විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු බලධාරින්ට එරෙහි නඩුව අද කැඳවයි
උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශය නොසළකා හැරීමෙන් සිදු කළ අපහාසයට, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු බලධාරින්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධිකරණයට අපහාස කිරිම යටතේ ගොනුකර තිබූ නඩුව අද (07) දින සලකා බැලීම අවසන් කළා.
එම අවස්ථාවට ගාමිණි අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල එක්ව සිටියා.
පෙත්සම්කරුවන් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඉල්ලා ඇති පරිදි විදුලිය විසන්ධි කිරිම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද? සහ වගඋත්තරකරුවන් අධිකරණයට කැඳවීමට නොතීසි නිකුත් කරන්නේ ද ? යන නියෝගය ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනය ඇතුළත නිකුත් කරන බවයි එහිදී විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙන්නේ.
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම කොමිසම හමුවේ සමථයකට එළඹුණු බවත් පසුව එය විධානයක් වශයෙන් නිකුත් කිරීමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් සඳහන් කර තිබෙනවා.
එම විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් මානව හිමිකම් කොමිසමේ අධිකාරී බලයට අගෞරව කර අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, මානව හිමිකම් කොමිසමට මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිමය බලයක් නොමැති බවයි.