Latestදේශීයමතවාදසංස්කෘතික

මිනෙට්….. (ඇයට හිමි පිටුව නැවත කියවමු)

(සුමුදු අතුකෝරල)

ජෙෆ්රි බාවාගේ දැවැන්ත සෙවනැල්ල අස්සේ හැංගිලා ගිය ගොඩක් වැදගත් සහ දක්ෂ ආකිටෙක්ට් ලා 70-90 කාලේ ජීවත් වුණා. වැලන්ටයින් ගුණසේකර, උල්රික් ප්ලෙස්නර්, ජස්ටින් සමරසේකර, පනිනි තෙන්නකෝන් ඒ වැදගත් චරිත වලින් කීපයක්. ඔය හැමෝම වගේ ජෙෆ්රි ගේ සමකාලීනයෝ. ජෙෆ්රි බාවා කියන්නේ පැහැදිළිවම විශිෂ්ට නිර්මානශිල්පියෙක් ඒක ගැන කතා දෙකක් නෑ. එත් ජෙෆ්රි ට ලැබුණු විශාල අවධානය නිසා කීපදෙනේක්ගේම වැදගත්කම එච්චර කතාබහට ලක්වුණේ නැහැ. ඒක ජෙෆ්රි හිතල කරපු දෙයක් නෙමෙයි. ඒ වගේම මෑතක ජෙෆ්රි බාවා පදනම විසින් ඒ සමකාලීනයන්ගේ නිර්මාණ ගැන කතාබහක් ඇතිකිරීම සහ ඔවුන්ගේ නිර්මාණ සංරක්ෂණය ගැන උනන්දු වීම ඉතාම හොඳ පියවරක්.

මට හිතෙන්නේ ජෙෆ්රිට ලැබුණු විශාල අවධානය වැඩිපුරම බලපෑවේ වෙන කාටවත් නෙමෙයි මිනෙට් ද සිල්වා කියන ජෙෆ්රිටත් කලින් ක්‍රියාකාරීව වැඩකරපු ආකිටෙක්ට කියලයි. ආකිටෙක්චර් ගැන සාකච්චාවක ඉන්න අය මිනෙට් ගැන යම් දුරකට දන්නවා, අහල තියෙනවා. නමුත් ඇත්තටම ඇගේ වැදගත්කම ගැන ගොඩ දෙනෙක්ට තියෙන අදහස ප්‍රමාණවත් නෑ. ලංකාවෙන් ආකිටෙක්ට් කෙනෙක් විදිහට අධ්‍යාපනය ලද පළමු කාන්තාව වගේම රාජකීය, බ්‍රිතාන්‍ය ආකිටෙක්චර් ආයතනයේ (Royal Institute of British Architects) සාමාජිකත්වය ලබාගත් පළමු ආසියාතික කාන්තාව ලෙසටත් මිනෙට් ගැන ගොඩක් අය අහලා තියෙනවා.

ඔය අතරේ තවත් කියවපු කරපු පිරිසක් මිනෙට් සහ නූතන අර්කිටෙක්චර් වල පුරෝගාමියෙක් වුනු ස්විස්/ප්‍රංශ ජාතික ලි කොබුසියර් අතරේ තිබුණු සමීප මිත්‍රත්වය ගැන දන්නවා. ඒ වගේම මිනෙට් එවක දැවැන්තයන් වුනු පැබ්ලෝ පිකාසෝ, නේරු, ගාන්ධි වගේ චරිත මුණගැසුණු බවත් අහල කියලා ඇති. ඒ සියල්ලම ඇය තුල තිබුණු පෞර්ෂත්වය සහ සම්බන්ධතා කෙරෙහි තිබුණු දක්ෂතාවය නිසා ඇතිවුණු දේවල්.

