“පළමු පෙම්වතා” සහ “සඳ කැලුම් ගලන පාර”
සනත් නන්දසිරිගේ අභාවය නිමිති කරගෙන අප්‍රේල් මස දෙවෙනි ඉරිදා දිවයින පුවත්පත තබා තිබූ කතුවැකිය කෙරෙහි විශේෂ අවදානයක් යොමු කළ යුතු මට්ටමේ පළව තිබූ එකම සටහන ලෙස සැලකිය හැකිය. එැබැවින් එය සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහත දැක්වේ.
ඉරා අඳුරු පට පෙරදිග අහසේ (1942 – 2023)
ක්‍රි. පූ. 200 සහ ක්‍රි. ව. 200 අතර ගතවුණු අවුරුදු 400 ක කාලය අතරතුර කිසියම් වකවානුවක භරතමුණි නමැති ප්‍රඥා සම්පන්න මිනිහෙක් ඉන්දියාවේ පහළ විය. සංස්කෘත භාෂාවෙන් වැඩකළ හෙතෙම අර්ථ නිරූපණය කරන පරිදි සංගීතය යනු නර්තනය, වාදනය සහ ගායනය යන කොටස් තුනේ සමස්ත එකතුවකි. ඔහු තවදුරටත් පෙන්වාදෙන පරිදි නර්තනය හා වාදනය නොමැතිව වුවද ගායනය රසවිඳිය හැකිය. මේ නියමය විශේෂයෙන්ම හින්දුස්ථාන් රාගධාරී සංගීතයට අනන්‍ය වූවකි. එම සංගීත ක්‍රමය යටතේ නිර්මාණය කරන ගීත කිසිදු වාදන භාණ්ඩයක සහය නොලබා ගායනය කළද රසවිඳිය හැකිය. ඩබ්ලිව්.ඩී අමරදේව, ලතා වල්පොල, නන්දා මාලිනි, ඇන්ජලින් ගුණතිලක, එච්.ආර්. ජෝතිපාල, ප්‍රියා සූරියසේන, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි ඇතුළු මේ රටේ සිටින ගායක.
ගායිකාවන් රැසකට වාදන භාණ්ඩ නැතිව කදිමට ගීත කීමේ හැකියාව ලැබී තිබේ. සංගීතය යනු තනිකරම ප්‍රාතිහාර්යයකි. එම ප්‍රාතිහාර්යය මනස හා කය එකමුතු කරගෙන දක්වන ප්‍රාතිහාර්යයක් බව කිවමනාය. නැසීගිය සංගීත් නිපුන් සනත් නන්දසිරි මෙකී පෙළහර ඉහළින්ම පෑ කෙනෙකි. එසේම ඔහු නූතන සංගීත පුනරුදයේ සමාරම්භකයෙක්ද වෙයි. 1950 සහ 1960 යන වකවානුව තුළ ප්‍රංශ සිනමාවේ විප්ලවයක් ඇතිවිය. මෙය ප්‍රංශ නව රැල්ල ලෙස හඳුන්වනු ලැබේ. එතෙක් කල් වේදිකා නාට්‍ය හා සමාන චිත්‍රපට සාදමින් සිටි ප්‍රංශ සිනමා අධ්‍යක්ෂවරු කැමරාවද රැගෙන ස්ටුඩියෝවෙන් පිටතට පැමිණ මහපාර දිගේ ඇවිද ගොස් යථාර්ථවාදී වීථි සිනමාවක් නිර්මාණය කළහ. ෂෝන් ලුක් ගොඩාඩ්, ඇලන් රෙස්නේ යන දෙදෙනාගේ මූලිකත්වයෙන් ඇරඹි මේ නව සිනමා සන්දර්භය ඉදිරි අවුරුදු කිහිපය තුළ බටහිර ලෝකය පුරා පැතිර ගොස් ලංකාවට සම්ප්‍රාප්ත විය. රොමාන් පොලාන්ස්කි, ස්ටැන්ලි කුබ්‍රික්, අන්ද්රෝ වයිඩා යනාදීහු බටහිරදී ප්‍රංශ නවරැල්ල දැඩිව වැළඳගත් අතර ලංකාවේ සිටි ධර්මසේන පතිරාජ, සුගතපාල සෙනරත් යාපා, ධර්මසිරි බණ්ඩාරනායක යනාදීහු එහි ආසියාතික අනුප්‍රාප්තිකයෝ වූහ. මේ අතර ධර්මසේන පතිරාජ අහස්ගව්ව යන නමින් චිත්‍රපටයක් කළේය. එය පසුගිය සහශ්‍රයේදී මේ රටේ නිර්මාණය කරන ලද ඉතාම අග්‍රගණ්‍ය චිත්‍රපට කිහිපයෙන් එකකි. සනත් නන්දසිරි මේ චිත්‍රපටය සඳහා ගායනා කළ ඉරා අඳුරු පට පෙරදිග අහසේ නමැති ගීතය ඒ යුගයේදී බෙහෙවින් ජනප්‍රිය විය. මේ කියන කාලයේදී මේ රටේ ටී.වී.නැත. එබැවින් “නන්දන වින්දන” තිබුණේද නැත. එකල එෆ්. එම්. චැනල් ද නැත. එබැවින් non stop ගීතද නැත. පුද්ගලික TV Station ද නැත. super star ද නැත.
ලංකාව ගැමි රාජ්‍යයක්ව තිබූ එසමයෙහි රටේ ප්‍රමුඛ සන්නිවේදකයන් වූයේ ගුවන්විදුලි සංස්ථාව සහ පුවත්පත්ය. පිබිදෙන ගායක පරපුර නමැති ගීත ගායනා වැඩසටහනක් ගුවන්විදුලියෙහි තිබිණ. කලාවට අදාළ සියලු විස්තර පුවත්පත්වල තිබිණ. සනත් නන්දසිරි නමැති ශිල්පියාගේ ගායන වපසරිය ගැන මේ රටේ ජනයා මුලින්ම දැනගන්නේ ගුවන්විදුලියේ සරල ගීත වැඩසටහන් වලිනි. ප්‍රංශ නව රැල්ලේ ලංකා පුත්‍රයකු වූ ධර්මසේන පතිරාජගේ ‘අහස්ගව්ව’ චිත්‍රපටයට ඔහු ගැයූ ඉරා අඳුරු පට ගීතයත් සමගම සාම්ප්‍රදායික නොවන සංගීත ලෝලීහු ඔහු ගැන විපරම් කරන්නට පටන් ගත්හ. එකල සාම්ප්‍රදායික නොවන සංගීත ලෝලීන් වැඩිදෙනා ඉංග්‍රීසි ගීත රසිකයෝ වූහ. ධර්මසේන පතිරාජ ප්‍රංශ නවරැල්ල අනුකරණය කරන බවක් හෝ හදාරන බවක් ආරංචි වූ නිසා ඔවුහු ‘අහස්ගව්ව’ බැලූහ. එවිට ඔවුන්ට සනත් නන්දසිරි අසුවිය. ‘අහස්ගව්ව’ චිත්‍රපටයේ පසුබිම් සංගීත ශිල්පියාද අමුතුම භාණ්ඩයකි. ඔහුගේ නම ප්‍රේමසිරි කේමදාසය. ඔහු පනාවෙන් සහ යෝගට් හැන්දෙන් පවා සංගීතය නිර්මාණය කළේය.
සනත් නන්දසිරි යනු තමන් අවට සිටි අලුතින් හිතන ගීත රචකයන්, සංගීතඥයන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතරේ හැදුනු වැඩුණු කෙනෙකි. මේ නිසා ඔහුගේ ශාස්ත්‍රාලයීය සංගීත දැනුමට මහ පාරේ සංගීත දැනුමද එකතු විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව ගැමි රාජ්‍යයක්ව පැවතියදී ඔහු වටා එකතු වූ ජනප්‍රියත්වය ශ්‍රී ලංකාව ගෝලීයකරණයට හසුවූ විවෘත රාජ්‍යයක්ව පවතිද්දීත් එසේම තිබිණ. ලෝකය හතරවන කාර්මික විප්ලවයට සැරසෙන මේ අවස්ථාවේදීත් ඔහුගේ ජනප්‍රියත්වය එසේමය. ඔහුගේ මරණින් පසුද මේ ජනප්‍රියත්වය එසේම පවතිනවා ඇත.
මේ රටේ සරල සංගීතයට සහ ශාස්ත්‍රීය සංගීතයට සනත් නන්දසිරි ලබාදුන් දායකත්වය ඉතා ඉහළය. එය පර්යේෂකයන් විසින් අධ්‍යයනය කළ යුතු මට්ටමේ දායකත්වයකි. ඔහුගේ වඩාත් ජනප්‍රිය ගීත පවා රාගධාරී සංගීතය පදනම් කරගත් දේශීය උප්පැන්නයක් සහිත නිර්මාණ විය. ඔහු එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගයේදී ගායනා කළ ඇතැම් ගීත වඩාත් බොලඳ ප්‍රේමාලාප ලෙස අර්ථ නිරූපණය කරන ලදී. එහෙත් අද පවතින ප්‍රේමාලාපවලට වඩා එකී ප්‍රේමාලාපවල ගුණාත්මකභාවය ඉතා ඉහළය. “සඳ කැලුම් ගලන පාරේ දිගේ සීත දුරුත්තේ” නමැති ගීතය එකල සිටි ඇතැම් විචාරකයෝ පලු ඇරියාහ. එහෙත් මීට වසර කිහිපයකට පෙර ජනප්‍රිය වූ “අදටත් මම ඔබගේ පළමු පෙම්වතා” වැනි ගීතයක් සමග සසඳද්දී කිසිසේත්ම බොලඳ නොවන සරල නිර්මාණයකි. පළමු පෙම්වතා යනු ස්ථාවර තත්ත්වයකි. කවර හේතුවක් මත හෝ ඒකා දෙවන පෙම්වතා වන්නේ නැත. එම ගීතයෙන් කියන ලද්දේ පළමු පෙම්වතාගේ සේවා කාලය ගැනය. එහෙත් “සඳ කැලුම් ගලන පාරේ දිගේ සීත දුරුත්තේ” වැනි ගීතයකින් ඉතාම විචිත්‍ර දර්ශනයක් නිර්මාණය වෙයි. සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, ඩබ්ලිව්. ඩී අමරදේව, වැනි ගායකයන් පසුගිය සහශ්‍රයෙන් මේ සහශ්‍රයට පැමිණි අසමසම නිර්මාණකරුවන් වන්නේ පෙරකී හේතූන් මතය.
@Lanka Truth