Latestදේශීයමතවාද

බොරළුගොඩ සිංහයා

පිලිප් ගුණවර්ධනයන්ගේ 51 වන ගුණ සමරුව යෙදෙන මේ මොහොතේ ඔහුගේ චින්තනය සහ භාවිතාව පිළිබඳ ගැඹුරට සොයාබැලීම වැදගත්ය. එහෙත් එය වඩාත් පුළුල් වූ  මාතෘකාවක් නිසා, එක්තරා විශේෂිත පැත්තක් පිළිබඳ හැකි පමණින් අවධානය යොමුකර සාකච්ඡාවක් ඇතිකර ගත හැකිය. ඔහු අන්තර්ජාතිකව ගොඩනැගූ පෞරුෂය සහ දූර දර්ශනය ශ්‍රී ලංකාවට අද දක්වා අත්කර දී ඇත්තේ කුමන ස්ථානයක්ද ?

1956 මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බිහි කිරීමේ සැබෑ නායකයා පිලිප් බව අපැහැදිලි නැත. එහිදී ඉතා වැදගත් සිදුවීමක් වූයේ මෙතෙක් ශ්‍රී ලංකාව අනුගමනය කළ අසමබර වූ විදේශ ප්‍රතිපත්තිය, එම ආණ්ඩුව උඩු යටිකුරු කිරීමය.  ශ්‍රී ලංකාව, චීනය සහ සෝවියට් රුසියාව සමග පළමු වරට රාජතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගත්තේ 1957දීය. එහෙත් එය අහම්බයක් නොවුනා පමණක් නොව, බොහෝ දෙනෙකු සිතා සිටි කරුණක්ද නොවිය. ඒ වනවිට ලෝක දේශපාලනයේ සිදුවූ මහා වෙනස්කම් අවබෝධ කරගෙන සිටි පිලිප් ගුණවර්ධනයන් ඒ පිළිබඳ පෙරමුණ ගත් බව රහසක් විය නොහැක.

ඒ සමග ම බල්ගේරියාව, චෙකොස්ලොවැකියාව, ඊජිප්තුව, හංගේරියාව, නැගෙනහිර ජර්මනිය, රුමේනියාව ආදී රාජ්‍යයන් සමඟ වෙළඳ ගිවිසුම්වලටද එළඹි අතර  එයින් ලද ආර්ථික හා තාක්ෂණික ආධාර මිල කළ නොහැකි විය. වේයන්ගොඩ පෙහෙකම්හල, මට්ටක්කුලිය පාවහන් කම්හල, කන්තලේ සීනි කම්හල, උඩවලව උළු කම්හල හා විදුලි යෝජනා ක්‍රමයට ප්‍රාග්ධනය වශයෙන් රුපියල් මිලියනගණනාවක මුදලක් හිමි වූවේ එම වෙළඳ ගිවිසුම්වල ප්‍රතිපලයන් ලෙසිනි. මෙමගින් එතෙක් පැවැති  විදේශ ප්‍රතිපත්තිය දෙපයින් සිටුවනු ලැබීය. ඒ, මහජන එක්සත් පෙරමුණේ ගාමක බලවේග ලෙස කටයුතු කළ පිලිප් ගුණවර්ධනයන් ඇතුළු කණ්ඩායමේ සෘජු බලපෑමෙන් සහ දුර දැක්මෙනි. පවතින තත්ත්වයට හා අවශ්‍යතාවයට ගැළපෙන සේ සිය දැක්ම මෙහෙයවා ගැනීමට තරම් නිර්මාණශීලී වූ පළමු වාමාංශික නායකයාද තමන් බව ඔහු එහිදී ඔප්පු කළේය. ඔහුගේ   විද්‍යාත්මක සමාජවාදය, ජාත්‍යන්තරවාදය; ජාතික සංස්කෘතික උරුමය ඔස්සේ දිව යන්නක් බවද බෞද්ධ දර්ශනයටද සමාන්තර වන්නක්  බවද, මැද මාවත පිළිවෙතින් ඔහු පෙන්වූයේ දැවැන්ත දේශපාලන නායකත්වයක නොමැකෙන සලකුණු තබමින්ය.

ඊට අදාළ 1956ට ආසන්නත ම පසුබිම් කතාවක් තිබෙන්නේය.

මෙරට සමාජවාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධනයන් මෙන්ම එස් ඩී බණ්ඩාරනායක, එන් ශන්මුගදාසන්, එච් ජී එස් රත්නවීර ඇතුළු පිරිසක් , ආණ්ඩු වෙනසට පෙර 1951 දී චීනය වෙත ගියේ චීන විප්ලවයෙන් පසු එරටට ගිය පළමු ශ්‍රී ලංකේය කණ්ඩායම ලෙසය. ඒ සමග ම සිහිපත් කළ යුතු වැදගත් කරුණක් වන්නේ, පිලිප්ගේ බිරිඳ අවිස්සාවේල්ලේ මන්ත්‍රීවරිය කුසුමා ගුණවර්ධන ලංකා – චින මිත්‍රත්ව සංගමය සංගමය 1950 දි ආරම්භ කිරීමය. 1952 දී පිලිප් ඇතුළු පිරිස සෝවියට් රුසියාවේද සංචාරය කරමින්, රුසියාව සමග සබඳතාද ගොඩනගා ගත්හ. මේ කරුණු අනුව වුවද පෙනී යන්නේ ශක්තිමත් මැද මාවතේ විදෙස් පිළිවෙතක් වෙත ශ්‍රී ලංකාව මාරු කිරීමේ ඓතිහාසික අවස්ථාවයි. එය අද දක්වාම ශ්‍රී ලංකාවට කොතරම් සහනශීලී වී ඇද්ද ? වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ජයගැනීම ගැනීම උදෙසා දක්ෂිණාංශික රටවලින් මෙන්ම වාමාංශික රටවලින්ද ලැබෙන උදව් උපකාර උදෙසා පදනම, පිලිප්ගේ දූර දර්ශනය තුළ පැහැදිලිව සටහන්ව තිබෙන්නේය.

පිලිප් ගුණවර්ධනයන් විදේශ අධ්‍යාපනය ලබන කාල වකවානුවේ සිට ම ලෝක දේශපාලනය වගේම අධිරාජ්‍ය විරෝධී දේශපාලන සම්බන්ධයෙන් හොඳ චින්තනයකින් යුක්ත වුවා සේම හොඳ භාවිතාවකින් යුක්ත වුයේය.  ඇමරිකාවේදී අධ්‍යාපනයෙන් , පසුව 1928 දී එංගලන්තයට පැමිණි ඔහු, බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂය සමග මෙන්ම එහි සිටි යටත් විජිත රටවල තරුණයන් සමග ඇතිකරගත් සබඳතා දිගු ගමනක මුල විය. එංගලන්තයේ හයිඩ් පාක් හි කළ කතා, ඔහුට ආසියාවේ සිංහයා නම පටබැඳීමට හේතුවූවා යැයි කිම නිවැරදිය. එහිදී ඔහු ඉන්දීය නිදහස් ව්‍යාපාර සංගමයේ සහ අධිරාජ්‍ය විරෝධී සංගමයේ ක්‍රියාකාරී විය. ඔහු ලන්ඩනයේ සිටියදී විප්ලවකාරී බුරුම සිසුන් සමගද සබඳකම් පැවැත්විය. එහි සිටි ප්‍රගතිශීලි ලංකේය ශිෂ්‍යන්ගේ මාර්ගෝපදේශකයා වුයේද පිලිප්ය. එක අවස්ථාවකදී ලන්ඩන් නුවර ජනතා පෙළපාලියකදී පිලිප්ගේ ඡායාරුපයක් ඔසොවාගෙන යනු ලැබිය. ඔහු ප්‍රංශයේ විරුද්ධ පක්ෂ සමග සබඳතා ගොඩනගා ගත්තා පමණක් නොව, ස්පාඤ්ඤ බලා අතිශය දුෂ්කර ගමනක යෙදුනේය. පිරනිස් කඳුවැටිය තරණය කර එහි ට්‍රොස්කිවාදින් මුණ ගැසීමට බාසිලොනාවට පැමිණි එම ගමන ජීවිතය පරදුවට තැබුවක් විය. ඉංග්‍රීසි පමණක් නොව ප්‍රංශ, ස්පාඤ්ඤ ආදී අන්තර්ජාතික භාෂා කිහිපයක් දැනසිටීම, මේ ජාත්‍යන්තරවාදී භාවිතාවේදී  ඔහුට ඉමහත් වාසිවක් වූයේය.

රුසියානු විප්ලවයේ න්‍යායාචාර්ය ලෙස සැලකෙන ලියොන් ට්‍රොස්කි ඇසුර පමණක් නොව, යටත්විජිත විරෝධී නායකයන් ලෙස කරළියට පැමිණි ජවහර්ලාල් නේරු (ඉන්දියාව) ක්‍රිෂ්ණ මෙනන් (ඉන්දියාව) ජෝමෝ කෙන්යාටා (කෙන්යාව) ටැං මලකා (ඉන්දුනීසියාව) එස්.රාමගුලාම් (මුරුසිය) වැනි ආසියා – අප්‍රිකා නායකයන් සමඟ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් ඔහු සතු වුයේය. ජාත්‍යන්තර සබඳතා මතින් ශක්තිමත්වූ තරුණ පිලිප් ගුණවර්ධනයන් ඉන්දියාවේ බෙන්ගල් හි පැවති රාම් ගුලාම් සමුළුවේදී ජෙනරාල් අවුන්සාන්, පටෙල් බෙන්ගල් , රාම් ගුලාම්, ජය ප්‍රකාශ් නාරායනන්, ක්‍රිෂ්ණ මෙනන්, ජවහල් ලාල් නේරු වැනි නායකයන් එක ම කුඩාරමකට කැඳවා එක් න්‍යාය පත්‍රයකට නිදහස දිනාගැනීමට කටයුතු කළ යුතු බවට යෝජනා කළ, නායකයා ලෙසද ඉතිහාසයට එක්වී ඇත. එයින් පෙනෙන්නේ පිලිප් ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් කීපයකම වෘත්තීය සමිති සහ වාමාංශික දේශපාලන සංවිධාන සමඟ ක්‍රියාත්මක වූවා පමණක් නොව, ඉන් අනතුරුව ඉන්දියාවේ නිදහස් අරගලයට ද සක්‍රීය ලෙස දායක වූ දේශපාලන ක්‍රියාකාරිකයකුද බවය. රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ වැඩියෙන් ම ක්‍රියාකාරී වූ ශ්‍රී ලංකා දේශපාලන නායකයා පිලිප්ය.

.කෘෂිකර්ම, කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා ලෙස පිලිප් දේශීයත්වය වෙනුවෙන් කළ සේවය උදෙසා මේ ජාත්‍යන්තර සබඳතා බොහෝ සේ ඉවහල් විය. ටයර් සහ වානේ මෙන්ම තුනී ලෑලි සංස්ථාව වැඩි දියුණු කළ අතර ධීවර සංස්ථාවද දියුණුවට පත් කිරීමටද  කිරි මණ්ඩලය විවෘත කරමින්, පළමු වතාවට කල්තබා ගෙන පානය කළ හැකි කිරි බෝතල් හඳුන්වා දීමටද  හැකිවුයේ  ඒ හේතුවෙනි.

මැද මාවතේ නොබැඳි විදෙස් පිළිවෙත, මෙරට ජාතික දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක නිරතවෙමින්, ජාත්‍යන්තරවාදියෙකු ලෙස පිලිප් ජාතියට එක් කළ ප්‍රායෝගික දායාදයකි.

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *