Latestදේශීය

චම්පිකගෙන් සමු ගනිමි

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 සේනාංකයේ ප්‍රධාන ලේකම් ධුරයෙන්, මධ්‍ය කමිටු නායකත්වයෙන්, ප්‍රතිපත්ති සභාවේ සහ විධායක සභාවේ සාමාජිකත්වයෙන්, එම සංවිධානය සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වීමට කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා තීරණය කර තිබේ.

ඒ බව දන්වමින් චම්පික රණවක මහතාට දීර්ඝ ලිපියක් භාර දුන් බව ද හෙතෙම තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

අදාල සම්පූර්ණ සටහන මෙසේය.

“හේතු ගණනාවක්ම නිසා දේශපාලන කටයුතුවලින් ඉවත්ව නිහඬව සිටීමට මම තීරණය කළෙමි.

ඒ අනුව පසුගිය අප්‍රේල් 19 වෙනිදා 43 සේනාංකයට යවන ලද ලිපියක් මගින් මා එහි ප්‍රධාන ලේකම් ධුරයෙන්ද, මාධ්‍ය කමිටුවේ නායකත්වයෙන්ද, ප්‍රතිපත්ති සභාවේ සහ විධායක සභාවේ සාමාජිකත්වයෙන්ද, එමෙන්ම එම සංවිධානයේ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වූයෙමි.

ඒ සමඟම මාගේ එම තීරණයට බලපෑ හේතු විස්තර කෙරෙන වචන 26,175 කින් යුත් පිටු 69 ක් පුරා පැතිරුණු දීර්ඝ ලිපියක් පාඨලී චම්පික රණවක මහතාට යැවීමි. එම හේතු දැන ගත යුත්තේ ඔහුත් තවත් කිහිප දෙනෙකුත් පමණක් බැවින් එම හේතු මෙහි සඳහන් කිරීමේ අදහසක් නැත.

මම පාඨලී චම්පික රණවක මහතා සමඟ අවරුදු තිස් එකකට වැඩි කාලයක් දේශපාලනය කර ඇත්තෙමි. ඉනුත් පසුගිය වසර දහයක පමණ කාලයේදී ඔහුගේ වඩාත්ම සමීපතම දේශපාලන සගයාව සිටියෙමි. එසේම ඒ දශක තුනක කාලය පුරාම පාහේ මාගේ ජීවිතයෙහි ප්‍රමුඛතම කාර්යය වූයේද දේශපාලනයයි. එහෙයින් ඉන් සපුරා ඉවත් වීමට තීරණය කිරීම එතරම් පහසු දෙයක් නොවේ. එහෙත් තීරණ ගත යුතුම වූ විට නොපැකිලව ඒ තීරණ ගත යුතුය. ඒ අනුව පසුගිය වර්ෂයක කාලය පුරා නැවත, නැවතත් සිය දහස් වර යළි යළිත් කල්පනා කිරීමෙන් පසුව, මෙය මා එම දේශපාලනයෙන් ඉවත් වීම සඳහා සුදුසුම මොහොත බව මට ප්‍රත්‍යක්ෂ විය. මෙසේ නිසි අවස්ථාවේ වෙන්වීමෙන් ලැබෙන ලොකුම වාසිය නම් වෛරක්කාරයන් වනවා වෙනුවට මිත්‍රයන් සේ ඉදිරියටත් කටයුතු කිරීමට අවස්ථාව හිමි වීමය. එය ඔප්පු කරමින්, ඉල්ලා අස්වීමේ ලිපිය යවා දින දහයකට පසු එළැඹි ඊයේ දිනයේදී, චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ඔහුගේ නිවසට ගොස්, ඔහු සමග දිවා ආහාරයද ගෙන, පැය දෙකකට වැඩි කාලයක් ආ ගිය තොරතුරුද කතා කොට, ඔහුට තිළිණයක් වශයෙන් පොතක්ද පිළිගන්වා, වැඩිහිටි වැඩුණු මිනිසුන් වශයෙන් ශිෂ්ට සම්පන්න ලෙස ඔහුට සමුදී වෙන්ව ආවෙමි.

පසුගිය තිස් වසරෙන් වැඩි කාලයක් අඩුම තරමින් සිතෙන් හෝ කාර්යබහුල වූ ජීවිතයක් ගත කරන්නට සිදු විය. ඒ නිසා මෙයින් පසුව යම් කාලයකට සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතයක් ගත කරමින් එවැනි ජීවිතයක ඇති නිස්කලංකයත්, නිදහසත් විඳීමට අදහස් කරමි. ජීවිතයේ ඉතිරිය ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයක් ගන්නේ ඉන් පසුවය. කෙසේවෙතත් ඊට පෙර මා මෙසේ ඉල්ලා අස්වීමෙන් පසුව එය මුල් කර ගනිමින් හෝ එයින් උත්තේජනය ලබමින්, සමහරුන් විසින් මට එල්ල කිරීමට ඉඩ ඇති විවේචන හා ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට මාස කිහිපයක කාලයක් වෙන් කරමි. දැන් මට නිල වශයෙන් 43 සේනාංකය හෝ පාඨලී චම්පික රණවක මහතාව රැකගැනීමේ වගකීමක් නොමැති බැවින්, එය ඇපයට තබා මට විවිධ ලෙස පහර දුන් අය නැවත එයම කළහොත් යම් නිදහසකින් යුතුව ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකිය. ඔවුන් නිහඬව සිටියහොත් ඉතින් නිහඬවම සිටිමි. අප වැනි අයට ඇති අවාසනාව නම් තපසට යන්නට පෙර පවා සමහර විට යුද්ධවල පැටලෙන්නට සිදු වීමයි.

අවසාන වශයෙන් මෙතෙක් කල් මා හට සහයෝගය දුන් සහ හෘදයංගමව සිටි සියලු දෙනාට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. ඇත්තෙන්ම දේශපාලනයෙන් ඉවත් වීමට හිත එකඟ කර ගැනීමට මා ගන්නා ලද දුෂ්කර උත්සාහයේදී එය වලක්වන විශාලතම බාධකය සේ දැනුනේ, කැපවීමෙන් කටයුතු කරන, අවංක, යහපත් ඒ මිනිසුන් සමග කාලයක් තිස්සේ ගොඩ නැගී ඇති බලවත් පෞද්ගලික බැඳීමයි. මාගේ මේ තීරණය නිසා ඔවුන් තුළ යම් සිත් වේදනාවක් ඇති වේ නම් මහත් සේ කණගාටු වෙමි. ඔවුන් සම්බන්ධ මතකයත්, ඔවුන් කෙරෙහි වන ගෞරවයත් මා සිතෙහි සදා කල් පවතිනු ඇත.

නායකත්ව පෞර්ෂයන් දුර්ලභය. පාඨලී චම්පික රණවක එබඳු නායකත්ව විභවයක් ඇති පුද්ගලයෙකි. එහෙයින් ඔහුටත්, අන් සියලු යහපත් මිත්‍රයන්ටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

– අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *