රාවයේ මතක
(ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)
මම රාවය ඇසුරු කරන්නට පටන් ගත්තේ එය සඟරාවක් ලෙස පැවති සමයේ සිටය. එනම් 1980 ගණන්වල අගභාගයේ සිටය. එකල එහි කාර්යාලය තිබුණේ ගල්කිස්සේ ගල්වල පාරේ එක්තරා ස්ථානයකය.
කාර්ය මණ්ඩලයද දෑතේ ඇඟිලි ගණනටත් අඩු විය. කතුවරයා වික්ටර් අයිවන් මහතාය.
1990 මුල් භාගයේ එය ටැබ්ලොයිඩ් පුවත්පතක් බවට පත් වූ අතර මා එයට සම්බන්ධ වූයේ ඡායාරූප ශිල්පියා ලෙසිනි. පුවත්පත ආරම්භ කරනු සඳහා රාවය කාර්යාලය රත්මලානේ පිරිවෙන පාරේ ස්ථානයකට රැගෙන යන ලදි.
රාවයේ නියමුවා වූයේ අතුල අයියාය.(වික්ටර් අයිවන් මහතා) තමන්ටත් පුවත්පතටත් නඩු පිට නඩු වැටෙද්දී ඔහු දූෂිතයන් හා දූෂණ හෙළි හෙලි කිරීමේ සටන නොනවත්වාම කරගෙන ගියේය. චන්ද්‍රිකා කුමාරතුංග දේශපාලනයට ගෙන ඒමට මුල් වූයේද අතුල අයියාය. විජය කුමාරතුංග ඝාතනයෙන් පසු එංගලන්තයේ පදිංචිව සිටි චන්ද්‍රිකා ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය වීමෙන් පසු මෙරට දේශපාලනයට කැඳවන්නට ඔහු විශාල මෙහෙවරක් සිදු කළේය. ලංකාවට පැමිණි චන්ද්‍රිකාට අවශ්‍ය ප්‍රචාරය ලබා දීමටද ඔහු පියවර ගත්තේය. ඒ සඳහා අවශ්‍ය ඡායාරූප ගැනීමට ඔහු මා අවස්ථා කිහිපයකදීම රොස්මිඩ් පෙදෙසට පිටත් කර යැවීය. ඇය මහ ඇමතිනී තරගයට ඉදිරිපත් වන විට පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය ඡායාරූපද මම රැගෙන ඇත්තෙමි. එහෙත් බලයට පැමිණි චන්ද්‍රිකාට තමන්ට අත දුන් අය අමතක විය. ඇය පළමුවෙන්ම කපා දැම්මේ අතුල අයියාවය. පසු කලෙක අතුල අයියා ඇය පිළිබඳ පොතක් ලිවීය. එහි නම වූයේ චෙෳර රැජිනය. තමන් විසින් දේශපාලනයට ගෙන ඒන්නට දායක වූ චරිතයක් පිළිබඳව ඒවැනි කෘතියක් ලියන්නට වීම අෙප් දේශපාලනෙය් සැබෑ නිරුවත හෙළිකිරීමක් බඳුය.
රාවය පුවත්පත ආරම්භ කරන විට එහි ඡායාරූප ශිල්පීන් වූයේ සුදත් මලවීරත් මාත් පමණි. සුදත් බොහෝ විට ප්‍රවෘත්ති ඡායාරූප සඳහා වෙන් වූ අතර මා විශේෂාංග ඡායාරූප සඳහා වැඩි අවධානයක් යොමු කළෙමි. එහෙත් විශේෂ ප්‍රවෘත්ති ඡායාරූප සඳහා අතුල අයියා (වික්ටර් අයිවන් මහතා) මා යැවීමට පුරුදුව සිටියේය.පසුව චන්ද්‍රගුප්ත අමරසිංහද අපට එක් විය.
ප්‍රවෘත්ති කර්තෘ නිව්ටන් සෙනෙවිරත්න, උපාලි කොළඹගේ,(ලංකාවේ පළමු සිංහල ගුවන්විදුලි නිවේදක ඩී. එම් කොළඹගේ මහතාගේ පුත්‍රයා) කමල් පෙරේරා, ගුණසිංහ හෙට්ටිආරච්චි, සුනිල් ජයසේකර ,සරත් කුරේ, ඩී. එස්. එස්. මායාදුන්නේ සුනේත්‍රා රාජකරුණානායක ,වැනි අය කර්තෘ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වූ අතර නිදහස් ලෙඛකයෝ විශාල පිරිසක් ද එහි වූහ.
රාවය වඩාත් ජනප්‍රිය වූයේ රණසිංහ ප්‍රේමදාස පාලන සමයේදීය. එකල දිනපතාම පාහේ විවිධ ප්‍රවෘත්ති මැවෙන්නට වූ අතර අපටද කිසිදු විවේකයක් නොවීය. ප්‍රේමදාස පාලනයට එරෙහිව විපක්ෂය විවිධ විරෝධතා ව්‍යාපාර දියත් කළහ. එහි පෙරමුණ ගන්නා ලද්දේ මහින්ද රාජපක්ෂ හා අනුර බණ්ඩාරනායකය. එකල මේ දෙදෙනාත් එස්. බී. දිසානායක, බර්ටි ප්‍රේමලාල් හා නන්දිමිත්‍ර ඒකනායක හා මා අතර සමිප හිතවත්කමත් තිබිණි. ඇතැම් දිනවල ශ්‍රාවස්තියේ අපි දේශපාලනය සම්බන්ධ බොහෝ දේ සාකච්ඡා කළෙමු. මේ සියල්ලෝ ඒ කාලයේ අවංක ප්‍රතිපත්තිගරුක දේශපාලකයෝ පාලකයෝ වූහ. ඔවුන්ගේ අද ගැන කතා කිරීමට දෙයක් නොමැත.
එවක පැවති ප්‍රේමදාස පාලනයට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ඔවුන් සංවිධානය කළ විවිධ විරෝධතා ව්‍යාපාර, ජනඝෝෂා, පාද යාත්‍රා, කාලි කෝවිලේ පොල් ගැසීම්, වැනි විවිධ විරෝධතා ආවරණය කිරීම සදහා මම නිරතුරු සහභාගී වීමි.
ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය වූ අවස්ථාවේ ඔහුගේ දේහයේ ඡායාරූප ගන්නට බොහෝ පුවත්පත් ආයතනවලට ඉඩ ලැබුණේ නැත. විශේෂයෙන්ම ලේක්හවුස් ආයතනයේ මාධ්‍යෙව්දීන්ට ඒ පළාතටවත් එන්නට නොහැකි ලෙසට දැඩි විරෝධයක් පැවතියේ එය රජය යටතේ පැවති හෙයිනි. ඔහුගේ දේහයේ ඡායාරූප ගැනීමට අවසර ලැබුණේ මටත් තවත් මාධ්‍යෙව්දීන් දෙතුන්දෙනෙකුටත් පමණි. බොහෝ පුවත්පත්වල පළ වූයේ මාවිසින් ගන්නා ලද ඇතුලත්මුදලි මහතාගේ දේහයේ ඡායාරූපය.
දිවයිනේ විවිධ පුදේශවල ඇවිද මහ පොළොවේ දුක් විඳින මිනිසුන් පිළිබඳව ලියන්නට හා ඡායාරූප ගන්නට අපට හැකිවිය. මා හා මේ ගමන්වලට වැඩිපුරම එක් වූයේ පෝද්දල ජයන්ත, සුනිල් ජයසේකර, නන්දන වීරරත්න, කීර්ති ලොකුලියන, මනුබන්දු විද්‍යාපතිි වැනි පිරිසකි.
එකල රාවයට වාහන තිබුණේ නැත. අප ලංකාවේ අති දුෂ්කර පළාත්වල ඇවිද්දේ බස්රථවලින්, පාපැදිවලින්, මෝටර් බයිසිකල්වලින් හා පා ගමනිනි. එහෙත් මේ දුෂ්කර ගමන් අප ගියේ ඉමහත් සතුටිනි. අපේ ගමනින් කිසිවකුගේ හෝ දුක් වේදනා පිළිබඳව මහජන නියෝජිතයන්ගේ හෝ වගකිව යුත්තන්ගේ ඇස් ඇරෙන බැව් අප දැන සිටි බැවිනි.මේ ගමන්වලදී ජිවිත තර්ජනද එල්ල නොවුවා නොවේ.
වරක් ලයිට් කෝස් භාවිත කොට මසුන් අල්ලන පිරිස් පිළිබඳ ලිපියක් සකස් කිරීම සඳහා මාඵ බෝට්ටුවක නැගී මහ මුහුදේ රැය පහන් කළෙමු. ලයිට් කෝස් මගින් මසුන් අල්ලන අයුරු ඡායාරූප ගත කිරීමට මට හැකිවිය. එම කාර්යයයේ නිරත බෝට්ටුවල නම් ගම් පිටින්ම සාක්ෂි ලබා ගත්තෙමු. හිමිදිරියේ යළි ගොඩ බිමට පැමිණෙන විට අප මුහුණ පෑවේ මරණ තර්ජනවලටය. ලයිට්කෝස් බෝට්ටු හිමිකරුවන් පිරිසක් මන්නා කැති පොලු සහ කඩු අත තබාගෙන අප ගොඩ බිමට එනතෙක් වෙරළේ රැක සිටියහ. අප මුහුදු ගිය බෝට්ටුවේ හිමිකරු වූයේ සම්බරාය. ඔහු අපට බිය නොවන ලෙස පවසා වෙනත් පැත්තකට බෝට්ටුව රැගෙන ගියේය. ගොඩ බිමට පිවිසි විගස අප දිවගොස් තෙල්වත්තේ පන්සලේ සැඟව ගතිමු. එතැන් සිට පාපැදියක නංවාගෙන ගාලු පාරට අප රැගෙන ආවේ මා මිත්‍ර ෙප්‍ර්මදාස බදුගොඩහේවාගේ සහෝදරියගේ පුත්‍රයා වූ අරුණ ලොකුලියනය. (වත්මනෙහි ඔහු කැලණිය විශ්වවිද්යාලයේ කථිකාචාර්යවරයෙකි)
වරක් හසලක ප්‍රෙද්ශයේ පිහිටි උඩගල් දෙබොක්කාව නම් අති දුෂ්කර ගම්මානය වෙත යන්නට අපට සිදුවිය. කමල් පෙරේරාත්, මොහාන් ශ්‍රියන්ත ආරියවංශත් මාත් මේ ගමනට එක්වීමු. ගම්මානය පිහිටියේ කඳු මුදුනකය. වනය මැදින් සැතපුම් අටක් පයින් ගමන් කරන්නට අපට සිදු විය. එක දිනකින් යළි එන්නට සිතා සිටි අප කඳු මුදුනට නගින විට හොඳ හැටි හෙම්බත්ව සිටියෙමු. එම ගම්මානයේ ග්‍රාමසේවක මහතා අපට එහි නවතින්නට ඉඩ සලසා ආහාර පානවලින්ද සංග්‍රහ කළේය. උඩගල් දෙබොක්කාව ඉතා සුන්දර ගමන් විය. එහෙත් ප්‍රවාහන පහසුකම් කිසිවක් නොවූ අතර ගම්මු කඩමණ්ඩියට පැමිණියේ හා යළි ගියේ ගල්කුඵ අතරින් රිංගමින් කැලෑ අඩිපාර ඔස්සේ සැතපුම් 16ක් උඩටත් පහළටත් ගමන් කරමිනි.වනය මැදින් ගලා ගිය කුඩා දිය පහර තෙහෙට්ටුවට පත් ගැමියන්ගේ පිපාසය නිවා දැමීය. අපද මේ ගමනේදී ඒ අත්දැකීම වින්දෙමු.
කවුරුත් උතුරට නොයන සමයක 1993 නොවැම්බරයේ හොරෙන් යාපනයට ගිය ගමනද එවැන්නකි. මරණය පෙනී පෙනී ගිය එම ගමන අතිශයින් බියකරු විය. කිලාලි කලපුවෙන් එතෙර වීමේදී අහසින් වැටුණු බෝම්බවලින් බේරී දිවි ගලවා ගත්තේ අපගේ බෝට්ටුකරු සිග්සැග් ක්‍රමයට බෝට්ටුව පදවමින් අහසින් වැටුණු බෝම්බ මගහැරිය බැවිනි. රාවය වෙනුවෙන් බොහෝ දුෂ්කර ගමන්වල මා නියැලී ඇත්තෙමි.
රාවය අපට එකම රසගුලාවක් විය. රාවයේ පිටු සැකසුම් කළේ අශෝක පද්මසිරි හා චරිත දිසානායකය. (අසෝක අද අප අතර නැත. ඔහුගේ සොහොයුරු ධර්මරත්න පසුව රූ රටා සැලසුම් ශිල්පියා විය.)
කලා පිටු භාරව සිටියේ මනුබන්දු විද්‍යාපති සහ නිහාල් පීරිස්ය.(පසුව ලක්බිම ඉරිදා සංග්‍රහයේ කතුවරයා) කේ. ඩබ්ලිව් ජනරංජන චිත්‍රශිල්පියා විය. මම ප්‍රධාන ඡායාරූප ශිල්පියා වීමි.
අපි කට්ටිය නිතරම විහිඵ තහලු කරමින් අපේ රාජකාරිය කළෙමු. පේස්ට් අප් කාමරය අප සියලු දෙනා සිටින විට එකම විනෝද සාගරයක් විය. එකිනෙකාට කාඩ් වැදීම නම් වැරදුනේ නැත. ජනරංජන දේශපාලන චරිත අපූරුවට කාටුනයට නැගීමේ සමතෙකි. ඔහුගේ නිර්මාණ ඉතා සියුම් උපහාසයකින් යුතු විය. පිටු ඇලවූයේ චරිතය. (දැන් ඔස්ට්රේලියාවේ පදිංචි වී සිටී – මිහිර පුවත්පතට යෝදයා, පඩිතුමා බූබබා හඳුන්වා දුන් ඇස්. ඒ. දිසානායකයන්ගේ පුත්‍රයාය.) රාවයට අවේනික වූ රූ රටාවක් තිබිණි. කඵ සුදු පුවත්පතක් වුවද රූ රටාව අතරින් පෙරමුණේම සිටියේ රාවය බැව් මගේ හැඟීමයි. එයට චරිතගේත් අසෝකගේත් හැකියාවන් එක් වී තිබිණි. ඒ ඒ ලිපි සඳහා අවශ්‍ය ඡායාරූප ලබා දෙමින් ෙහා අවශ්‍ය අයුරින් ඡායාරූප සංස්කරණය කරමින් මම මේ පිරිස සමග ගත කළෙමි.
එකිනෙකාට කාඩ් ගැසීම හෝ චිත්‍රපටයක්, නාට්‍යයක් හෝ පොතක් පිළිබඳව දීර්ග සංවාදවල යෙදීම එකල අපේ පුරුද්දක් විය. බොහෝ විට ශාස්ත්‍රීය කතාවකට මුල පුරන්නේ නිහාල්ය. මනු සහ මම එය දිගට ඇදගෙන යමු. චරිත හා ජනයාද එයට එක් වෙයි. මේ ශාස්ත්‍රීය කතා ඇතුලේ අමු තිත්ත කුණුහරුප කතාද නොතිබුණේ නොවේ.ඒවාද ඉදිරිපත් කෙරුණේ ශාස්ත්‍රීය පදනමකින් බව ඔබට පැවසීමට කැමැත්තෙමි.
කලා පිටු සංස්කාරකවරුන්ගේ නම් සෑම කලාපයකම එම පිටුවේ ඉහළින් පළ කෙරේ. මනු හා නිහාල් සතියක් හැර සතියක් පිටු සංස්කරණය කළ අතර අදාල සතියේ පිටු සංස්කරණය කළ පුද්ගලයාගේ නම ඉහළින්ද අනිකාගේ නම පහළින්ද මාරුවෙන් මාරුවට පළවිය. වරක් මනුබන්දු සංස්කරණය කළ පිටුවේ නම් දෙක පළ වූයේ මේ අයුරිනි. සංස්කරණය – මනුබන්දු විද්‍යාපතිි නිහාල් පීරිස්- ලෙසිනි.
නිහාල් පීරිස්ට මේ සම්බන්ධයෙන් කාඩ් එකක් වැදී තිබුණි. ඔහුගේ ඥාතියකු නම් දෙක දැක පුතේ උඹට සම්මානයක් ලැබුණේ කවදාදැයි අසා තිබේ. උඩ බිම බැලූ නිහාල් මට සම්මානයක් ලැබුනේ නැතැයි පවසා ඇත. ‘එහෙනම් පත්තරේ තිබුණේ මනුබන්දු විද්යාපති නිහාල් පීරිස් කියලා ඒක ගරුනාමයක් නෙමෙයිද? යනුවෙන් ඥාතියා අසා ඇත. මනුබන්දු විද්යාපති යන්න සම්මානයක් ලෙස ඔහු සිතා තිබුනේ එවක විවිධ කලාභූෂණ, විද්‍යාපති වැනි සම්මාන පිරිනැමුණු නිසාය. මෙය ඇත්තක්ද බොරුවක්ද කියා මා නොදනිමි. කෙස් වුවද මෙවැනි කතා අප අතර නොඅඩුව තිබුණි.
පසුව රාවය බ්රෝඩ්ෂීට් නොහොත් විශාල ප්‍රමාණයේ පුවත්පතක් බවට පත් විය. බොහෝ කලක් කතුකමේ සිටි අතුල අයියා එය ජනයාට බාර දී නිදහසේ ලේඛනයේ යෙදෙන්නට විය. කලක් රාවයේ කතුවරයා වූයේ කේ. ඩබ්ලිව් ජනරංජනය. පසුව කිසියම් මතභේදයක් මත ජනයා කතුකම හැර ගොස් ‘අනිද්දා“ පටන් ගත්තේය.
කාලය ගෙවි ගොසිනි. එදා රාවයට සම්බන්ධව සිටි ඇතැමෙක් අද ජිවිතයට සමු දී ඇත. චරිත ඔස්ට්‍රේලියාවේය. නිහාල් ලක්බිමේ කතුවරයා ලෙස සේවය කොට ඉන් ඉවත් විය.. මනුවා ලේක්හවුසියටත් එතැනින් තවත් පත්තර කන්තෝරුවලටත් ගියේය. සුනිල් මාධ්‍ය ක්‍රියාධරයෙකි. සුනේත්‍රා ජාත්‍යන්තර තලයේ ලේඛිකාවකි.
ජනරංජන නීතිඥයකු වී රාවයේ කර්තෘ පුටුවටද ගියේය ඔහු දැන් අනිද්දා පුවත් පතේ කතුවරයාය . මම සිඵමිණටත් ඉන් ඉවත් වූ පසු ඉරිදා ලංකාදීපයටත් එතනින් එම ආයතනයේම දේශය පුවත්පතටත් ගියෙමි. පුවත්පත් ජිවිතයෙන් සමුගන්නා තෙක් එහි රැඳී සිටින්නට සිතා සිටිමි.මගේ පුවත්පත් කලා ජිවිතය 42 වසරක් ගෙවුණේ මෙවැනි සුන්දර මතක සටහන් රැසක් සමගිනි.
අද රාවය නැත. මතක නම් ගොන්නක් ඇත.
රාවයට සම්බන්ධ වුනු තවත් බොහෝ අය හිටියහ. ඔවුන්ගේ නම් මෙහි සඳහන් නොවුණාට අමනාප නොවනු ඇතැයි සිතමි
මෙම සටහන මම රාවයේ සේවය කළ කාලය අළලා ලියුවක් බැවින් මෙය එම කාලය ඇතුළත එකට සිටි අය පිළිබඳ මතක සටහනක් පමණි.
මෙම සටහන 1992 – 1994 වැනි කාලය පදනම් කරගෙන ලියවුනකි.