එත් ඒ ටික විතරක් කියලා මිනෙට් ගේ දායකත්වය අපිට අමතක කරලා ජෙෆ්රිගේ පාපිස්ස යටට දාන්න පුළුවන්ද? මෑතක ඉඳලා මිනෙට් ගැන එහෙන් මෙහෙන් උනන්දුවක් ඇතිවේගෙන එනවා. මිනෙට් දැන් ජීවතුන් අතරින් සමු අරන් අවුරුදු විසිපහක් විතර වුනත් ඒ පිබිදීම ඉතාම හොඳයි. ඉතිහාසයේ නිවැරදි අයට නිවැරදි තැන ලබාදීම කොයිවෙලේ හරි සිදුවෙන්න ඕනේ. මෑතකාලීනව මිනෙට් සම්බන්ධයෙන් කෙරෙන ඉතාම සිත්ගන්නා සුළු පර්යේෂණ නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්න නිසා සහ මිනෙට් ගැන දන්නා කියන කීපදෙනෙක් එක්ක දීර්ඝව කතාබහ කරන්න පුළුවන් වුන නිසා මේ අදහස් ටික ලියන්න ඕනෙමයි කියලා හිතුණා.

ලස්සන සාරියක් ඇඳගෙන වැඩබිමක, ඉනිමගක් දිගේ නගින කාන්තාවකගේ ලස්සන හිනාව සහිත ඒ පින්තූරය ඔබත් දැකලා තියෙනවද? ඔව් අන්න එයා තමයි මිනෙට්. ගොඩක් දෙනාට මිනෙට් ව මතක හිටින්නේ ඒ පින්තූරය සමග තමයි. මම හිතන්නේ මිනෙට් ගේ ගොඩක් මිනිසුන් අතරට ගිය පින්තූරයත් ඒක.

මිනෙට් ඉපදුනේ 1918 අවුරුද්දේ නුවරදී. වංශවත් පවුලකින් බිහිවුණු මිනෙට් ගේ තාත්තා ජෝර්ජ් ඊ ද සිල්වා නීතිඥයෙක් සහ දේශපාලන කටයුතු වලට සෘජුව සම්බන්ධකම් තිබුණු කෙනෙක්. එයා සිලෝන් ජාතික කොන්ග්‍රසයේ හිටපු සභාපති කෙනෙක්. අම්මත් එහෙමයි අම්මගේ නම ඇග්නස් ද සිල්වා. අම්මත් විවධ සමාජ දේශපාලනික කටයුතු වල නිරතවුණු ක්‍රියාකාරිනියක්. තම මවගේ කලා ශිල්ප කෙරෙහි තිබුණු උනන්දුව තමන්ගේ වෘත්තීය දිවියට පසුකාලීනව බලපෑ බව මිනෙට් කියනවා. මිනෙට් පවුලේ බාලයා. ඇගේ වැඩිමල් සහෝදරිය වුණු අනිල් ද සිල්වා, කලා විචාරිකාවක් වගේම ඉතිහාසඥවරියක්, ඇගේ සහෝදරයෙක් වුණු ෆෙඩ්රික් ද සිල්වා, කාලෙක නුවර මේයර් විදිහටත් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහටත් සේවය කළා. ඒ වගේ වටපිටාවක හැදී වැඩෙන දැරිවියකගේ පෞර්ෂය අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. ඇයට ඇගේ ගමන යන්න පාර කැපිලා තිබුණේ.

කාලයෙන් කාලයට එංගලන්තය සහ ලංකාව අතර කුඩා අවධිය ගෙවුණු ඇයට ක්‍රමික පාසල් අධ්‍යාපනය අහිමිවුණත් පසුව දෙමව්පියන්ගේ වැඩි කැමැත්තක් නැතිව වුනත් මිනෙට් තනි මතේට ඉන්දියාවට ගිහින් අකිටෙක්චර් ඉගෙන ගන්නවා. ඊට පස්සේ එතනින් එංගලන්තයට ගිහින් එහෙ ආකිටෙක්චර් ඇසෝසියේශන් (Architecture Association) එකෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරලා ආකිටෙක්ට් කෙනෙක් විදිහට වෘත්තීමය සුදුසුකම් ලබනවා. ඔය අතරේ ඇයට ඉන්දියාවේ ඉතා ප්‍රබල මාග් සඟරාව සමග වැඩ කරන්න ලැබෙන්නේ ඇගේ සහෝදරිය අනිල් හරහා. ඒ හරහාම ඇයට ඉන්දියාව සහ ලංකාව නියෝජනයකරමින් “අන්තර්ජාතික මොඩර්න් ආකිටෙක්චර් කොංග්‍රසය” හෙවත් (CIAM) ට සහභාගී වෙන්න ලැබෙනවා. ඒ 1957 කාල වකවානුවේදී. එහෙදි තමයි ඇයට ලි කොර්බුසියර් හම්බ වෙන්නේ. ඒ හමුවීම ඉතාම දීර්ඝ මිත්‍රත්වයක් බවට පෙරළෙනවා. ඔය සමුළුවේදී ජෝර්ජ් කීට් විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් මිනෙට් විසින් පිකාසෝට පෙන්නපු බවත් කියවෙනවා. ඇය පිකාසෝ සමග ඉන්න චායාරූප තියෙන නිසා එක බොරුවක් වෙන්නත් බැහැ. ඒ වගේම පිකාසෝ විසින් මිනෙට් ට තෑගී දීපු ඔහුගේ “කහ වකවානුවේ” චිත්‍රයක් ලංකාවේදී නැතිවුණා බවත් මිනෙට් පසුකාලයක කියලා තියෙනවා.

