කංසා විමානේ මිත්‍රයා හැරගොසිනි..!!
(කේ සංජීව)
රාවය පත්තරේ වැඩ කළ අතීතය හින්දා මට ලංකාව පුරාම මිත්‍රයෝ ඉන්නවා. ඒත් මිත්‍ර සම්පත්තිය නඩත්තු කරන්න මට තේරෙන්නේ නෑ. ඉතිං මට ඒ අහා යන්න ඕනී උනාම තමයි මම කතාකරන්නේ. සමහර වෙලාවට ඒ දුර මිතු සනුහරේ මට කෝල් කරන වෙලාවලුත් තියෙනවා. ඒත් ඉතිං මේ සනුහරේ වසන්නේ ලංකාවේ වාටියේ හින්දා සමහරුන්ට ජංගමයෝ නෑ සමහරුන්ට තිබුණත් සිග්නලුන් නෑ. සමහරු හේනේ පැලේ කොළේ ඇලේ මූදේ ජීවිත සටන ඉතිං උන්ට මට කතාකරන්න විදිහක් කොයි?..
ඒත් මම මොනරාගලට මාර ආසයි මාර කැමතියි මාර ආදරෙයි ඒඇයිද කියන්න මම දන්නේ නෑ. පහළ ඌවේ මේ බිමෙන් හමන කංසා දඩමස් මුසු සුවඳ මාව ඒ දිහාට අලෝනවා වෙන්න පුලුවන්. ඒනිසාම මොනරාගලට ගියොත් මම අනිවාර්යයෙන් යන ගම් කැලෑ ටිකක් තියෙනවා. ඒ ගම් කැලෑ කැටිය අස්සේ බලහරුව කියන්නේ මම ආසම තැනක්. ඒක මට හරියට කිඹුල්වත් පුරය වගේ. ඒ ඇයිද කියන්න මම දන්නේ නෑ.
බලහරුවේ සමතපාල තමයි මගේ මුල්ම යාලුවා. සමතයා නම් නිතරම තවත් කතාකරනවා. ඌ යාලුවා උනේ උගේ ගමේ ඇලක තිබුණ වැලි ජාවාරමකට අන්චියක් අදින්න ගිහිං. ඉස්සර ඉතිං මිනිස්සු රාවයට කතාකරන්නේ ඔය වගේ ගේම් දෙන්න නේ. මට තවම මතකයි මම කුඩා ඔයින් බැස්සාම සමතයා හුටුහුටු බයික්කුවක ඇවිත් මාව පිටිපස්සේ හිඳෝගෙන අලි පාරේ අලීන්ට වංගු දදා ගියා. හවස හයට පස්සේ උදේ හයට කලින් යන්න හොඳ පාරක් බලහරුවට නෑ ඒත් ඉතිං බලහරුවෝ ජීවත් වෙනවා. සමතයාට පස්සේ මොනරාගල රේණුක මහත්තයා නිසා තමයි මට ආනන්දයා හම්බ වෙන්නේ. ආනන්ද කියලා කියන්නේ මාර ජීවියෙක්. දැන් හාඩ්වෙයාරයක් කොරන් සුව ජීවිතයක් කරන මේ මිත්‍ර ප්‍රානියාත් නිතරම කයි ගහනවා පෝන් එකෙන්. ඌට ඕනී වෙලාවට මට කෝල් කළාට මට ඕනී වෙලාවට ඌව සම්බන්ධ කොරගන්න බෑ කවදාවත්..
හැබැයි ඌ කංසා වගේ රස මිත්‍රයෙක්. මම ගියොත් ඉතිං බලහරුවට උගේ බිස්නස් එදාට ඉවරයි. ඇයි ඉතිං ඌට කඩේ නෝනට දීලා මාව බලාකියාගන්න වෙනවනේ.
ඉතිං මෙන්න මේ ජීවියා තමයි ඇත්තටම කිව්වොත් බලහරුවට තියලා කංසා රැහැනින් මාව බැඳලා මට නිතරම දඩමස් ගිල්ලෝන හාදයා. මේ හාදයා නිසා තමයි මේ කියන්න යන කතානායකයා මට හමුවෙන්නේ.
