සම්බාධක රුසියාවට බලපෑමක් නොවන ලකුණු
මේ වනවිට රුසියානු – යුක්රේන යුද්ධය තීරණාත්මක අවධියකට පත් වෙමින් පවතී. මාර්තු 11 දිනය වනවිට යුක්රේනයේ බක්මුට් නගරයට ඇතුළු වීමට රුසියානු හමුදා සමත් වී තිබිණි. නැගෙනහිර යුධ පෙරමුණේ මෙම නව වර්ධනයත් සමග කැනඩාව රුසියාවෙන් ඇළුමිනියම් හා වානේ ආනයනය නතර කර දමන ලදී. ඒ අතර ප්‍රංශය තවදුරටත් රුසියාවෙන් යුරේනියම් මිලදී ගන්නා බවත් පසුගිය වසර තුළ එම මිලදී ගැනීම් තුන්ගුණයකින් ඉහළ නංවා ඇති බවට ග්‍රීන් පීස් සංවිධානය චෝදනා කරනු ලැබිය. රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක විහිළුවක් බවට පත් වනවිට අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නවතම වාර්තාවක් මගින් පවසනුයේ රුසියාවේ ආර්ථික වර්ධනය ඉහළ ප්‍රතිශතයක් 2023 – 2024 වර්ෂයේදී වාර්තා කරන බවය.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග නේටෝ ප්‍රමුඛ මිත්‍ර රටවල් මේ දක්වා සම්බාධක ක්‍රියාමාර්ග 9ක් මගින් රුසියාවට එරෙහිව තහංචි පනවා ඇත. එමගින් ඇමරිකාව හා එක්සත් යුරෝපය අපේක්ෂා කරනු ලැබුවේ රුසියාවේ ඉක්මන් ආර්ථික, දේශපාලන හා මිලිටරි කඩා වැටීමක් වන නමුත් ජනවාරි අවසානයේදී අන්තර් ජාතික මුල්‍ය අරමුදල විසින් නිකුත් කළ නවතම වාර්තාව මගින් පෙන්වා දෙනු ලැබුවේ රුසියාව විසින් ආර්ථික අවපාතය -2.2% දක්වා අඩුකර ගැනීමට සමත් වී ඇති බවය. එම ප්‍රතිශතය බටහිර සම්බාධක මගින් -8.5%ක් දක්වා වනු ඇතැයි බටහිර බලවතුන් බලාපොරොත්තු වුවද මුල්‍ය අරමුදල් වාර්තාවට අනුව පුටින් පාලනය එම තත්වය මග හරවා ගනිමින් එරට ආර්ථික වර්ධන වේගයද 2024 වර්ෂයේදී 2.1% දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වී ඇත. එම වර්තාවටම අනුව 2024දී යුරෝපා සංගමයේ එම අගය 1.6%ක් ලෙස වාර්තා වේ.
මුල්‍ය අරමුදලේ වාර්තාව විසින් තව දුරටත් පවසා සිටිනුයේ රුසියාව මෙම ආර්ථික වර්ධනය ලබනුයේ එරට මධ්‍යම බැංකුව විසින් යුධ ගැටුමත් සමග ඇතිවූ ආර්ථික අවපාතය හා උද්ධමනය අවම කර ගැනීම සඳහා 2014 වර්ෂයේ සිට ගනු ලැබූ ක්‍රියා මාර්ග මගින් රූබලය ඩොලරය හමුවේ ස්ථාවර බවට පත්කර ගැනීම තුළින් බවයි. විශේෂයෙන් යුක්රේන ආක්‍රමණයට පෙර තම ඩොලර් සංචිත අවම කර ගනිමින් එරට රත්‍රං සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 660ක් දක්වා වර්ධනය කර ගනු ලැබීම මෙම වර්ධනයට තවත් හේතුවක් ලෙස පෙන්වා දෙයි. එසේම ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළ යාමත් සමග තම තෙල් හා ගෑස් විකිණීම චීනය හා ඉන්දියාව හරහා ලෝක වෙළඳපලට යැවීම මගින් ඩොලර් බිලියන 158ක් උපයා ගැනීමටද රුසියාව සමත් වී ඇත. ආර්ථික ආරක්ෂණවාදයකට ගමන් කරමින් නිමි ඇඳුම් නිෂ්පාදනය, ආහාර, තම රට තුළම නිපදවා ගැනීමටද, තිරිඟු අපනයනය මගින්ද විශාල ආදායමක් ලබා ගැනීමට රුසියාව 2014 වර්ෂයේ ක්‍රිමේ දුපත ආක්‍රමණයේ සිටම සමත් වී ඇත.
දේශීය නිෂ්පාදන නංවා ගැනීමට රුසියාවට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයනු ලබනුයේ චීනය, ඉන්දියාව හා තුර්කිය විසිනි. මිත්‍ර රටවලින් ලබා ගනු ලබන මෙම උපකාර මත රුසියාව තම උද්ධමනය 5.9%ක් දක්වා අඩුකර ගැනීමට සමත් වනුයේ එම අගය පිළිවෙලින් යුරෝපා සංගමය තුළ 6.4%ක් ලෙස හා ඇමරිකාව තුල 6.5%ලෙස වාර්තා කරන තත්වයක් තුළ මෙන්ම එම රටවල දැවැන්ත කම්කරු සටන්ද ඇතිවන වාතාවරණයක් තුළය. පසුගිය සති අන්තයේ ප්‍රංශයේ මිලියනයක ජනතාවක් නැවත වරක් පැරීසිය ආක්‍රමණය කරනු ලැබුවේ ජිවන වියදමට හා විශ්‍රාම වැටුප් ලබා ගන්නා වයස ඉහළ දැමීමට එරෙහිව එරට මක්රෝන් රජයට විරෝධය පෑමටය.
රුසියාවේ ජාතික ණය ප්‍රතිශතය එරට දල ජාතික නිෂ්පාදනයෙන් 20%ක් පමණ වන අතර එය ප්‍රංශයේ 140%ක් ලෙස සඳහන් වේ. ඇමරිකාවේ එම ප්‍රතිශතය 121%ක් වේ. කෙසේවෙතත් මෙම තත්වය හමුවේ ප්‍රංශ මුදල් ඇමතිවරයා රොයිටර් පුවත් සේවයට පවසා සිටියේ අන්තර් ජාතික මුල්‍ය අරමුදල යුක්රේනයට සහය දිය යුතු බවත් රුසියාව ආර්ථිකව බිඳ දැමීමට යුරෝපා සංගමය යුක්රේනයට අවි මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 18ක් ලබා දී ඇති අතර ඇමරිකාව ඩොලර් බිලියන 8.5ක් ලබා දී ඇති බවයි. මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් රුසියානු අගමැති දිමිත්‍රි මෙද්විඩෙව් පවසා සිටියේ ප්‍රංශ ඇමතිවරයා රුසියාව බිඳ දැමීම පිළිබඳව කතා කිරීමේදී පරිස්සම් විය යුතු බවත් අතීතයේදී මෙවැනි ආර්ථික යුද්ධ ප්‍රකාශන අවසන් වුයේ සැබෑ යුද්ධ මගින් බවත් සිහිකර ගත යුතු බවටද බටහිරට අනතුරු හඟවමිනි.
@Lanka Truth