ලේ සුවඳට ඉව ඇල්ලූ ආන්ඩුවේ පළමු ගොදුර ඔහු – චම්පික රණවක
ලේ සුවඳට ඉව ඇල්ලූ අයගේ පළමු දඩයම ලෙස අහිංසක ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ ජීවිතය අහිමි වී ඇති බව 43 සේනාංකය පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ එම සිදුවීම පැහැදිලිවම ඝාතනයක් බවය. ලේ වැකුණු අතීතය මතක් කරමින් ලේ සුවඳට ඉව අල්ලන්ට තටු ලබා නොදී සියළු ප්රජාතන්ත්රවාදී බලවේග එක්විය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කළ බව කියන ජනාධිපතිවරයා ජනතාවගේ මූලික අයිතීන් වන ජීවත් වීමේ සහ ඡන්ද අයිතිය සපුරාලීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු කිරීමට ද රණවක මහතා මෙහිදී කටයුතු කිරීම විශේෂත්වයකි.
“අපි බොහොම පැහැදිලිව අනතුරු ඇඟෙව්වා. මේ මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලියත් සමග ආණ්ඩුව තුළ ලේ, සුවඳට ඉව අල්ලන පිරිස් සිටින බව අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා ආණ්ඩුව තුළ. ඒ ලේ සුවඳට ඉව අල්ලපු අයගේ පළමු දඩයම ලෙස මේ අහිංසක මහත්මයාව, මේ ඡන්ද අපේක්ෂකයාව බිලි අරගෙන”
“ජනාධිපතිතුමා නම් කියන්නේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙන්නේ ජනාධිපතිවරණයයි, ජනමත විචාරණයයි, මහ මැතිවරණයයි විතරයි කියලා. ඒ නිසා ඔහු ව්‍යවස්ථාවෙන් බැඳිලා නැහැ කියලා පළාත් සභා ඡන්ද හා පළාත් පාලන ඡන්ද පවත්වන්න. නමුත් මේ රටේ පළාත් පාලන ඡන්දය කියන්නේ පළාත් සභා ඡන්දය කියන්නේ දෙකම ජනතාවගේ පරමාධිපත්‍යය අභ්‍යාස කරන අවස්ථා දෙකක්.”
එම අවස්ථා දෙකම අද තහනම් කරලා තිබෙන බව රණවක මහතා පෙන්වා දෙයි. ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණයක් පවත්වන තෙක් මැතිවරණ සිතියම හැකිලීමේ උවමනාවක් ජනාධිපතිවරයාට තිබෙන බව පෙනී යයි. ඒ අරමුණ සඳහා අවශ්‍ය වන මර්දන යාන්ත්‍රණය පවත්වාගෙන යාමට ගැලපෙන පොලිස් ඇමැතිවරයෙක් සහ පොලීසියක් ජනාධිපතිවරයාට ලැබී තිබේ.
“ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 82 ජනාධිපති ජය ගත්තට පස්සේ ඔහු කිව්වා කුමනත්‍රණයක් තියෙනවා කියලා. ඒ පාර්ලිමේන්තුවට එන්න යනවයි කියලා. ඒ ගැන අදහස් කළේ කාටද? විජය කුමාරතුංග ප්රමුඛ පිරිසට. නැක්සලයිට් කුමන්ත්‍රණය කියන එකට මුවාවෙලා 83 පවත්වන්නට නියමිතව තිබිච්ච මහ මැතිවරණය ජනමත විචාරණයක් මගින් කල් දැම්මා. ඒ ජනමත විචාරණය ගැන හැමෝම දන්නවා. ඒක ඡන්ද කොල්ලයක්.
එතනින් පටන් ගෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදී විපක්ෂය මර්දනය කිරීම හේතුවෙන් රට තුළ ලේ වැකුණු බරපතල සිදුවීම් කිහිපයක් ම සිදුවූ බව ද රණවක මහතා මෙහිදී සිහිගැන්වීය.
“මේ ගමන් මගෙන් ඈත් වෙන්න කියන එක අපි බොහොම පැහැදිලිව ජනාධිපතිවරයාට ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි නැවතත් අවධාරණය කරනවා මේ අමරසිරි මහත්මයාගේ මරණයෙන් අපි ඉගෙනගත යුතු පාඩම අපි ලේ කුපිතක වෙලා ඒ ඡන්දෙන් සම්බන්ධයෙන් වූ ක්‍රියාදාමයන් වලට අපි ගමන් කළොත් අර ලේ වලට ඉව අල්ලන, තව අවුරුදු හයකට පාර්ලිමේන්තු කාලය දිග් ගහගන්න හිතන් ඉන්න. මේ කල්ලිය කණ්ඩායම් වලට තටු ලැබෙනවා. ඔවුන්ට මේ මර්ධනය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය වටපිටාව සැකසෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විපක්ෂයේ සියලුම බලවේග වලින් ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදී බලවේග වලිනුත් මේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව එක පෙරමුණකට, එක සන්ධානයකට අපි ගමන් කළ යුතුයි. රටේ ප්රජාතන්ත්රවාදය ගැන නිරන්තරයෙන් නිවේදන දමන, ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන, සියලුම ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වලිනුත් අපි ඉල්ලනවා කරුණාකරලා උතුරේ විතරක් නෙවෙයි උතුරේ, දකුණේ, බටහිර මේ හැම තැනකම නැගෙනහිර ක්‍රියාත්මක වෙන මේ මානව හිමිකම් කඩවීම් ගැන, මේ මර්ධනය ගැන, ප්රජාතන්ත්රවාදයට අගුලු දැමීම ගැන ඔබේ හඬ අවදි කිරීම ගැන අපි බලාපොරොත්තුවෙන් සිටිනවා කියන එක.”
රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය, ඡන්ද අයිතිය යන මූලික අයිතීන් සපුරාලීමට ජනාධිපතිවරයා කටයුතු කොට නොමැති බව රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මෙහිදී මතක් කර දුන්නේය. එසේ නොවුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මේ රටේ ජනතාවගේ මානව හිමිකම්, ප්රජාතන්ත්ර අයිතීන් යටපත් කරන්න ඉන්න ආයතනයක් ඒකට සහය දෙන ආයතනයක් හැටියට සැළකීමට සිදුවන බව ඔහු අවධාරණය කළේය.
මේ අවස්ථාවට එක් වූ 43 සේනාංකය මුදල් ලේකම් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා;
“පෙරේදා ජාතික ජන බලවේගය විසින් පැවැත්වූ ඒ සාමකාමී උද්ඝෝෂණයේදී මියගිය නිමල් අමරසිරි මහතාගේ පවුලේ උදවියට අප සංවිධානයේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා. එදා පැවති ඒ සාමකාමී, ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂණයට පහර දීම පිළිබඳව විශේෂයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ මෙම ආණ්ඩුවටත්, පොලිස් ඇමැතිවරයා ප්රමුඛ ඔහුගේ නිලධාරීන්ටත් අපේ බලවත් පිළිකුල ප්‍රකාශ කිරීමට කැමතියි.
අද රට පවතින්නේ ඉතාමත් දුෂ්කර අවස්ථාවක ඉතාමත් අසහනකාරී අවස්ථාවක මේ සමාජයේ සෑම සෑම ස්ථරයක්ම ඉතාමත් අසහනයට පත් වෙලා සිටින මොහොතක්. මෙවැනි සමාජයක මේ වගේ උද්ඝෝෂණ පැනනැගීම ඉතාම සාධාරණයි. අපි එය බලාපොරොත්තු විය යුතුයි. අද මේ වර්තමානයේ මේ ජනතාව පීඩා විඳින්නේ ඔවුන් කරපු වැරදි නිසා නෙවෙයි. හිටපු දේශපාලකයෝ කරපු හොරකම් නිසා නෙළුම් කුලුන වගේ වැඩකට නැති ව්‍යාපෘති කරපු නිසා. ඉදිරියේ දී මේ උද්ඝෝෂණවලට ප්රචණ්ඩ ආකාරයට පහර දෙන්නට ගියහොත් මේ උද්ඝෝෂණ තවදුරටත් ප්‍රචණ්ඩකාරී විය හැකියි. මේ පොලිස් ඇමතිවරයා ප්රමුඛ කණ්ඩායම තමයි වගකිව යුත්තේ මේ වෙලා තියෙන තත්ත්වයට. කෝටි ගණන් මුදල් බැංකුවලින් මංකොල්ල කාගෙන, ණය නොගෙවා ඉන්න පිරිස් තමයි මේ ඇමති මණ්ඩලයේ ඉඳගෙන මේ ජනතාවට වෙඩි තැබීම සඳහා අණ දෙන්නේ, ජනතාවට පහර දීම සඳහා අණ දෙන්නේ, අපේ සමාජය මොවුන් ගෙන යමින් සිටින්නේ අතිශය වේදනාකාරී, අතිශය ප්රචණ්ඩ ස්ථානයකට වෙන්න පුළුවන්. වහාම මේ තත්ත්වය නවත්තන්න. මේ උද්ඝෝෂණ වලට, ජනතාවට විරුද්ධව, ප්රචණ්ඩත්වය නවත්තන්න. ඒ ප්රචණ්ඩත්වය නවත්තලා, අද මේ ජනතාව ඉල්ලා සිටින පළාත් පාලන මැතිවරණය මේ මොහොතේදී සුදුසුම දේ ඔවුන්ට දෙන්න. ඔවුන්ට පුළුවන් එතකොට සාමකාමීව තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙන, රජයට සහ පාලකයින්ට විරුද්ධව තමන්ගේ මතය පෙන්නලා ඊළඟ දේශපාලන පියවර සඳහා යන්න පුළුවන්.