බලහරුව කියන්නේ මොනරාගල විතරක් නෙවෙයි සමස්ථ රටෙන්ම ගත්තත් අලි මිනිස් ගැටුම හොඳටම වැඩි ඉසව්ව. මාසෙට මිනිහෙක් දෙන්නෙක් මේ බිමේ පන කෙන්ද අතාරිනවා අලියට පෑගිලා. ඉතිං බලහරුවේ සිරි සුමන හාමුදුරුවන් ගේ මුලු ජීවිතේම ගෙවුනේ මෙන්න මේ ගැටුම අවසන් කරන්න.
හාමුදුරුවන් ගේ ඒ වෙහෙස මහංසිය නිසාම මට ආනන්දයා මාර්ගයෙන් මේ ‘ආනන්ද මාර්ගය’ හම්බවෙනවා. ඒක හරි රහා පාරක්. රහා මෙර වුණත් තිබුණ නිවුන සැනහුන පන්සල පිටිපස්සේ වැව වගේ ලස්සන පාරක්… සුමන හාමුදුරුවෝ කියන්නේ මට ඒ නිසාම විශාල මතකයක්. මොනරාගල යන්න උඩවළව පලිනකොට නැත්තං මත්තල පනිනකොට මම හාමුදුරුවන් ගේ ජංගමයාට අමතනවා.
‘හා එන්න එන්න..’ එච්චර තමයි දේශනාව.
මම මගේ යාලුවෙක් එක්ක ගියත් යාලුවෝ පොකුරක් එක්ක බලහරුවට සැපත් වුණත් කිරි ටිකක් දීලා බතක් මාළුවක් මැල්ලුමක් එක්ක දිව පිනවන්න හාමුදුරුවෝ අමතක කළේ නෑ. ඒ ගොඩක් මොහොතවල් දියවුණේ අලි කතා වතුරේ.
‘උනුත් මේකේ ඉන්න එපැයි මහත්තයෝ. අපි ඉන්නේ උන්නේ ඉඩමේ නේ. නේද ?’ කියලා හක හක ගාලා හිනාවෙන හාමුදුරුවෝ අම්මපා මහත්තයා මේකට මොකවත්ම කරන්න බැරිද කියලා බැරෑරුම් වෙනවා.
හාමුදුරුවන් ට සෑහෙන්න කාලෙක ඉඳලා උවමනාවක් තිබ්බා මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න රජයට විරුද්ධව. මේකට කිසිම සාධනීය මැදිහත්වීමක් නොකරන නිසා.
‘දැන් බලන්න මහත්තයා අලි පෙන්නලා මුන් කොච්චර ගානක් හම්බ කරනවා ද? ආ මුන්ට බැරිද මේක වියදම් කරලා හොඳ ස්ථිර ක්‍රමයක් හදන්න. බලන්න ගිය සතියෙත් මේ අල්ලපු ගමේ ළමයෙක් මැරුණනේ. අඩුම ඔය රක්ෂිත අස්සේ කොමඩු ටිකක් වවහල්ලා උන්ට කන්න..! ආ..’
හාමුදුරුවෝ මුලින්ම හම්බවෙනකොට ගජමදාරාවන් ගැන හාමුදුරුවෝ මට ලොකු දේශනාවක් දුන්නා.
‘මහත්තයෝ ගජමදාරා ගහක් තිබුණොත් එතනින් එහාට අලියා එන්නෑ. අඩුම මේවගේ පොඩි කොට කෑල්ලක් එල්ලලා තිබ්බත් ඇති..’ මගේ යටිහිත ඒ වෙලාවේ හාමුදුරුවන් ට හිනා වුණා. මුටනම් හොඳටම පිස්සු මම මටම කියාගත්තා. ඒත් ඒකාලේ හාමුදුරුවෝ ගජමදාරාවන් හරහා මේකට විසඳුමක් තියෙයිද කියලා බැලුවා. පස්සේ හාමුදුරුවෝ ඒක අත ඇරලා දැම්මා. කරන්ට් වැට ගැන හාමුදුරුවෝ හැමදාම හිටියේ අවුලෙන්.
