“ගාඩි” දෙවන වර නැරඹුවෙමි.
(හෙන්රි වර්ණකුලසූරිය)
මා චිත්‍රපටයක් එක් වරකට වඩා නරඹන්නේ හේතු දෙකක් මතය.
1. චිත්‍රපටය අපූර්ව වීම. – එහි රූප වලට හා සිද්ධි දාමයට ආශක්ත වීම නිසා පළමු වර මග හැරෙන වෙනත් සුවිශේෂතා පිළිබඳ විචාරශීලී වීම එවිට සිදු වේ.
2. චිත්‍රපටය නැවත බලන්නට උනන්දුවක් නැතත්, වෙනත් විදිහකින් කිවහොත් අපූර්වත්වයක් නැතත් අධ්‍යක්ෂවරයාගේ වෙනත් චිත්‍රපට හේතුවෙන් “පොරක්” වී ඇත්නම් මට කිසියම් අතපසුවීමක් වූයේදැයි නිශ්චය කොට ගැනීමටය.
මා “ගාඩි” දෙවන වර නැරඹුවේ දෙවන කාරණය හේතුවෙනි. “ගාඩි” මා තුළ අපූර්වත්වයක් ජනිත නොකළා සේම එය ඕලාරික විය. එක තැන ඇදෙන ගතියක් විය. උසස් රංගනය මෙන්ම කැමරාකරණයද මා ඊට යම් තරමකට හෝ ඇද බැඳ තබා ගති. එසේම චිත්‍රපටයේ විශිෂ්ටතම අංගය සංගීත අධ්‍යක්ෂණය හා හඬ සංකලනයයි. එසේම නිහඬතාවයි. රූප කතා නොකරද්දී, සංස්කාරකට චිත්‍රපටය ආගන්තුක වෙද්දී සංගීතය සියල්ල අබිබවා නිර්මාණාත්මක ලෙස මතු විය. එය අපට වෙනම ඇසුණේ නැත. විය යුත්තේද එයමය.
මැදි වයසේ පුද්ගලයෙකු ලෙස ඉතිහාසයේ ලියැවී ඇති ඇහැලේපොල මහ අධිකාරම ලෙස වයස්ගත රවීන්ද්‍ර රන්දෙනිය තෝරා නොගත යුතුව තිබිණ. සජිත් අනුත්තර රොඩී තරුණයා ලෙස මනා රංගනයක යෙදේ. කලණ ගුණසේකර,තුසිත ලක්නාත්, අයිරාංගනී සේරසිංහ වැන්නන් සුළු චරිත වුව මනාසේ කැපී පෙනෙන ලෙස ඒ ඒ චරිත වලට සාධාරණයක් ඉටු කොට ඇත.
මුළු සිද්ධි දාමයම (මෙහි කතා ප්‍රවෘත්තියක් නැත.) බිඳ වැටෙන්නේ රොඩී ගැහැනුන්ගේ උඩු කය වසා දැමීමෙනි. නැතහොත් ඔවුන් ලැජ්ජාවෙන් උඩු කය වසා ගැනීම නිසාය. රජ කාලයේ රොඩී ගැහැනුන්ට පියයුරු නිරාවරණය කර ගත් ඇඳුම් අඳින්නට සිදු වූ අතර, ඔවුනට එය ලැජ්ජාවට කරුණක් නොව සාමාන්‍ය කරුණක් විය. ප්‍රසන්න විතානගේ සුද්දාටත් කලින් රොඩී ගැහැනුන්ගේ දෙතන වසා දමන්නට උත්සුක වූයේ මන්දැයි නොතේරේ.
ප්‍රසන්නගෙන් අප බලාපොරොත්තු වන්නේ මෙවන් චිත්‍රපට නොවේ. මෙවන් චිත්‍රපට බෙනට් රත්නායකටත් හදන්නට පුළුවන. ප්‍රසන්න විතානගේ ප්‍රේක්ෂකයාට දායාද කළ යුත්තේ “ඉර මැදියම”, “ආකාස කුසුම්”, “අනන්ත රාත්‍රිය” වැනි අපූර්ව චිත්‍රපට පරයා නැගී සිටින චිත්‍රපටය. “ගාඩි” ප්‍රසන්නගේ සිනමාවට අලගු තැබිය හැකි චිත්‍රපටයක් නොවේ.