අපි ඉල්ලීමක් කරනවා මේ උද්ඝෝෂණ වලට සහභාගී වෙන සියලුම පාර්ශව වලින් කරුණාකර ඔබේ උද්ඝෝෂණ වලදී ඒ උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්න. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ උද්ඝෝෂණ වලට පහර දී ඔවුන් ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කරලා ඉදිරියට මේ රටේ අනාගතය තවත් අඳුරුවන තත්ත්වයට යෑමෙන් වළක්වා, ජනතාවට තමන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය පෙන්වීම අවශ්‍ය අවකාශය ලබා දෙන්න.
Q & A – පාඨලී චම්පික රණවක මහතා වෙත මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සහ ඔහුගේ පිළිතුරු
1. ප්රශ්නය:
රජයේ මාධ්‍ය ප්‍රකාශ කරනවා මේ ආණ්ඩුව යන ගමන දැකලා පැහැදීමක් ඇති වෙලා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබා දීලා තියෙනවා අපේ ආර්ථිකය ඉදිරි කටයුතු නංවාලීමට කියලා. ඒ සම්බන්ධයෙන් මොකද ඔබගේ අදහස?
· පිළිතුර:
ලෝක බැංකුවේ තිබෙනවා වාණිජ අංශයක්. එම වාණිජ අංශය විසින් කිසිම ණය මුදලක් ලබාදීලා නෑ. ණය පහසුකමකට වඩා ඒක මුදල් හුවමාරු පහසුකම්. ඒක ලබාදීලා තියෙන්නේ ආණ්ඩුවට නෙමෙයි. පුද්ගලික බැංකු තුනකට. ඒ පුද්ගලික බැංකු තුනකට ඩොලර් මිලියන 400 ක් ලබාදීලා තියෙනවා. උදාහරණයක් හැටියට රියාල් වලින්, ඉන්දියානු රුපියල් වලින්, ඒ වගේ විදේශ මුදල් ඒ බැංකු සතුව තිබෙනවා නම්, විශේෂයෙන්ම විදේශික ශ්‍රමිකයන් විසින් එවලා තියෙන, ඒවා මේ ලෝක බැංකු පහසුකම යටතේ, ඩොලර් හෝ යුරෝ බවට පත්කරගන්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන කිසිම ඔය කියන ණය පහසුකමක් ලබා දීලා නැහැ.
2. ප්රශ්නය:
ඔබ හිටපු බලශක්ති ඇමතිවරයා. ඔබගේ දැනීමට අනුව තව කොච්චර කාලයක් පැය 24ක්ම විදුලිය දෙන්න පුලුවන්ද?
· පිළිතුර:
විදුලිය දීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්ත වශයෙන්ම ඔය පොහොට්ටුවේ අය කියනවා වගේ බලාගාර හදපු නැති නිසා ඇති වූ ප්‍රශ්නයක් නෙවෙයි මේක. බලාගාරවලට ඉන්ධන නොමැති වීම පිළිබඳ ප්‍රශ්නයක්. පහුගිය අවුරුදු දෙක තුළ එන්න එන්නම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලුම අඩු වුණා මිසක් වැඩි වුණේ නැහැ. ඒ අනුව ධාරිතා බලාගාර ප්‍රශ්නයක් මෙතන නෑ. ඒ වගේම ලබන වසරේ සිට තවත් මෙගාවොට් 300 ක ගෑස් ටර්බයිනයක් ‘සොබා දනවි’ නමින් එකතු වෙනවා ලංකා විදුලිබල මණ්ඩලයටම අයිති සමාගමක් විසින්. ඒ අනුව ලංකාවේ ධාරිතා ප්‍රශ්ණයක් නෑ. ඒ වගේම අද වන විට ණය නොගෙවීම නිසා මසකට ඩොලර් කෝටි 60 ක් (ඩොලර් මිලියන 600) පමණ ණය නොගෙවීම නිසා සාමාන්‍යයෙන් ලිහිල් තත්වයක් ඩොලර් වලත් ඇතිවෙලා තියෙනවා. ලෝක වෙළඳපොලෙත් ඉන්ධන මිල ගිය වසරේ මැයි මාස මේ වගේ අවස්ථාවට සාපේක්ෂව ගත්තම, උච්ඡ අවස්ථාවට සාපේක්ෂව ගත්තම 35%කින් අඩුවෙලා තියෙනවා. ඒ නිසා මේ ගාස්තු වැඩිවීම හෝ විදුලි බලය අඛණ්ඩව ලබාදීම පිළිබඳ කිසිම ප්‍රශ්ණයක් නැහැ. මේ ගාස්තු වැඩිවීම සම්පූර්ණ අසාධාරණ, අයුක්ති සහගත, අවිද්‍යාත්මක ක්‍රියාවලියක්
@Media Unit