මානව හිමිකම් කඩකිරීම පිළිඹඳව ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් බරපතල චෝදනා
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් හා නීති උල්ලංඝණය කරන බවට මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ නවතම වාර්තාවෙන් දැඩි චෝදනා එල්ලකර තිබෙනවා.
එහි සඳහන් වන්නේ, අරගලය මර්දනය කරමින් ක්‍රමෝපායික ලෙස මර්දනය රට තුළ දියත් කර ඇති බව යි.
මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයට රටවල් 116 ක සංවිධාන 188 ක් ඇතුළත් වන අතර එහි මහලේකම්, අදිලූර් රහමන් ඛාන් මහතාගේ අත්සනින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ හදිසි නීතිය පනවා ,හමුදා යොදා නැවත අරගල ඇතිවීමට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා මෑතක දී කළ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් බව යි.
ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන්ගේ අයිතීන් වත්මන් රජය කෙතරම් දුරට ආරක්ෂා කරන්නේදැයි ජාත්‍යාන්තර ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බව ද එම වාර්තාවේ සඳහන්.
ජූලි 09 වැනිදා එවකට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසළ දී මාධ්‍යවේදීන් 8 දෙනාට එල්ල කළ ප්‍රහාරය ද මෙම වාර්තාවේ දැඩි ලෙස හෙළා දැක තිබෙන අතර රජය විසින් පිළිගත් මාධ්‍ය හැඳුනුම්පත ද අතැතිව රාජකාරියේ නිරතව සිටිය දී පහරදීම බරපතල තත්වයක් බව මානව හිමිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මේලනය නිකුත් කළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන්.
දිගින් දිගටම විරෝධතා මර්දනය කිරීමට ජීව උණ්ඩ, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ යෙදවීම තවත් බරපතල තත්ත්වයක් බව සිහිපත් කරන එම සංවිධානය අවධාරණය කරන්නේ, බලධාරීන් අනවශ්‍ය ලෙස මහජන රැස්වීම් වලට සීමා පැනවීම, හදිසි නීති රෙගුලාසි යොදාගෙන නීතිය අවභාවිත කිරීම හා මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම ද බරපතල තත්ත්වයක් බව යි.
ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී අද (01) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී යි.