වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට සුදුසු ‘රජයේ රෝහල් හඳුනාගැනීමට’ කමිටුවක් පත් කෙරේ
රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා කමිටුවක් පත් කර තිබේ.
එහි සභාපතිත්වය සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය දරණ අතර එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ආර්. එම් සමන් කුසුම්සිරි රත්නායක මහතා,සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( වෛද්‍ය සේවා) වෛද්‍ය ඒ. කේ. එස් ද අල්විස් මහතා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය භවන්ත ගමගේ මහතා, විකලාංග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ මහතා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නාමල් විජේසිංහ මහතා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන මහතා,කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විධායක අධ්යක්ෂ මහාචාර්ය ජේ. බලවර්ධනමහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්යක්ෂ ( වෛද්‍ය සේවා) ආර්. එල් . එස් සමන්මලී යන පිරිසයි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදා ගැනීමට සුදුසු රජයේ රෝහල්, අධ්‍යයනය කිරීම, සමාලෝචනය කිරීම , හඳුනා ගැනීම සහ සායනික පුහුණුව ලබා දීම ට ඇති හැකියාව මෙම කමිටුව මඟින් සොයා බැලීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සදහන් වේ.
ඒ අනුව හඳුනා ගනු ලබන රෝහල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ යුතු අතර සති අටක (08) කාලයක් ඇතුළත කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් මෙම කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා.