමතක කර දමා ලෞකිකත්වයට මුල්තැන දෙමින් එකිනෙකා පරයා නැගී සිටින්නට උත්සාහ ගන්නා බව පෙනී යයි. අප කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ කියාදුන් මානව දයාවේ පණිවුඩය සෑම දනන් තුළ පතුරුවන්නට ක්‍රියා කිරීමයි.

නත්තල් රැයේ මෙලොව එළිය දුටු සුර බිළිදානන් සාමයේ කුමරු යන විරුදාවලියෙන් ලෝවැසි ‌ගෞරවාදරයට පාත්‍ර වී ඇත. සාමය වල්වැදී අයුක්තිය අසාධාරණය දූෂණය රජවී ඇති හැකි අය විසින් නැතිබැරි දුගී දුප්පත් ජනතාව පගා දමමින් පාලකයන් සහ ආගමික නායකයන් විසින් ජනතාව තලමින් පෙළමින් මානව ගරුත්වය කියා දෙමින් සිටි යුගයක සාමයේ පිපාසාවෙන් සාධාරණත්වය අපේක්ෂාවෙන් කල්යල් බලමින් සිටි ජනතාව වෙත නත්තල් රැයෙහි සුර දූතයන් විසින් ගෙන එන ලද්දේ ආනන්ද ජනක සිද්ධියකි.

නත්තල දා උපන් සාම කුමරුගේ දිවිය සාමය සංහිඳියාව සාධාරණත්වය හා මානව හිතසුව පිණිස ම කැප කරමින් වංචාව, දූෂණය සහ බලකාමයට එරෙහි අභීතව නැගී සිටිමින් ඒ නිසා ම කුරුසයේ මරණයට පත්ව තෙදිනකින් උත්ථානය ලබා සකල මානව වර්ගයා වෙත විමුක්තිය ලබා දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *