“සියනෑවේ පිබිදෙන හරිත අගනගරය ”
“සියනෑවේ පිබිදෙන හරිත අගනගරය ”ලෙස ගම්පහ සංවර්ධනය කෙරේ. 2023 –2033 කාලය තුළ එය ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ඊට අදාළ සංවර්ධන සැලැසුම් කෙටුම්පත නාගරික සංවර්ධන අධිකාරිය සකස් කර තිබේ.
කෙටුම්පත් කරන ලද ගම්පහ නගර සංවර්ධන සැලැස්ම සදහා මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම (20) දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.
මෙහිදී ගම්පහ නගර සංවර්ධන සැලැස්මේ කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාට හා ගම්පහ ප්‍රාදේශීය සභා සභාපති රංජිත් ගුණවර්ධන මහතාට ලබා දුන්නාය.
ගම්පහ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභවේ අනෙකුත් මන්ත්‍රීවරුන් වෙතද මෙම කෙටුම්පත ලබා දෙන අතර ඔවුන්ගේ සහ මහජනතාවගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සදහා දින 60 ක කාලයක් ලබා දී තිබේ. ඉන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගම්පහ නගර සංවර්ධන සැලැසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.
විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා නගර සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මඟිනි.
ගම්පහ නගර සංවර්ධන සැලැස්මේ දැක්ම වන්නේ “සියනෑවේ පිබිදෙන හරිත අගනගරය” යන්නයි. ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය, ආර්ථික හා සංචාරක සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, තිරසාර පරිසර සංවර්ධනය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන උපාය මාර්ග 5 කින් මෙය සමන්විතයි. ගම්පහ නගර සීමාව තුළ නේවාසිකව ජනගහනය 229,000කි. අධ්‍යාපන, පරිපාලන, සෞඛ්‍ය, වාණිජ හා ගමනාගමන යන සියල්ලෙන්ම සමන්විත සේවා නගරයකි. ඉහත සේවා පහසුකම් ලබා ගැනීම සඳහා ගම්පහ නගර තුළ දිනකට ක්‍රියාකාරී ජනගහනය ලක්ෂ 2කට ආසන්නය.
ගම්පහ නගරයේ නිවාස ඒකක 57,000 ක් පමණ තිබේ. ගම්පහ භූමි ප්‍රමාණයෙන් 52%ක් භූමි පරිහරණය වේ.26% ක් කුඹුරු සහිත තෙත් බිම් ප්‍රදේශ වේ. පරිසර සංවේදී කළාපය 25%කි. නව සංවර්ධන සැලැස්ම නිර්මාණය කිරීමේදී ගම්පහ නගර සංවර්ධන සැලැස්ම පවතින සම්බන්ධන පීඩනයේ ගැටළු හා විභවතාවන් අනුව යාවත්කාලීන නොවීම, ගම්පහ මහ නගර සභා ප්‍රදේශයට පමණක් සීමා වී පැවැතීම, ප්‍රධාන නගර හා උපනගර වල විධිමත් නොවූ නාගරීකරණය, විවිද නගර පර්ශදයන් තුළ ඇති විශම සම්බන්ධනය, ගනේමුල්ල, වැලිවේරිය ප්‍රධාන උපනගරයන් නාගරීකරණය තුළ අවම පහසුකම් යටතේ සංවර්ධනය වීම, පවතින සංවර්ධන විභවතාවන් නගර සංවර්ධනය සඳහා නිසි අයුරින් භාවිතා නොකිරීම යන කරුණු ගැටළු ලෙස හදුනාගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික් පරිපාලන අගනගරය ලෙස සේවා නගරයක් බවට පත් වීම, ජාතික හා කාලපීය මට්ටමින් ගමනා ගමන ව්‍යාපෘතින්ගේ බලපෑම, කොළඹ පරිපාලන අගනගරයට හා වාණිජ නගරයට, බණ්ඩානායක ජාතන්තර ගුවන්තොටුපල හා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති අපනයන සැකසුම් කලාප වලට ඇති ආසන්න දුර, ගමනා ගමන සේවා, භුමියෙන් 27% පුරා විහිදී තිබෙන තෙත් බිම් හා ඒවා උපයෝගී කොටගෙන කෘෂි අයෝජන ආයුර්වේද පර්යේෂණ පරිසර ඇති කිරීමේ හැකියාව, දැනට පවතින හා අනාගතයේ ජනගහනයේ ඉල්ලුම යන සාධක නව සංවර්ධන සැලැස්ම නිර්මාණය කිරීමේදී විභවතා ලෙස හදුනාගෙන තිබේ.
1945 වර්ෂයේදී ගම්පහ නගර සභාව ස්ථාපිත කිරීමත් සමඟ 1979 වසරේදී එම නගර සභා ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියේ බල ප්‍රදේශයක් බවට පත්වේ. 2000 වර්ෂයේදී නගර සභා බල ප්‍රදේශයේ භූමි ප්‍රමාණය වැඩි කර එය මහ නගර සභාවක් බවට පත් කිරීමත් සමඟ 2001 වර්ෂයේදී නැවතත් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් බවට පත් කෙරුණි.
2016 වර්ෂයේදී ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවත්නා සියළුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සියල්ල නාගරික සංවර්ධන බල ප්‍රදේශයන් ලෙසට ගැසට් කරනු ලැබේ. ඒ අනුව ගම්පහ ප්‍රාදේශීය සභාවද නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් බවට පත් වේ.
2050 ජාතික භෞතික සැලැස්ම තුළ ගම්පහ නගරය පිහිටා ඇත්තේ නැගෙනහිර හා බටහිර ආර්ථික කොරිඩෝව තුළයි. බස්නාහිර පළාත සඳහා සකස් කර තිබෙන ව්‍යුහ සැලැස්ම 2035ට අනුව ගම්පහ ඇතුළු අවට ප්‍රදේශය මධ්‍යස්ථ ගණත්වය යුතු නේවාසික කළාපයක් සහ මිශ්‍ර සංවර්ධන කළාපයක් ලෙස දියුණු කිරීමට මේ වනවිට යෝජනා කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී. රණතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) හේමාල් ලක්පැතුම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
@Media Unit