1949 දී ඇය පූර්ණකාලීනව ලංකාවට එන්නේ ඇගේ පියාගේ ආරාධනාවෙන්. ඇගේ පියා ඇයට කියන්නේ අලුතෙන් නිදහස ලබපු ලංකාවට සේවය කරන්න ආපසු දිවයිනට එන්න කියලයි. ඇය ඒ ආරාධනාව බාර අරගෙන ලංකාවට එනවා, ඇවිත් නුවර තමන්ගේ ආකිටෙක්චර් ගමන පටන් ගන්නවා. ඇගේ වෘත්තීය ගමන ආරම්බයේදී ඇයට ලැබුණු වැඩ ඉතාම අඩු වුනත් ඇය විවිධ කලා ශිල්ප සහ සාම්ප්‍රදායික ගොඩනැගිලි ක්‍රමවේද සමීප අධ්‍යයනය කළා. නුවර ඇගේ ළමා කාලයේදී ඇයට දකින්න ලැබුණු බීරළු, දුම්බර, පැදුරු, මැටි වැනි කර්මාන්ත වල නියැලෙන ශිල්පීන් සොයාගෙන ගොස් එම ශිල්ප ක්‍රම ඇගේ වෘත්තීය භාවිතාවන් සඳහා යොදාගත හැකි ක්‍රමවේද අත්හදා බැලුවා. අනුරාධපුර සහ නුවර යුග වල පැරණි ගොඩනැගිලි නැවත නැවත අධ්‍යයනය කරමින් වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ, අමුද්‍රව්‍ය වැනි දෑ භාවිතයට ගතහැකි තාක්ෂණය ගැන තවත් හැදෑරුවා. ආනන්ද කුමාරස්වාමිගේ චින්තනය සහ ලිපි මිනෙට් ගේ ආකිටෙක්චර් භාවිතයේ හැඩය සෑහෙන්න වෙනස් කල බව ඉතාම පැහැදිළියි. ඒ වගේම තම දෙමව්පියන්ගේ ආභාෂයෙන් ඇය වඩාත් දේශීය ලක්ෂණ සොයායන්නට උත්සුක වුණා. නිදහසත් සමග ඇතිවුණු දේශීය දේවල් අගයකිරීම සහ ලාංකිකත්වය සොයායාමේ ප්‍රභල ප්‍රවාහය ඇගේ වෘත්තීය ජීවිතයටත් බලපෑවා.

එවකට ලාංකීය කලා ක්ෂේත්‍රයේ ප්‍රභල චරිත වුනු ඩේවිඩ් පේන්ටර්, ජෝර්ජ් කීට් වැනි අයත් සමග ඇයට තිබුණු සමීප මිත්‍රත්වය ඇගේ වෘත්තීය පසුබිමට හේතුවන්නට ඇති බවට සැකයක් නැහැ. එංගලන්තයේදී ආකිටෙක්චර් විෂයක් ලෙස ඉගෙන ගෙන, පසුව එවකට යුරෝපයේ ආකිටෙක්චර් ප්‍රබලයන් සහ ඔවුන්ගේ නිර්මාණකරණය සමීපව ඇසුරුකරමින් සිටි මිනෙට් ලංකාවට පැමිණ ලාංකීය ලකුණක් සොයා යාම ඉතාම වැදගත් කරුණක්. නමුත් ඇය යුරෝපයේ ප්‍රචලිත නූතන ආකිටෙක්චර් නැත්නම් මොඩර්න් ආකිටෙක්චර් වල සංකල්ප දැඩිව බැහැරකලේ නැහැ. කොතරම් පාරම්පරික මුල් සොයාගෙන ගියත් නවීන ලෝකයත් සමග ඉදිරියට යාම නතර කළ නොහැකි දෙයක් ලෙස ඇය දකින්න ඇති.

