අරූරන් – යුක්තිය අහිමිව දාහතර වසරක්
(අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු)
ජීවිතයේ වටිනාම කාලයෙන් වසර 14 ක් බන්ධනාගාරයක රැඳවුම් නියෝග මත රඳව සිටි සිවලිංගම් ආරූරන් ඔහුට එරෙහිව නගා තිබූ සියලු චෝදනවන්ගෙන් නිදොස් කොට නිදසක් කර තිබේ. සිවලිංගම් අරූරන් බන්ධනාගාර ගත වනුයේ 2006 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය හෙබ වූ සමයේදී ඔහුට පිත්තල හන්දියේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැක කරුවෙක් ලෙසය.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවසූයේ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා තමන්ගේ අධිකරණ තීන්දු ලබා දෙන බවත් සාක්ෂි නොමැති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත්ය.
2009 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රැඳවුම් භාරයට ගෙන නව මැගසින් බන්ධනාගාරයේ වසර 14 කට අධික කාලයක් රඳවා සිටියේය.
ආරක්ෂක ලේකම් වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා 2013 වසරේදී ඔහුට එරෙහිව නඩු පැවරුවේය. විත්තිකරුට එරෙහිව අධිචෝදනා හයක් ඉදිරිපත්ව තිබිණි. විත්තිකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිල් ද සිල්වා ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් නඩුවේ සාක්ෂියක් ලෙස පිළිගන්නා ලෙසට නීතිපතිවරයා කරන ලද ඉල්ලීමක් පසුගිය නඩුවාරයේදී ප්‍රතික්ෂේප මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ පැවසූයේ විත්තිකරු සහකාර පොලිස් අධිකාරී වරයාට ලබාදුන් පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් සිදුකරන ලද්දක් නොවන බවට අධිකරණය විසින් තීන්දු කළ බවය.
ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වූ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව වෙනත් සාක්ෂි නොමැති බවය. තවදුරටත් විත්තිකරුට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යෑමට නීතිපතිවරයා අදහස් නොකරන බවය.
මීට 14 වසරකට පෙර අරූරන් අත් අඩංගුවට පත්වූයේ 29 හැවිරිදි වියේ සිටියදීය. 2004 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් අරූරන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියේය. ජිවිතයේ හොඳම කාලයේ වසර 14 ක් රැඳවුම් නියෝග මත බන්ධනාගාර ගතව සිටි ඔහු නිදහස ලබනා විට 43 වැනි වියේ පසු විය.
අරූරන්ට සිය යොවුන් වියේ සපුරාගතව තිබූ සියලු ඉලක්ක අහිමිව යන ලදි. එපමණක් ද නොව සිය පවුල වෙනුවෙන් ඉටු කළ යුතුව තිබූ යුතුකම් කිසිත් ඉටු කිරීමට ඔහුට නොහැකි විය . ඉංජිනේරුවෙකු ලෙස අත්පත් කරගත හැකිව තිබූ සියලු වෘත්තීය කුසලතාවන් සියල්ල ඔහුට අහිමි විය. අවසානයේ සාක්ෂි නැති නිසා අරූරන් නිදහස ලැබූවේය. ඔහුගේ ජීවිතයෙන් උදුරාගත් වසර 14 වෙනුවෙන් ඔහුට ගෙවනා වන්දිය කුමක්දැයි සිතා බලන ලෙස සිහිබුද්ධිය ඇති මිනිසුන්ගෙන් ඉල්ලා සිටිමි.
අරූරන් නිදහස ලැබූවද මේ නින්දිත ත්‍රස්තවාදය වැලැක්විමේ පනත නිසා බන්ධනාගාර ගතව දුක් විඳිනා මිනිසුන් විශාල ගණනක් සිටී . මේ අයට සාධාරණය ඉටුවන්නේ කවදාදැයි කිසිවෙකුටත් පැවසිය නොහැක. සීලාචාර සමාජයක් ලෙස මෙයට ලබැඳිය හැකි හොඳම විසඳුම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමය. එවිට මේ පීඩාකාරී පනත මගින් පනවා ඇති සියලු නඩු අහෝසී වී යන්නේය.
අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්විමේ පණත අයටතේ දින 100 කට ආසන්න ගණනක් රඳවා තබාගැනීම නිසා එදා රටම පාරට ආවේය. පීඩාකාරී ත්‍රස්තවදය වැළැක්වීමේ පනතට එරෙහිව දැවැන්ත විරෝධයක් රට පුරා දැක ගත හැකි විය. එහෙත් ඔහු නිදහස් කිරිමත් සමග දැන් කාට කාටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියා එකක් තිබුණාදැයි මතක නැති වෙමින් පවතී. මන්දයත් ඉන් වැඩි වශයෙන් පීඩා විඳින්නේ මෙරට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව නිසා බහුතර සිංහල බෞද්ධයනට එහි වගක් නැත.
අනිවාර්යයෙන් අරූරන් සිරගත කළ ද ඔහුගේ සිතුවිළි සිරගත කරන්නට කිසිවෙකුටත් නොහැකි විය. බන්ධනාගාරගතව සිටි කාලයේ ඔහු ලේඛකයෙක් ලෙස සිය කුසලතාව දියුණු කරගත්තේය. එම කාලයේ දෙමළ භාෂාවෙන් කෘති 07ක් ද, ඉංග්‍රීසි භාෂා කෘතියක් ද රචනා කරන්නට ඔහු සමත් විය . 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම දෙමළ නවකතාව ලෙස සම්මානයට පත්වූයේ ඔහු විසින් රචිත ‘ආදුරසාලයි’ නව කතාවය. ඊට අමතරව 2016 දී ද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේද ඔහුය.