ලාල් කාන්ත නිවැරදි නැහැ
(විදර්ශන කන්නන්ගර)
ලාල් කාන්ත ගේ සම්පූර්ණ කතාව ඇසූ පසුත් ලාල් කාන්ත නිවැරදි වන්නේ නැත. අමුත්තක් නැති අමුත්ත වන්නේ ලාල් කාන්ත ගේ මෙම දෝෂයේ තැන ඔහුටත්, ඔහුගේ ආරක්ෂක මතධාරීන්ටත් නොදැනී,නොපෙනී තිබීමයි. හෝ දැනුනත් නොදැනුනා සේ සිටීමයි. මෙතනදී ජාතික ජන බලවේගයේ ස්ත්‍රී ක්‍රියාකාරීන් සමහරෙකු ලාල් ගේ වැරදුණු වෙඩිල්ලට නගන විවේචනාත්මක හීන් කෙදිරිය සිය දේශපාලන සගයා ආරක්ෂා කරගැනීමේ වක්‍ර උත්සාහයක් යැයි බැලූ බැල්මට පෙනුනද එහි සංකීර්ණත්වය ඇත්තේ වෙනත් දේශපාලනික මානයකය.
ලාල් සිය මුළු කතාවෙන් උත්සාහ කරන්නේ කුමක්ද ? එය මෑත කාලය තුළ ඔහුට බැහැර සමාජයෙන් ලැබුණු අනන්‍යතාවක් තවදුරටත් නඩත්තු කිරීමේ ප්රකාශනයකි.එනම් ජනතා විමුක්ති පෙරමුණ වැනි ව්‍යාපාරයකට උරුම වූ ආරක්ෂණවාදී සංස්කෘතිය තුළට බැර නොවී යම් ලිබරල්වාදී මුහුණුවරක් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවයි.එය නිරූපණය කෙරෙන්නේ ලාල් කාන්ත නම් වූ පුද්ගලික ශරීරය හරහාය.බොහෝවිට එය පක්ෂයේ නායකත්වය මණ්ඩලය තුළ ඔහුව ඛණ්ඩාංක ගත වී ඇති (කර ඇති ?) ලක්ෂ්‍යයට සාපේක්ෂව වූ ඔහුගේ ස්වයං ප්‍රතිචාරයක් විය යුතුය. කෙසේ වුවද ඉන් පිළිඹිබු කෙරෙන්නේ ජවිපෙ සංස්කෘතික ගතානුගතිකත්වයට පිටත සිට අදහස් පළ කිරීමට ලොල් වූ ලාල් කෙනෙකි.ජවිපෙ වැනි ව්‍යාපාරයන්ට අකමැති ලංකාවේ ඊනියා ලිබරල්වාදීන් ලාල් වැන්නන් තුළ අතිරේක සාරයක් ඇතැයි උපකල්පනය කරමින් ලව් ලෙටර්ස් ලියන්නේ මේ තේරුමෙනි.
එහෙත් සිය ව්‍යාපාරයේ සංස්කෘතික සීමාවට ඔබ්බෙන් පුද්ගලික පියවර තැබීමක් ප්‍රදර්ශනය කිරීමට ගොස් ලාල් නැවත එරී යන්නේ ඊනියා නිදහස්වාදයක් තුළ වසන් කළ පශ්චාත් නූතන ගතානුගතිකත්වයේ මඩ ගොහොරුවකය. මෙහිදී සිදුවන්නේ වැඩවසම් චින්තන අතීතය ව්‍යාජ නවීකාරකත්වයක් ලෙස වර්තමානයට කැදවීමයි. ‘ස්ත්‍රී ශරීරය’ හා ‘ලස්සන’ ගැන මොඩ් කතා කීමට යන ලාල් කාන්තට සිදුවන්නේ ‘සිහින් ඉගක්’, ‘පුළුල් උකුලක්’ හා ‘පිරුණු ‘ළැමක්’ ඇති ස්ත්‍රී හෙද ශරීරයක් පිළිබදව වන සිය පුරුෂ ලිංගික ෆැන්ටසියේ රැකවරණයට පුරුෂවාදී පැරණි සාහිත්‍ය වැනුම් කැදවා ගැනීමටය.
සරලව කිවහොත් ලාල් කාන්ත විසින් සිදුකර ඇත්තේ සිය නිදහස් සිතීම පොදු සමාජය දෙසට විවෘත කිරිම නොව ඊනියා විවෘත සමාජයේ නොනිදහස් දෘෂ්ටිවාදී අගතීන් යළිත් පුනර්-නිෂ්පාදනය කිරීමේ භාවිතයකි.පවතින දෘෂ්ටිවාදය අලුත් වටයකින් නඩත්තු කරන්නේද නොඑසේනම් එය අභියෝගයට ලක් කරන්නේද යන ප්‍රමුඛතම දේශපාලන ප්රශ්නය මුණගැසෙන්නේ අප අන්යයයා (other)සම්බන්ධයෙන් දක්වන ප්රතිචාරයේදීය. විශේෂයෙන්ම අධිපති දෘෂ්ටිවාදය විසින් යටපත් කළ අනෙකාගේ ලෝකය පරිකල්පනය කරමින් අප ඊට ප්‍රවේශ වන්නේ කවර මාදිලියකින්ද යන දේශපාලන අභ්‍යාසයයි.නිදසුනකට අධිපති සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය තුළ ව්‍යවහාරිකව වසන විෂයයක් දෙමළා තුළ දකින ‘(ආගන්තුක) දෙය’ (The Thing) හා පුරුෂ මූලික දෘෂ්ටිවාදය තුළ ව්‍යවහාරිකව වසන විෂයයක් ස්ත්‍රිය තුළ දකින ‘(ආගන්තුක)දෙය’ කිසිසේත්ම අහිංසක වන්නේ නැත.එකී ‘(ආගන්තුක)දෙය’ සිය සංගත යහපැවැත්ම බිද දමන විදේශීය සතුරුබවක් ලෙස මූර්තිමත් කරන විටත් එම ‘(ආගන්තුක)දෙය’ම රොමාන්තික සෞන්දර්යයක් ලෙස වස්තුකරණය කරන විටත් එම අවිඥානික උපක්‍රම දෙකම එකම කාසියේ දෙපැත්තක් වැනි වේ.
මේ වනාහී බැහැරට ආයෝජනය කළ සිය අතිරික්ත ප්‍රමෝදය (surplus enjoyment) වෙත දක්වන හිතුවක්කාරී ප්රතිචාරයකි.ඒ අනුව අනෙකාගේ රහස වෙත හැරුණු ෆැන්ටසීන් කිසිවක් දේශපාලනිකව අහිංසක වන්නේ නැත.
ලාල් කාන්තලා පසුගිය දශක කිහිපය පුරාම කළේ රැඩිකල් දෙමළා තුළ ඇතැයි තමුන් ෆැන්ටසිගත කළ ගුප්ත ප්‍රමෝදය අනාවරණය කරගැනීම වෙනුවෙන් ඔවුනගේ හිස් මතට බර අවි යුධ සංහාරයක් දියත් කිරීමයි. ඒ ලාල් කාන්තම අද ‘ස්ත්‍රිය’ හා ‘භාණ්ඩකරණීය වින්දන සමාජය’ තුළ ගුප්ත ප්රමෝදයක් ඇතැයි ෆැන්ටසිගත කරමින් එය හිංසනීය උත්කර්ෂණයකට ලක් කරයි.පළමුවැන්න විසින් ලාල් කාන්තලා ජනවාර්ගික ජාතිකවාදය ආත්මගත කරගත් අතර දෙවැන්න විසින් සංස්කෘතික-ලිංගික වර්ගවාදයක් පුනර්-නිෂ්පාදනය කරයි.සරලව කිවහොත් එදා දෙමළා යනු මරා දැමිය හැකි තරම් නොවැදගත් නිරුවත් සත්වයකු ලෙස දුටු අයට අද සමාජයීය ස්ත්‍රිය යනු සිය ෆැන්ටසියට අවශ්‍ය තරමේ ගොදුරු රුවක් පමණී.ඉන් යළි යළිත් සිදුවන්නේ ලංකාවේ නිර්-ප්රජාතාන්ත්රීය දෘෂ්ටිවාදයන් පුනර්-නිෂ්පාදනය වීම පමණී.
ලාංකේය දේශපාලන-සංස්කෘතික දේහය ව්‍යුහාත්මක පරිවර්තනයකට ලක් කිරීමට අවශ්‍ය වන ‘දෘෂ්ටිවාදී අරගලය’ නම් වූ ප්‍රමුඛතම දේශපාලන ව්‍යවහාරය ජවිපෙ හා ජාජබ අතහැර දමා ඇත.ඒ වෙනුවට ‘යහපාලන මැතිවරණවාදයක්’ තුළ මුළුමනින්ම ඔවුන් ගිලී ගොස් ඇත. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය,පශ්චාත් යටත් විජිතවාදය,සමූහාණ්ඩුවාදය,රැඩිකල් ප්රජාතන්ත්රවාදය,ලැකානියානු මාක්ස්වාදය මතුනොව ජාත්‍යාන්තර මාක්ස්-ලෙනින්වාදයට පවා පසුපසින් හා පූර්වයෙන් සිටින ලාල් කාන්ත කෙනෙකු අපට පෙන්නුම් කිරීමේ තතු එසේය.එවැනි කතිකාවන් ගැන අවම හෝ පරිශීලනයක් තිබේනම් ලාල් කාන්තලාට මෙවැනි විවෘත ප්‍රකාශ කිරීමේ ‘නිර්භය කමක්’ පැමිණීමට ඉඩක් තිබිය නොහැකිය
මැතිවරණවාදී ‘ජය කණුවක්’ කරා පමණක් යොමුවූ ගමනකට ඇත්තේ ලාංකේය නිර්-ප්රජාතාන්ත්රීය සංස්කෘතික අගතීන් ප්‍රති-ආයෝජනය කරන මාවතක් පමණී. අදාළ ප්රකාශනය හරහා ලාල් කාන්තත් එය නියමෙන් හා අනියමෙන් ආරක්ෂා කරන අභ්‍යන්තර හා බාහිර සියලු දෙනාත් ප්‍රදර්ශනය කරමින් සිටින්නේ ඉහත කී දේශපාලනික ඉරණම් කතාව හැර අන් කුමක්ද ?