‘ඕකා තමයි මහත්තයෝ කැලේ ඉන්න බුද්ධිමත්ම සතා. ඕකා ගහක් ගෙනත් දාලා ඔය වැට කඩලා ගමට පනින්න දැන් දන්නවා. ඔය අගල් කපන එක ගැනනම් මම චුට්ටක්වත් කැමතිනෑ. ඔය අගල් නිසා සත්තු මැරෙනවා. මුන් මරන්නේ නැතිව උනුත් රැකෙන අපිත් රැකෙන ක්‍රමයක් තමයි ඕනී..’
හාමුදුරුවෝ නිතරම කීවේ එහෙම. අවසන් වතාවේ ගිය අවුරුද්දේ හාමුදුරුවෝ හමුවෙනකොට හාමුදුරුවෝ ළඟ තිබුණේ සියඹලා ගස් සිටුවීමේ යෝජනාවක්.
‘ඔය මීමැසි පෙට්ටි වැඩේ හරියන්නේ නෑ මහත්තයා අපි සියඹලා ගස් ළඟින් ළඟින් හිටුවන්න ඕනී. අවුරුදු පහක් යනකොට මේක රූස්ස වෙනවා. එතකොට ඉතිං අලියට යන්න බෑ. අනික බලන්න එහෙම සියඹලා හිටිව්ව නම් ආදයමකුත් ගන්න පුලුවන් අලි ප්‍රශ්නයත් විසඳෙනවා.’
හාමුදුරුවන් ට හැමදාම තිබුණේ අලි ප්‍රමුඛ වුණ උන්ගේ ජීවිත ප්‍රමුඛ වුණ දැක්මක්.
හාමුදුරුවෝ හැමදාම මිනිස්සු එක්කමයි හිටියේ. එක එක ආශ්‍රම අසපු අටවගෙන බොරුවෙන් සෝබනෙන් රඟපෑමෙන් ජීවත් වෙන හාමුදුරුවෝ පරපුර අස්සේ අපේ හාමුදුරුවෝ ඇත්ත වේශයෙන් සිවුරක් දැරුවා.
අපේ ලෞකික ජීවිතේට බැරියර් පෙරලුවේ නෑ ඒවට තව තවත් ඉනිමන් තිබ්බා මිසක්. ඒ හින්දම ඉතිං අපි පහළ ඌවේ කොහේට ගියත් හාමුදුරුවෝ හොයාගෙන අපි එහේ ගියා. ඒ මිත්‍ර සුළඟට කැමැත්තෙන්ම අහුවෙලා උපරීම සුවය වින්ඳා. ඒත් දැන් අපි එහේ යන්නේ ඇයි?.
ඉතිං පෙරේදා ආනන්දයා මට කතාකළා.
‘අයියේ අපේ ලොකු හාමුදුරුවෝ අපවත් වුණානේ..’
ඌ දාහක් වැඩ අස්සේ ඒ පණිවිඩය මගේ කනේ තිබ්බා. මට හාමුදුරුවෝ එක්ක බැඳුන අතීතය චිත්‍රපටියක් වගේ පෙනෙන්න ගත්තා. මම හිතින් බලහරු ගියා.
ඊට පස්සේ ඊයේ මොනරාගල ධම්මික කතාකරලා කිව්වා අපි හාමුදුරුවෝ ගැන මොනාහරි ලියමු නේද කියලා.
දැන් හාමුදුරුවන් ගේ සුසුම්, කංසා සුසුම් වළාකුළු අස්සේ පාවෙනවා ඇති. හෙට (26) තමයි ආදාහනය…
‘හාමුදුරුවෝ බලන්න යන්නේ කොහොමද’ එහෙම හිත හිතා මම දැන් ලතවෙනවා. ගියත් නැතත් හාමුදුරුවෝ ගැන මගේ මතකය හැමදාම කංසා සුවඳක් වගේ කංසා රසය වගේ පවතිනවා.
සුමිතුරාණන්ට නිවන් සුව..!
කංසාමය නිවනක
මාත් එන්නම් හාමුදුරුවනේ
කයියකට දවසක..!
අලි මිනිස් ගැටුම ගැන
වාර්තා දත්ත ඒම අරගෙනම..!