මට හිතෙන විදිහට ඒ සංකල්පය තුලින් කියවුනේ අපිට කෙලින්ම යුරෝපයෙන් එන නූතන ප්‍රවාහයට නතු වෙන්න බැහැ නමුත් ඒ නූතන ලක්ෂණ මේ කලාපයේ ආවේනික ලක්ෂණ සමග මුසුවෙන්න ඕනේ කියන එකයි. ඒක එක මොහොතක දේශපාලනික අදහසක් තවත් මොහොතක කලාත්මක අදහසක්. ලාංකීය ආර්කිටෙක්චර් මුහුණුවර වෙනස්කරන්න ඒ සංකල්පය ගොඩක් බලපාන්න ඇති. ජෙෆ්රි බාවා මගේ දැනුමේ හැටියට මිනෙට් ගේ නිර්මාණ ගැන අදහසක් පළ කරලා නැහැ. හැබැයි 1940, 1950 සහ 1960 දශක වල මිනෙට් ද සිල්වා කියල ආර්කිටෙක්ට් කෙනෙක් ඉතාම වැදගත් නිර්මාණකරණයක නියැලෙමින් හිටියා කියන එක ජෙෆ්රි නොදැන ඉන්න හේතුවකුත් නැහැ. ඔතනදි තවත් වැදගත් කතාවක් තියෙනවා. උල්රික් ප්ලේස්නර් කියන ඩෙන්මාර්ක් ජාතික තරුණයා මිනෙට් යටතේ වැඩකරන්න එනවා ඒ 1957 දී. එවකට ඔහු තම අධ්‍යාපනය ඉවරකරලා මේ කලාපයේ කොහේ හරි වැඩකරන්න ආසාවෙන් ඉද්දි තමයි ඉන්දියාවේදී මිනෙට් ව මුණගැහෙන්නේ. මේ වගේ ලස්සන කාන්තාවක් එක්ක වැඩකරන්න ලැබෙනවානම් කොහොමද කියන රහස් ආසාවත් එක්ක තමයි තමන් ලංකාවට ආවේ කියල උල්රික් ම එයාගේ ස්වයං චරිතාපදානයේ ලියනවා. ඔය විදහට අවුරුද්දක් මිනෙට් ගාව වැඩ කරන උල්රික්, බාවා මහත්තය ළඟ වැඩට එනවා. ඒ එනකොට මිනෙට් විසින් අත්හදා බලමින් හිටපු ආර්කිටෙක්චර් දැනුම සහ සංකල්ප බාවා ළඟට ගෙන්න ඇති කියන එකත් හිතන්න පුළුවන් ඇත්තක්. ඒ දැනුම ජෙෆ්රිට තමන්ගේ නිර්මාණ කෞශල්‍යය තියුණු කරගන්න බලපාන්න ඇති. දැනුම සහ ශක්‍යතාව පරම්පරාවෙන් පරම්පරාවට ගලන්නේ එහෙමයි. එත් ප්‍රශණය තියෙන්නේ ඒ එහෙම ලොකු දැනුමක් සහ අත්හදාබැලීමේ පෞර්ෂයක් සහිතව හිටපු මිනෙට් ලාංකික ආකිටෙක්චර් ඉතිහාසයේ පැත්තකට තල්ලු වීමයි.

ඝර්ම කලාපීය නූතනත්වය නැත්නම් Tropical Modernism නමින් ප්‍රචලිත වුනේ ජෙෆ්රි බාවා සහ ඔහුගෙන් පසුව ඇතිවුණු ආර්කිටෙක්චර් සම්ප්‍රදායට. නමුත් ඊට කලින් මිනෙට් ද සිල්වා විසින් කලාපීය නූතනත්වය නැත්නම් Modern Regional Architecture කියන සංකල්පයක් මතු කළා. ඇත්තටම මිනෙට්ට ඕනේ වුනෙත් ඒ සම්ප්‍රදායට අනුව තමන්ගේ නිර්මාණ කරන්න.

ඔතනදි ඔය සංකල්පය අවභාවිතා වුනු අවස්ථාත් තියෙනවා. කොන්ක්‍රීට්, යකඩ සහ වීදුරු වගේ අමුද්‍රව්‍ය යොදාගෙන ලාංකීය පැරණි ගොඩනැගිලි ඒ විදිහටම අලුත් අමුද්‍රව්‍ය වලින් ගොඩනැගීම ඒ අතරින් කැපී පෙනෙනම අවභාවිතාවයි. නිදහස් චතුරශ්‍රය වගේ ගොඩනැගිලි වැටෙන්නේ ඒ ගණයට. සරලව හිතුවොත් සෙල්මුවා සඳකඩපහණ සිමෙන්තියෙන් හදනවා වගේ එකක්. ඒ කාලේ සමහර කලා කෘති වලත් ඔය අවභාවිතාව තිබුණා කියල හිතෙනවා. නමුත් මිනෙට් හරිම සූක්ෂම විදිහට ඔය ගට්ටනය අතරින් රිංගලා යනවා. මිනෙට් ආර්කිටෙක්ට් කෙනෙක් වගේම හොඳ චින්තනයක් තිබුණු කාන්තාවක්. ඒ චිතනය ගොඩ නැගෙන්න ඇගේ කුඩා කාලය, විවිධ ප්‍රභාලයන් ඇසුරු කිරීම වැනි ඉහත අපි කතාකරපු කරුණු බලපාන්න ඇති.

මිනෙට් ඒ නූතන කලාපීය ආකිටෙක්චර් කියන අදහසත් එක්ක අපේ රටට ආවේණික භූගෝලීය, පාරිසරික, දේශගුණික සහ සංස්කෘතිමය ලක්ෂණ සමග අත්හදා බැලීම් කළා. මට හිතෙන්නේ ඇගේ ගොඩක් නිර්මාණ වල තියෙන්නේ ඒ පෙළඹුමයි. නුවර ප්‍රදේශයේ තියෙන බෑවුම් සහිත ඉඩම් වල කරපු නිර්මාණ වලදී ඇය ඒ ඒ වෙනස් බෑවුම් වලට අනුව තම සැලසුම් වල බිම්මහල් වෙනස් උසවල් වලින් නිර්මාණය කළා. ඉර එලිය සහ වාතාශ්‍රය පාලනයකින් යුතුව ඇගේ නිර්මාණ ඇතුලට ලබාගතහැකි පරිදි ඇය ජනෙල්, ලැටිස් සහ ග්‍රිල් භාවිතා කළා. ඇගේ මුල්මනිර්මාණය වන කරුණාරත්න නිවස සහ දස්වානි නිවාස වැනි නිර්මාණ වල ඒ ලක්ෂණ දකින්න ලැබෙනවා.

නුවර මහවැලි ගඟ අසබඩ නිර්මාණය කෙරුණු වටපුළුව නිවාස සංකීර්ණය සඳහා මිනෙට් දායක වුනු බව දැන් ඉතිහාසයෙන් මැකෙමින් යන ඇත්තක්. එත් වටපුළුව නිවාස සංකීර්ණය ඇගේ වෘත්තීය ජීවිතයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක්. රජයේ සේවයකන් සඳහා නිර්මාණය කෙරුණු එම නිවාස සංකීර්ණය සැලසුම් කිරීමේදී ඇය ගොඩක් නව ක්‍රමවේද අත්හදා බලලා තියෙනවා. එම නිවාස සංකීරණයේ පදිංචි වීමට බලාපොරොත්තු වෙන පවුල් වල රුච අරුචි කම් සහ වෙනත් කරුණු දැනගැනීමට ඔවුන් වෙත මුලදීම ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර එමගින් ඔවුන් පිලිබඳ තොරතුරු රස කරගැනීම ඉතාම වැදගත් කරුණක්. ලංකාවේ ඉතිහාසයේ පළමු වරට එහෙම දෙයක් කෙරුනේ වටපුළුව නිවාස සංකීරණය ආශ්‍රිතවයි. ඒ වගේම ඒ කාලේ ඒ කියන්නේ 1956 වගේ කාලෙක ලෝකෙත් එහෙම දේවල් කෙරිලා තිබුනේ ඉතාම අඩුවෙන්.

පසුව ඇය විසින් කොළඹ ග්‍රෙගරි පාරේ සේනානායක තට්ටු නිවාස ගොඩනැගිල්ල නිර්මාණය කළා. කාලානුරූපව ගත්තම ඒ ගොඩනැගිල්ලත් ඒ කාලය ඉක්මවා ඉතාම අනාගතශීලී බවක් ඉසිලූ බව පැහැදිලි දෙයක්. මාර්ගය දෙසට කවාකාර මුහුණතක් සහිතව නිර්මාණය වුනු මේ ගොඩනැගිල්ල නූතන ආකිටෙක්චර් ලක්ෂණ වලින් සමන්විත ගොඩනැගිල්ලක් ලෙස දකින්න පුළුවන්. ඒ ඒ නිවාස වල පුද්ගලිකත්වය ආරක්ෂාවෙන ලෙසත්, සෑම නිවසකටම සමසමව අවට පරිසරය, වාතාශ්‍රය. ඉඩකඩ සහ ආලෝකය ලබාදෙන ලෙස නිර්මාණය වී තිබීම මෙම ගොඩනැගිල්ලේ තවත් විශේෂ ලක්ෂණයක්.

වැල්ලවත්ත ආශ්‍රිතව ඉදිවුණු සී. එච්. ප්‍රනාන්දු නිවාස අගේ නිර්මාණ අතර තවත් වැදගත් නිර්මාණයක්. වෙනත් නිවාස වලට වඩා අඩු වියදමක් දරා ගොඩනැගුනු එම නිවාස සම්පූර්ණයෙන්ම පොළව සහ ලාංකීය බව රැඳුනු නිවසක් ලෙස දකින්න පුළුවන්. විවෘත ගඩොල්, සාමාන්‍ය සිමෙන්ති, වැනි අමුද්‍රව්‍ය වලින් නිමවුණු මෙම නිවස ඉතාම සරල සැලැස්මකින් යුතු නිර්මාණයක්. වර්තමානයේ අප බොහෝවිට නිර්මාණය කරන්න උත්සාහ කරන අඩුවියදම් නිවාස වල ලක්ෂණ මෙම නිවාස තුල දක්නට ලැබෙන අතර නිමාව අතින් ඉතාම සෞන්දර්යාත්මක පෙනුමක් මෙම නිවස තුල මිනෙට් විසින් කැටි කර තියෙනවා. ඒ වගේම වර්ණ භාවිතය අතිනුත් ඇගේ අනිත් නිර්මාණ වලට වඩා වැඩි වෙනසක් මේ නිවස තුල දකින්න පුළුවන්.

කොළඹ පීරිස් නිවාස ද්විත්වය, කුමාරස්වාමි නිවාස, නුවර කළා මධ්‍යස්ථානය වගේ බොහොමයක් වැදගත් නිර්මාණ ඇය විසින් නිර්මාණය කර තිබුනත් ඒ බොහෝ ගොඩනැගිලි ක්‍රමයෙන් භාවිතයෙන් ඈතවීමත් සහ කඩා ඉවත්කිරීමත් යන පොදු යතාර්තයට මුහුණදෙමින් තිබීම කණගාටුවට කරුණක්. නමුත් ඒ වෙනස් වීම යන ප්‍රබල සංසිධියට ගැලපෙන ලෙස සහ වෙනසට අනුගතවන ලෙස තම ආකිටෙක්චර් චින්තනය තුලින්ම ඈ තුල නැඹුරුවක් තිබුණු බවත් ඇගේ නිර්මාණ බොහොමයකම දකින්න පුළුවන්.

කොහොම වෙතත් නුදුරු අනාගතයේ කලා සංස්කෘතික සහ ආකිටෙක්චර් අවධානය ජෙෆ්රි බාවාගෙන් පෙර යුගයට අයත් මිනෙට් වෙත යොමුවන විට සමහර විට ඇගේ නිර්මාණ බොහොමයක් අපට දැකගැනීමට නොලැබේවි. නමුත් මිනෙට් විසින් තමන්ට හිමි ඉඩ ඉතිහාසය තුල ඉතාම පැහැදිලිව සටහන් කර තිබෙන බව නුදුරේදීම අපට දැනගැනීම ලැබෙන බවට සැකයක් නැහැ.

(2023/ 01/ 22 අනිද්දා පුවත්පතේ පලවූ ලිපිය)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *