Latestදේශීය

කීරි සම්බා මිල සම්බන්ධ ප්‍රවෘත්තිය අසත්‍යයි

(දිනිතා රත්නායක)

කීරි සම්බා උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළ වන ප්‍රචාරණයන් අසත්‍ය‍ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි .

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් 2022.05.02 දින නිකුත් කර ඇති අංක 2278/02 දරන ගැසට් නිවේදනය අනුව කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රු. 260.00 ක් වේ.

එම උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළ වන වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, අසත්‍ය‍ ප්‍රචාරණයන්ට නොරැවටෙන ලෙසත්, කීරි සම්බා එම රු. 260.00 ක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි නොකළ යුතු බවටත් සියලුම සහල් මෝල් හිමියන් සහ ව්‍යාපාරිකයින් වෙත පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය දැනුම් දෙනු ලැබේ .

එමෙන්ම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරනු ලබන වෙළඳුන් සොයා අධිකාරිය අඛණ්ඩව වැටලීම් සිදු කරන අතර එම නඩු පැවරීම් වලදී වරදකරුවන් වන පුද්ගලයින්ට අධිකරණය මගින් අවම රුපියල් ලක්ෂයක දඩ මුදලක් සහ උපරිමය රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් නියම කිරීමටත් හෝ මාස 6 ක සිර දඩුවම් නියම කිරීමටත් හෝ දඩ මුදල සහ සිර දඬුවම් යන දෙකම නියම කිරීමටත් හැකියාවක් ඇත. එමෙන්ම අදාළ වරදකරු සමාගමක් වන අවස්ථාවල දී අවම දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් සහ උපරිම දඩ මුදල රුපියල් මිලියන 5 ක් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෝල් හිමියකු හෝ ව්‍යාපාරිකයකු සහල් ඉදිරිපත් කරන්නේනම් එම තොරතුරු 1977 කෙටි දුරකථන අංකය මගින් අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසත් , මිලදී ගැනීම් වලට අදාල බිල්පත් හා ලේඛන නිලධාරීන්ට පරික්ෂා කිරීම සදහා ව්‍යාපාර ස්ථානයේ තබා ගත යුතු බවත් සියලුම ව්‍යාපාරිකයින් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

වැටලීම් හා විමර්ෂන වලදී එකී තොරතුරු නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට අපොහොසන් වන වෙළදුන්ටද 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරනු ලැබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?