මරණයේ ක්‍රම විද්‍යාව
(මහේෂ් හපුගොඩ)
මහත් වූ ඝෝෂාවන් යටින් දිවෙන ඉතාම නිශ්ශබ්ද සිදුවීම් තියෙන්න පුළුවන් කියල ලොව ප්‍රකට ප්‍රංශ දාර්ශනිකයෙක් සහ මනෝවිශේෂකයෙක් වෙච්ච ගිල් දෙලස් කියනවා. ඉන් ප්‍රධාන සිදුවීම් සිදුවෙන්නේ ඉතාම තරුණ මිනිස්සු අතරින් කියලත් දෙලස් වැඩිදුරට කියනවා.
1990 මුල තරුණ අසහනය පිළිබද කොමිසම මේක අවබෝධ කරගෙන තිබ්බ වෙන්න පුළුවන්. හැබැයි දේශපාලනය ඇතුලේ මේ පුපුරායා හැකි තරුණ ප්‍රජාව ගැන අවධානයක් ප්‍රධාන ධාරාවේ දේශපාලනය යොමුකරේ නැහැ. දිගටම දේශපාලනය කළේ මහළු මිනිස්සු. නැත්නම් පළාතේ සල්ලි බාගේ තිබ්බ උං. නැත්නම් චන්ඩි.
යුද්ද ජයග්‍රහණ, මහාවංස, බුදුන්, රජවරු, කාපට් පාරවල්, අධ්වේග, නෙලුම් කුළුණු ගැන ලොකු ඝෝෂාවක් තිබ්බට ඇත්තටම එක පරම්පරාවක කතාව අපිට අහුනෙම නැහැ. ඒ මිලේනියම් එකෙන් පස්සේ පරම්පරාව. එයාලට කතාවක් තිබ්බ.
ඒ පරම්පරාව ගෝල්ෆේස් ආව. ගෝල්ෆේස් එකත් ගෝෂාවක් උණා. ඒ ගෝෂාව ඇතුලෙත් ඇහුනේ නැති කතා ගොඩක් තිබ්බ. ඒවා තමයි දැන් තැන් තැන් වල හුදකලාවේ පුපුරලා යන්නේ.
තමන්ගේ හඬ අහන්නේ නැති සමාජ අවකාශ මේ නිශ්ශබ්ද තරුණ ප්‍රජාව විසින් යම් වෙලාවක පුපුරවා දමන්න පුළුවන්. 71, 88-89, උතුර සහ ගෝල්ෆේස් එහෙම වරින් වර ඇතිවෙච්ච පුපුරාගිය ලාංකික අවකාශ.
බලන්න ඒ හැම වෙලාවේම ඒ තරුණ පරම්පරාව පැරදුණා විතරක් නෙවෙයි එක් අනන්‍යතාවක් වෙතින් තවත් අනන්‍යතාවක් බවට එයාලට පත්වෙන්නත් බැරිඋනා. ඒ කියන්නේ එයාල ඇතිකරපු පැල්ම (rupture) තවත් දෙයක් වෙත, තවත් සමාජ පරිණාමයක් වෙත රූපාන්තරණය උනේ නැහැ (metamorphosis). ඒක අභාග්‍යයක්.
එහෙම අලුත් දෙයක් බිහිනොවුණොත් එයාල සියදිවි නසාගන්න පෙළඹෙන්න හෝ ස්වයං විනාශයක් කරා ගමන් කරන්න පුළුවන් කියල දෙලස් වැඩිදුරටත් කියනවා.
සමහර විට අපේ පරම්පරාව මැරිලා, හිරගෙවල් වල ගිහිල්ල, පස්සේ ඔය පරාජයෙන් බේරෙන්න මොනවා හරි කරගෙන ඔහේ ජීවත් උණා වෙන්නත් පුළුවන්. හැබැයි මේ පරම්පරාව අර දෙලස් කියන මරණය කරාම යන්න හදනවා කියල පේනවා.
”සමාජ ප්‍රගමණය ඇනහිට්ට හැම වෙලාවකම ලෝකයේ හැම පරම්පරාවක් ම මරණය සඳහා ක්‍රමවේදයක් හෙව්වා (Methodology of Death). තමන්ගේ වේදනාව කියන්න භාෂාවක් හෙව්වා. එහෙම භාෂාවක් නැති වෙච්ච වෙලාවල මරණය ම අවසන් ප්‍රකාශනය හැටියට තෝරාගත්ත” (දෙලස්).
සමුරායිල වගේ ඩෙඩ්ලයින් දීල මැරෙන්න පුළුවන් තමයි. හැබැයි ෆයිට් එක ඉස්සරහට අරන්යන එකත් සමුරායි වැඩක් තමයි.
මැරෙන්න නොදී මෙයාලට කතා කරමු. ඉතිහාසය අවසන් නැහැ කියලවත් කියමු.