වී වෙනුවට රෝසමල් වවන ලිච්ඡවි ක්‍රමය
(මහේෂ් හපුගොඩ)
මේ සටහන ලියන්නේ තරමක් අඩමාන අනුමානයකින්. ඒ කියන්නේ මම මේ කරන දේ යම් විදියකට මේ වෙලාවේ ලංකා පොළවේ දිගහැරෙන දේවල් එක්ක යම් දේශපාලනික සන්දර්භගත කිරීමේ උත්සාහයක් කිව්වොත් නිවැරදියි. ඒ නිසා මේක සායනික අර්ථයෙන් ගන්න එපා. ඓතිහාසික – දේශපාලනික අර්ථයෙන් ගන්න.
ඇයි රනිල් මේ වෙලාවේ මේ වගේ ඉතාම අර්බුදකාරී අවස්ථාවක, ජනතා කැමැත්තක් පැත්ත පළාතේ නැති වෙලාවක, තමන් නියෝජනය කරපු කඳවුරේ (මේක නම් එහෙම නැහැ කියල දැන් තේරෙනවා) අනික් පැත්තේ හිටගෙන, තමන් ගැන මොකක් හරි අදහසක හිටපු මිනිස්සුන්ගේ අදහසටත් පයින් ගහල, පොහොට්ටුවේ ආධාරයෙන් විධායක ජනාධිපති ධූරය වගේ දෙයක් ගන්නේ?
මේ ලිච්ඡවි ක්‍රමය ද? තමන් වීරයෙක් කියල පෙන්නන්නද? නැත්නම් රටේ ජනතාව ගැන තියන මහත්වූ කරුණාවෙන් ද? නැත්නම් කෑදරකම ද? නැත්නම් මොකක් හරි අවිඥාණික සතුටක් ද?
ඔය යටත් විජිත පාලනයත් එක්ක එව්වා මෙව්වා වෙලා ශේෂ වෙච්ච දේශීය පවුල් සුද්ද ගියාට පස්සේ ඒ තැන ගන්න හැදුවා. ඒ අනුව රනිල් ල ඉපදෙන පවුල් ඇවිල්ල රටවල් පාලනය කරන්නම ලියල දුන්න රාජ්‍යත්ව ලේ තමන්ගේ ඇඟේ දුවනවා කියල හිතාගෙන ඉන්න කොට්ටාශයක්. අනික් අය පාලිතයින් ලෙස සලකාගෙනම තමයි මේ කට්ටිය සමජානුයෝජනය වෙන්නේ. අපි ඉන්නේ පාලනය කරන්න අනික් අය අපේ යටතේ ඉන්න ඕනි කියන හැඟීම මෙයාල තුල පැළපදියම් වෙලා තියනවා. ඒක ඓතිහාසික තත්වයක්. මේ අවිඥාණික හැඟීම නිසා එයාල හැදෙන්නෙම ”පාලනය කරන්න”. වෙනත් අනන්‍යතාවක් මෙයාලට නැහැ.
මේ පශ්චාත් යටත් විජිත ස්වාමි පාලන ස්වභාවය මනෝවිශ්ලේෂණ උදාහරණ දෙකකින් පැහැදිලි කරන්න පුළුවන්. ලංකාවේ මෑතක උදාහරණ දෙකක් ගම්මු. එකක් නිදහස් උත්සවය. රටේ මිනිස්සු මොනතරම් ඒ ගැන අවුලෙන් හිටියත් එයාල ඒක කරා. අපි මොකද කියන්නේ කියල හිතුවෙම නැහැ. හරියට සුදු ස්වාමියා රමණයේ යෙදිලා ඉන්නකොට වහලෙක් තේ එකක් අරන් කාමරේට ආවොත් ස්වාමියා වහලා බලන් ඉන්නවා කියල රමණ කටයුත්ත නතර කරන්නේ නැතුව දිගටම කරගෙන යනවා වගේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හැඟීම මොනවා උණත් එයාල ”නිදහසේ රමණ” කටයුත්ත කරගෙන ගියා. ඒ එකක්.
අනික ජනතා පීඩක බදු සහ භාණ්ඩ සේවා මිළ ඉහළ යාම. නිකම් හිතන්න ලයිට් බිලේ කතාව ගැන. මෙච්චර කල් ඉතාම අවශ්‍ය දේකට (උසස් පෙළ කාලේ පවා) උනත් ලයිට් දෙන්නේ නැතුව කපපු ආණ්ඩුව මිල ඉහල දැම්මා විතරයි මෙන්න පැය විසි හතරේම් ලයිට්. බලන්න තියන අසංවේදී කමක මහත… ඒ කියන්නේ සල්ලි තියනවා නම් ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් මැරිලා පලයල්ලා. මේක පරපීඩකයි.
මෙන්න මේක තමයි පාලන ආකෘතිය. ලිච්ඡවි ක්‍රමය. වහලුන්ගේ ළමයි ඉගෙන ගන්න එක හරි, උන්ට බේත් හේත් තියනවද කියන එක හරි, පොතක් පතක් ගන්න සල්ලි තියනවද කියන එක හරි අපිට අදාල නැහැ. මේ වේදනාවෙන් සතුටු වෙන්න කියල එයා අපිට කියනවා (enjoy your suffering!).
මේ අවිඥාණික තත්වයෙන් කියන්නේ අපේ අයට විතරයි ඔය ”යටත් වැසියෝ” (subject) පාලනය කරන්න පුළුවන් කියල. ඉවක් තියනවා නම් මේක රාජපක්ෂලා තේරුම් ගන්න ඕනි. ”දැක්ක නේද උඹල පාලනය කරන්න ගිහිල්ල ඇනගත්ත හැටි. හම්බන්තොට මැදමුලනේ වගේම ලංකාවේ ගම්වල ජනප්‍රිය බව තිබ්බට මදි කොළඹ මධ්‍යම පංතික ප්‍රභූ ලේ දුවන්නත් ඕනි ඇඟේ. දැන් පේනවා නේද කට්ටිය මොනවා දුන්නත් නොදුන්නත් මීක් නැතුව ඉන්න හැටි…”
අනික අපේම අය කියනවා නේද ”ගෝඨා එක්ක වගේ රනිල් එක්ක බැහැ” කියල. ඒ කියමන එන්නේ රනිල්ගේ තියන මොකක් හරි මාර ටැලන්ට් එකක් නිසා නෙවෙයි අපිත් අර යටත්විජිත ස්වාමි මානසිකත්වයේ ඉන්න නිසා. එයාගේ ඇතුළේ මොකක්දෝ තියනවා කියල හිතුවට ඇත්තටම කිසිම දෙයක් නැහැ. මෙන්න මේ නැහැ කියල තේරුම්ගන්න වෙලාව තමයි අපේ නිදහසේ ආරම්භය.
අපිට රනිල් අනෙකා (the Other) වෙලා කියල කට්ටිය හිතුවට රනිල්ගේ අනෙකා දශක දෙකක් තිස්සේ තමන්ගේ දේශපාලනය කුජීත කරපු රාජපක්ෂ පවුල. මේ කරන්නේ ”පාලනය කරලා” පෙන්නීම.
අපි තමයි පාලකයෝ කියන මනෝභාවය ඇතුලේ තමයි සර්වබලධාරී විධායක ජනාධිපතිකම ජේ. ආර්. හදන්නේ. මිනිස්සු කැමති උණත් නැතත් ගැහැණියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහැණියෙක් කරන්නත් විතරක් බැරි 78 විධායක ජනාධිපතිකම එයා ගේන්නේ මේ පාලනය කිරීම දිගටම කරගෙන යන්න ඕනි නිසා. කොයි ක්‍රමයෙන් හරි තමන්ගේ පංතියට බලය තියාගන්න ඕනි නිසා. ජනතාවාදී නොවන දේශපාලන ආර්ථික තීන්දු වලදී මර්ධනය ඕනි නිසා.
ඔය මොන ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ගැන කතාකරත් රනිල්ගේ අවිඥාණය ජේ ආර්. ඔය ලිබරල් කෑලි නිසා අපි රනිල් එහෙම නැහැ වගේ කියල කාලයක් හිතුවට ඒ හිතුවිල්ල වැරදියි. දැන් ”විධායක රනිල්” ඒක මනාවට ඔප්පු කරමින් ඉන්නවා.
හැබැයි ඔය ඔක්කොම එක්ක රනිල් එකක් අමතක කරනවා. ඒ තමයි දැන් තියෙන්නේ 78 නෙවෙයි කියල එක. 80 දශකය පුරා මිනිස්සු දැඟලුවා ජේ. ආර්. එක්ක. නමුත් විධායක බලය එක්ක ඒවා ගොඩක් පැරදුණා.
හැබැයි දැන් මිනිස්සු එදාට වඩා උපක්‍රමශීලියි. දුරදිග දකින සුළුයි. නිර්භයයි. ප්‍රශ්නකරන සුළුයි. ගැට වලට අහුවෙනවා අඩුයි.
ඒ නිසා තමයි මුල්ම වරට ඔය ප්‍රභූ කියන පාලක පංතියෙන් වෙනත් පංතියකට බලමාරුවක් සිදුවෙන්න යන්නේ. ඒකෙ ගුණාත්මක බව ගැන නෙවෙයි මේ කියන්නේ. ලිච්ඡවි ක්‍රමය මොකක් උණත් එවන් බල මාරුවකදි නම් හැම කකුල් මාට්ටුවක්ම දාන බව නම් පැහැදිළියි.
ඒ නිසා ජේ. ආර්. ගේ අඩිපාරේ ම යන එක ලේසි වෙන එකක් නැහැ. ලෝකයේ ගොඩක් ඒකාධිපති, ඒකාධිකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජනතා විරෝධී පාලන ව්‍යුහ කඩාබිඳ වැටිලා තියනවා. ඊජිප්තුවේ මුබාරක්, ලිබියාවේ ගඩාෆි, ටියුනීසියාවේ අබිදින් බෙන් අලි, ලංකාවේ ගෝඨාභය වගේ උදාහරණ වගේම අරාබි වසන්තය, හොංකොං අරගලය, ඇමෙරිකානු කළු ජාතික අරගලය, ලෙබනන් අරගලය, කිර්ගීස් අරගලය, ජෝර්දන් අරගලය වගේ විසිඑක් වන සියවසේ අරගල විශාල ගණනක් එක්ක දැනුම්වත්වූ ජනතාවක් මේ වනවිට ලෝකය පුරාම ඉන්නවා. එයාල ඒ ප්‍රභූ දේශපාලනයේ උච්චාවචන (fluctuations) ගැන සෑහෙන පමණ දැනුම්වත් ජනතාවක්.
ඒවා ‘වී වෙනුවට රෝසමල්’ වගේ සටන්පාඨ වලින් යටගහන්න බැරි වර්ගයේ ජනතා නැගිටීම්. රෝසමල් වෙනුවට දැන් තියෙන්නේ රෝස විප්ලව, ටියුලිප් අරගල, ජැස්මින් අරගල වගේ දේවල්…
මේ වවන ‘රෝසමල්’ වලින් නම් වෙන්නේ රෝස විප්ලව තමයි.