71 කැරැල්ලේ කන්ද උඩ දේශණාකාරයා – වසන්ත දිසානායක
(සුනන්ද දේශප්‍රිය)
1971 මැයි මාසේ වෙසක් දිනයට කලින් දවසේ අපි නාරම්මල මැදගොඩට ආවා. තාවකාලිකව සැඟවිලා හිටියේ තේක්ක කැලයක. සුජාතා හඳගම හිටියේ අපේ කණ්ඩායමේ. එයා මගේ පෙම්වතිය. අපි දෙන්නා විශ්ව විද්‍යාලයේ හිටියේ එකට. එය මට වඩා අවුරුද්දක් ජූනියර්.
හවස හතට විතර ඇය හිටි පැත්තෙන් වෙඩි හඩක් ඇහුණා. තව කිහිප දෙනෙකුට වෙඩි වැදුනත් අඳුර නිසා මොකවත් පේන්නේ නැහැ. අපේ පිරිස 80 විතර හිටියා ඒ අය දුවන්න ගත්තා. මට ඇහුනා සුජාතාගේ කට හඩ. තමන්ව පහු කරගෙන යන අයට එයාගේ තුවක්කුවත් ගෙන යන්න කිව්වා. මම සුජාතාව උස්ස ගත්තා. සුජාතා කිව්වා දිසා මාව ගෙනියන්න එපා ඔයත් වෙඩි කයි මාව කොහේ හරි පඳුරක් අස්සේ තියලා යන්න. මට කරගන්න දෙයක් නැහැ. හමුදාවෙන් දිගටම වෙඩි තියනවා. මම සුජාතාව ඝනව වැවුන පඳුරු අස්සේ හැංගුවා. ඒ කරලා කට්ටිය යළි ප්‍රතිසංවිධානය කලා.
පැයකට විතර පස්සේ හමුදාව ඉවත් උනා. මම සුජාතා ලඟට ඇවිල්ලා එයාගේ තුවාලය බැලූවා. බඩට වෙඩි වැදිලා තිබුනේ. තුවාලයට ප්ලේවින් පෑඩ් එකක් තියලා ටෙට්රසයික්ලින් කරලක් කටට දැම්මා. සුජාතා කිව්වා ඒ කරල වෙනකෙනෙකුට දෙන්න ප්‍රවේසම් කරගන්න කියලා. අපි එක්ක හිටපු පුෂ්පා අඩන්න ගත්තා. සුජාතා කිව්වා අඩන්න එපා. මාව බේරගන්න උත්සහ කරන්න එපා. මාව මෙතන දාලා ඔයාලා බේරිලා යන්න.
අපි ලී වලින් ස්ට්‍රක්චර් එකක් හදලා සැතපුම් දෙකක් විතර සුජාතාව ඒකේ තියාගෙන ගෙනිච්චා. සුජාතා කිව්වා මගේ කටට තිත්ත පිත් ගතියක් දැනෙනවා මගේ පිත්තාශය වෙඩි පාරට කැඩිලා ඇති කියලා.
ජීවිතයක වටිනාකම
සුජාතා පසුවදා වෙනකං පණ අල්ලගෙන හිටියා. පසුවදා 4.30 විතර වෙනකොට අමාරුවෙන් හුස්ම ගත්තේ. මට අමුත්තක් දැනෙනවා කියලා කිව්වා. මම ලීලා, මාලා (ජුලියට්) පුෂ්පා හිටියා. සුජාතා මගේ අත් දෙක උඩ මැරුණා.
අපි මිනිය තියාගෙන මුලූ රෑම හිටියා. උදේ වෙනකොට සුජාතාගේ මිනිය වලලන්න උදැල්ලක් ගේන්න දෙන්නෙක්ව අසල ගමට යැව්වා. ඒ අය හමුදාවට කොටු වෙලා හමුදාව අපිව වට කලා. යළි පසුබසින්න සිදු උනා. අපි සුජාතාගේ මිනිය රෙදි වලින් ඔතලා කැලේ පඳුරක් අසල තියලා ඉක්මනට සමු ගත්තා. පස්සේ මට ආරංචි උනා හමුදාව එයාගෙ මිනිය අරගෙන ගිහිල්ලා වැලලූවා කියලා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

