Latestදේශීය

මැතිවරණයට ඉක්මන් දිනයක් දෙනවා හැර දැන් වෙන විකල්පයක් නැහැ – ටිල්වින් සිල්වා

ආණ්ඩුවේ කුමන්ත්‍රණ පැරදවීමට ඡන්දයට ළඟම දිනයක් දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.

ඔහු මෙම ඉල්ලීම සිදු කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (06) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහද එක් වී සිටි අතර ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ,

එහිදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දැක්වූ අදහස්

“ජාතික ජන බලවේගයේ අපි මේ මාධ්‍ය හමුවට ආවේ, පළාත් පාලන මැතිවරණයේ වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වන්න. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ ඡන්දය පැවැත්වීම වැළැක්වීමට බාධා කරමින් සිටියා. නීතිමය ක්‍රියාමාර්ග තුළින් මැතිවරණය වැළැක්වීමට ගත් උත්සාහයන් ව්‍යවර්ථවීමෙන් පසුව මැතිවරණ කොමිසමට මුදල් ලබාදීම නතර කර, ඡන්දය පැවැත්වීම වැළැක්වීමට උත්සාහ ගනිමින් සිටියා. මැතිවරණ කොමිසමට සිදුවුණා, මූල්‍ය පහසුකම් නොමැති නිසා, මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කරන්න. පසුගිය 03වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණයට අදාළව ඉතා වැදගත් තීන්දුවක් දුන්නා. ඒ තමයි, ‘2023 වසරේ මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තුව විසින් වෙන්කරන ලද මුදල් රඳවා නොගෙන ලබාදෙන ලෙසට’. මේ අධිකරණ නියෝගයත් සමග ඡන්දය පැවැත්වීමට තිබුණු බරපතළ බාධාව ඉවත්වෙලා තිබෙනවා. දැන් මැතිවරණය පැවැත්වීමේ සම්පූර්ණ වගකීම තිබෙන්නේ මැතිවරණ කොමිසමට. ඒ නිසා මේ අලුත් තත්වය සැලකිල්ලට ගෙන, හැකි ඉක්මනින් මැතිවරණය සඳහා දිනයක් නියම කර, එම කටයුතු ආරම්භ කරයි කියා අපි විශ්වාස කරනවා. අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා තවදුරටත් ප්‍රමාද නොකර මැතිවරණය පවත්වන ලෙස.

මේ සමස්ත ක්‍රියාවලිය දෙස බැලුවාම පේන්නේ වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉන්නේ මේ මැතිවරණය නොපවත්වා යන්න හදන බවයි. ආණ්ඩුව ආරම්භයේ සිටම කටයුතු කළේ ඡන්දය පැවැත්වීම වළක්වන්න. මුලින්ම ඡන්දය ප්‍රකාශයට පත්කිරීම වළක්වන්න. ඒ සඳහා මැතිවරණ කොමිසම අවසන් දිනය දක්වාම කල්ගත්තා. ඊට පසුව අලුතින් නීති ගෙනාවා. අපේක්ෂකයින්ගේ වියදම් සීමා කිරීමේ පනතක් ගෙනත් එම පනත යටතේ මේ ඡන්දය පවත්වන්න කොමිසම සහ දේශපාලන පක්ෂ තීරණයක් ගත්තා. නාම යෝජනා භාරගන්නා අවස්ථාවේ ඇප මුදල් භාර ගැනීම වළක්වන්න, රාජ්‍ය පරිපාලන අමාත්‍ය ලේකම්වරයා විසින් දිසාපතිවරුන්ට ඇප මුදල් භාර නොගන්නා ලෙසට ලිඛිතව දැනුම් දුන්නා. ඊට පසුව ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම වළක්වන්න, රජයේ මුද්‍රණාලයාධිපතිනියට බලපෑම් කළා. අනතුරුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඇමති මණ්ඩල නියෝගයකින් අයවැයෙන් වෙන්කර ලද මුදල් මැතිවරණ කොමිසමට නිකුත් කිරීම වළක්වන්න. මේ නිසා මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දෙන්න සිදුවුණා පොරොන්දු වූ අයුරින් මැතිවරණය පැවැත්වීමට නොහැකි බව. එයට හේතු වූයේ මැතිවරණයට අවශ්‍ය මුදල් නොලැබීම සම්බන්ධවත්, හා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කිරීමේ කටයුතු නතර වීමත් යන කරුණු. ශ්‍රේෂ්ඨාධිකරණ විසින් 03දා ‘මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් රඳවා ගැනීම හෝ වැළැක්වීම නොකළ යුතුය’ යනුවෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා, මේ අනුව මුද්‍රණාලයාධිපතිනියට ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකර සිටීමට නොහැකි වෙනවා. දැන් ඡන්දය පැවැත්වීමට තිබූ මූල්‍ය බාධා ඉවත්වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ හිතවතෙක් ඡන්දය පැවැත්වීම වළක්වන්න තීන්දුවක් ගැනීමට අධිකරණයේ නඩුවක් ගොනුකළා. එය අධිකරණයට ඉදිරිපත් වූ සියලුම අවස්ථාවල එම නඩු විභාගය කල්දැමුණා. මැතිවරණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අභියෝග කරන්න බැරි බව ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගවලින් පෙනී යනවා.

