එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න පිළිබද විවාදයක් එපා, තේරීම් කාරක සභාවක් ඕනා
(දිනිතා රත්නායක)
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (9) බාරදෙනු ලැබීය.
ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න,යදාමිණි ගුණවර්ධණ,ඩබ්ලිව්.ඩී වීරසිංහ, රංජිත් බණ්ඩාර,මධුර විතානගේ,රාජිකා වික්‍රමසිංහ,ගුණතිලක රාජපක්ෂ,කුමාරසිරි රත්නායක,ජගත් කුමාර,මහින්දානන්ද අලුත්ගමගේ,සම්පත් අතුකෝරාළ,නාලක කෝට්ටේගොඩ, සුදර්ෂණ දෙනිපිටිය,කේ.ඒ.යූ.කේ ගුණතිලක,නිමල් ලාංසා,එච්.එම්.එම් හාරීස්,සරත් වීරසේකර,මුදිත ද සොයිසා,එස්.බී දිසානායක, ප්‍රදීප් උඳුගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාළ ලිපිය සඳහා අත්සන් තබා ඇත.
අදාළ ලිපිය මගින් මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ නෞකා අනතුරු සිදුවීම හා අනතුරුවලින් පසුව සිදුවූ මැදිහත්වීම් සහ අඩුපාඩු පිළිබඳව නැවත සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇති බවයි.
එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සභාව තුළදී මෙන්ම පිටතදීද මෙම අනතුරු සහ නෞකා රක්ෂණ සමාගම් අතර සිදුවූ ගණුදෙනු පිළිබදව හෙළිදරව් කළ බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ නෞකා අනතුරු සම්බන්ධ සිදුවීම්වල සත්‍යය හෙළිදරව් විය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත්කරන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාට භාරදුන් ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ නෞකා අනතුරු සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන මූල්‍ය චෝදනා යටපත් කිරීමේ අරමුණින් විපක්ෂය විවාදයක් ඉල්ලා සිටින බවයි.
විපක්ෂයේ එම උත්සාහය පරාජය කිරීමේ අරමුණින් මෙම විශේෂ තේරීම් කාරක සභාව පත්කරන ලෙස ආණ්ඩුපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කීය.
නෞකා අනතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ මෙම නෞකා අනතුරු සම්බන්ධයෙන් මූල්‍ය වංචා සිදුව තිබෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