දැන් මැතිවරණයට නීතිමය බාධා හෝ මූල්‍යමය බාධා නැහැ. දැන් වහාම කළ යුත්තේ මැතිවරණය පැවැත්වීමයි. මැතිවරණ කොමිසම ඒ සඳහා ඉක්මන් දිනයක් ලබාදිය යුතුව තිබෙනවා. මේ තත්වයන් මෙසේ තිබියදීත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඡන්දය වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩකඩ තිබෙනවා. මේ නිසා මැතිවරණ කොමිසමට අපි කියනවා මැතිවරණය සඳහා ඉතා කිට්ටුම දිනයක් ලබාදෙන ලෙස. මෙසේ ප්‍රකාශ කරන්න හේතු කිහිපයක් තිබෙනවා.

ආණ්ඩුව මැතිවරණය වළක්වන්න ගන්න උත්සාහය අත්හරින්නේ නැහැ. දිගු දිනයක් ලබාදීමෙන්, ඒ කාලය පාවිච්චි කර, පාර්ලිමේන්තු පනතකින් හෝ වෙනත් කුමන්ත්‍රණයක් දියත් කර මැතිවරණය වැළැක්වීමට ඉඩකඩ තිබෙනවා. ඒ සඳහා අවකාශයක් ලබාදීම නොකළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. මේ ගැන කොමිසම කල්පනා කළ යුතුව තිබෙනවා. ඒ නිසා වහාම ඉක්මන් දිනයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලනවා.

දෙවන කරුණ ලෙස, මේ වන විටත් ඡන්දය සඳහා විශාල මුදලක් වියදම් කර තිබෙනවා. මැතිවරණ කොමිසමත්, දේශපාලන පක්ෂත් මුදල් වියදම් කොට තිබෙනවා. රජයේ මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියා කිසියම් ප්‍රමාණයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙන බව. රටේ මුදල් නොමැති ප්‍රශ්නයක් ගැන කතිකාවක් වර්තමානයේ තිබෙනවා. එවන් තත්වයකදී ආණ්ඩුවක් කටයුතු කළ යුතු වන්නේ මුදල් නාස්ති වෙන ආකාරයට නොවෙයි. ඡන්දය පැවැත්වෙන දිනය තවදුරටත් ඈතට යාමෙන් වියදම් වන මුදල් ප්‍රමාණය තවදුරටත් වැඩිවෙනවා. කාලය දීර්ඝ වුවහොත් මැතිවරණ දෙපාර්තමේන්තුවට යන වියදම් වැඩිවෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂවලටත් යන වියදම වැඩිවෙනවා.

මේ මැතිවරණය පවත්වන්නේ අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ පනත සක්‍රීය වුණු අවස්ථාවක. කොමිසම විසින් හඳුන්වා දුන් නිර්ණායක අනුව එක් අපේක්ෂකයෙක් එක ඡන්ද දායකයෙකුට වියදම් කළ යුත්තේ රුපියල් 20/-ක් ලෙසට. ඡන්දය සඳහා කාලය දික් වෙන්න දික් වෙන්න, අපේක්ෂකයන්ගේ වියදම් වැඩිවෙනවා. ඒ නිසා අපේක්ෂකයෝ අර්බුදයට පත්වෙනවා. දැනටමත් වියදම් කොට තිබෙනවා. ඒ නිසාත් ඉතා කෙටි කාලයකින් ඡන්දය පැවැත්වීමට දිනයක් ලබාදීමට කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

මේ මැතිවරණයට ගුරුවරු ඇතුළු වෙනත් රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් තරග වදිනවා. මැතිවරණ නීතියට අනුව රාජ්‍ය සේවකයන් තරග වදිනකොට තමන්ගේ සේවා ස්ථානයේ ප්‍රධානියාට ලිඛිතව දැනුම් දී, වැටුප් රහිත නිවාඩු ලබාගත යුතුයි. මේ මැතිවරණයට තරග වදින හැම අපේක්ෂකයෙක් වන රාජ්‍ය සේවකයෙක්ම වැටුප් රහිත නිවාඩු ලබා ඉන්නේ. මාසයක් වත් වැටුප් රහිතව ගත කිරීම ඉතාම අපහසුයි. දිගුකාලීනව වැටුප් රහිතව ජීවත්වීම ඉතාම අපහසු කාර්යයක්. මේ කරුණු සියල්ලම ගත් විට ඉතාම පැහැදිලියි, වැඩි කාලයක් ගතවීම තුළ සියලුම ක්ෂේත්‍රවල ගැටලු සහගත තත්වයක් පැනනැගෙන බව. ඒ අනුව දැන් තිබෙන එකම විසඳුම විය යුත්තේ මැතිවරණ කොමිසම, තමන්ට හැකි ළඟම දිනය ලබාදීම. කොමිසමේ කටයුතු පිළිබඳව සමාජය තුළ කිසියම් දෙගිඩියාවක් තිබෙනවා. කොමිසම, ආණ්ඩුවට මේ කටයුතු ප්‍රමාද කිරීමට අවශ්‍ය ඉඩකඩ දෙමින්ද කටයුතු කරන්නේ කියන සැකය ජනතාව තුළ මතුවෙලා තිබෙනවා. ඒක එහෙම නොවෙයි කියන එක ඔප්පු කර ගැනීමට තිබෙන හොඳම අවස්ථාව තමයි මේ.

ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක ඉන්නවා නම් ඡන්දය පවත්වන්නේ නැහැ කියා, ජනාධිපතිවරයාගේ සමීපතමයෝ ප්‍රසිද්ධියේ ජනමාධ්‍යවලට ප්‍රකාශ කරනවා නම්, ඡන්දයක් නැහැයි කියා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා “ඡන්දෙ කල්දාලත් නැහැ, කල් දාන්න ඡන්දයක් නැහැ” යි කියා. මේකෙන් පේනවා ජනාධිපතිවරයා රටේ ජන මතයත් එක්ක, පරමාධිපත්‍ය බලයත් සමග සෙල්ලම් කරමින් ඉන්නවා කියන එක. ව්‍යවස්ථාව කඩාදමා, නීති කඩාදමා, නිලධාරීන්ට බලපෑම් කර, ඡන්දෙ කල්දමන්න උත්සාහ කළා. මේ ඡන්දෙ කල්දමන්න උත්සාහ කරන්නේ සාධාරණ හේතුවක් නිසා නොවෙයි, දේශපාලන හේතුවක් මතයි.

දේශපාලන හේතුව තමයි, ඔහුගේ කඳවුර පරාජයට පත්වෙලා, ජාතික ජන බලවේගය පෙරට එමින් තිබීම. ජේ.වී.පී.ය මතු වෙමින් එන එක වැළැක්වීමට, මැතිවරණය වළක්වන ලෙසට විපක්ෂයෙනුත් ඉල්ලා සිටි බවට ප්‍රකාශයක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළා. ඡන්දයෙන් විපක්ෂය බලයට ඒම වැළැක්වීමට ඡන්දය නොපවත් වන්නේ නම්, මේ රටේ මින් පසුවට නිර්මාණය වන්නේ ඒකාධිපති පාලනයක්. මින් පසුවට ඡන්ද නැහැ. ජනාධිපතිවරයා දේශපාලන හේතුවක් මත ඡන්දය තියන්නේ නැතිව ඉන්නවා නම්, කොමිසම ජනාධිපතිවරයාට තව කුමන්ත්‍රණ කිරීමට අවස්ථාව ලබාදිය යුතු නැහැ. කොමිසමට ඡන්දය පැවැත්වීමට වුවමනාවත් තිබුණා වගේම, ඒ සඳහා ක්‍රියාමාර්ග ගනිමිනුත් සිටියා. ජනාධිපතිවරයා මැදිහත් වීමෙන් ඡන්දය පැවැත්වීම වැළැක්වීමට බාධා පමුණුවමින් සිටියා. දැන් ඒ සියලුම බාධා ඉවත් වෙලා තිබෙනවා. දැන් දීර්ඝ නොවන ළඟම දිනයක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

පළාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු 20න් අවසන් වෙනවා. නැවතත් දීර්ඝ කරන්න බැහැ. මාර්තු 20න් පස්සෙ මන්ත්‍රීවරු නැහැ. සභාපතිවරු නැහැ. මහජන නියෝජිතයන් ඉන්න පළාත් පාලන ආයතනයක් නැති වෙනවා. දැනටමත් පළාත් සභා නැහැ. මහජන නියෝජිතයන් විසින් තීන්දු ගන්න එකම ආයතනය වුණේ පළාත් පාලන ආයතන. එය නැතිවුණොත් මහජන නියෝජිතයන් ඉන්න එකම ආයතනය වන්නේ පාර්ලිමේන්තුව පමණයි. ඒ තත්වය උතුරේ ජනතාවට විශේෂයෙන් බලපාන්න පුළුවන්කම තිබෙනවා. අනාගතයට වෙනත් බරපතළ ගැටලු මතුවීමේ ඉඩකඩ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ ඡන්ද අයිතිය, පරමාධිපත්‍යයේ බලය, ඡන්ද පවත්වාගෙන යාමේ සම්ප්‍රදායන් යන මේ සියල්ල සලකා බලා ලබාදිය හැකි කිට්ටුම දිනය ලබාදෙන්න කියන බලපෑම මේ මොහොතේ අපි කරනවා. අපි එය අවධාරණය කරනවා.”

පීඩාවට පත් ජනතාවට පළාත් පාලන ඡන්දය අලුත් බලපොරොත්තුවක් ඇති කරාවි
ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

“මැතිවරණය පැවැත්වීම සඳහා ඉතා කිට්ටු දිනයක් ලබාදෙන ලෙස අපි මැතිවරණ කොමිසමට, ලිඛිතවම දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂත් මැතිවරණ කොමිසමෙන් මේ ඉල්ලීම කර තිබුණා.

වසරක පමණ කාලයක සිට මේ රටේ ජනතාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබුණා. බඩු මිල, ඖෂධ මිල ඉහළ යාමත්, ඖෂධ හිඟයක් ඇතිවීමත්, අධ්‍යාපනය සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය ලබාදීමේ නොහැකියාව මත, අධ්‍යාපනය කඩා වැටීමත් සිදුවුණා. මේ ආණ්ඩුව වෘත්තිකයන්ට අසාධාරණ ලෙස බදුබර පනවලා බරපතළ අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා. ඒකට වෘත්තිකයන් රට පුරාම විරෝධතාවය දක්වමින් ඉන්නවා. විදුලි බිල ඉහළ දමා තවත් බරක් ජනතාව මත පටවා තිබෙනවා.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට තිබූ බාධක දැන් අවසන් වී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ දෙන ලද තීන්දුවට හිස නමා, මැතිවරණය සඳහා ඉතාම ළඟ දිනයක් ප්‍රකාශ කිරීම තමයි මැතිවරණ කොමිසමේ වගකීම. ඒ නිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන සියලුම දෙනාත්, ජාතික ජන බලවේගය විදිහටත් අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ළඟම දිනයක් මැතිවරණය පවත්වන දිනය ලෙසට ප්‍රකාශ කරනු ඇතැයි කියලා.

ඒ එක්කම බරපතළ ආර්ථික ප්‍රශ්නකට රට මුහුණ දෙමින් සිටිනවා. බදුබර වැඩි වීමත්, ආර්ථිකය කඩා වැටීමත් නිසා බුද්ධි ගලනය විශාල ලෙස සිදුවෙමින් තිබෙනවා. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ වැනි වෘත්තිකමය දැනුම තිබෙන පුද්ගලයන් මේ වෙලාවේ රට හැර යනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව නොයෙකුත් පරීක්ෂණ කරන්න බැරි තත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මේ තත්වය වළක්වා ගන්නටත්, දැඩි අවිනිශ්චිතතාවය ඉවත් කර ගන්නටත්, මේ පළාත් පාලන මැතිවරණය ලබාදීම ඉතා වැදගත් වෙනවා. ආර්ථිකමය වශයෙන්, දේශපාලනමය වශයෙන්, සෑම පැත්තකින්ම පීඩාවට පත්ව සිටින ජනතාවට විශාල සහනයක් වගේම අලුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. රටේ තවමත් ප්‍රජාතන්ත්‍රවාදය පවතින බවට ජනතාව තුළ විශ්වාසයක් ඇතිවෙනවා. ඒ නිසාම අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා, කල්දමා තිබෙන මැතිවරණය සඳහා ඉතා කිට්ටු දිනයක් ලබාදී ජනතාවට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිචචි කරන්න අවස්ථාව ලබාදෙන්න කියා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *