Latestදේශීයමතවාද

ඒ අයිතිය වෙනුවෙන් මේ සටහන

(මෙලනි ගුණතිලක)

ඉස්සර මමත් හිතුවේ යුද්ධෙ ඉවර නිසා ආයේ ඒ ගැන කතා කරන්න ඕනේ නෑ කියලා. මමත් හිතුවේ සාමය කියන්නේ ආයෙ මිනිස්සු මැරෙන්නේ නැති එකට කියලා.

ඊට පස්සේ මාව ආරක්ෂා කිරීම වෙනුවෙන් මම බදු ගෙවලා නඩත්තු කරන යුනිෆෝම් ඇඳගත්ත අයගෙ ප්‍රහාර වලට ලක්වෙන්න මට සිද්ධ වුනා. මම බලාගෙන ඉඳිද්දි මගේ සහෝදරයන්ව ඇදගෙන ගිහින්, කිසිම සාධාරණ හේතුවක් නැතුව වද දෙද්දී තමන් ආදරය කරන කෙනෙක් ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා නොදන්න අවිනිශ්චිතතාවය මොන වගේ අපායක්ද කියන කාරණාව මම තේරුම් ගත්තා. ඉතාම සුළු කාලයකදි රජයේ හතුරෙක් වෙන්න අයුක්තිය, අසාධාරණය ප්‍රශ්න කලාම ඇති කියලා ගිය අවුරුද්දෙදි මම තේරුම් ගත්තා.

අවුරුදු ගානක් පුරා මම අමතක කරලා හිටපු මිනිස්සු වෙනුවෙන් මට සහකම්පනය ඇති වෙන්න “අතුරුදහන් කිරීම” කියන අත්දැකීම මටම විඳින්න වුනා.

අපරාධ අමතක කරලා අපි ඔක්කොම එකයි කිව්වට යුක්තිය ඉටු නොවෙන බව තේරුම් යන්න මට අයුක්තිය අත් විඳින්නම සිද්ධ වුනා. වගවීම නැතුව සමාව, අමතක කිරීම කියන්නේ යුක්තිය යටපත් කරන උත්සාහයන් බවත්, පීඩකයාට තව දුරටත් අපරාධ කරන්න ඉඩ හදලා දීමත් බවත් තේරුම් යන්න මට වගවීමක්, යුක්තියක් නැති අපරාධ වල වින්දිතයෙක් වෙන්නම වුනා.

“අපි ඔක්කොම එකයි” කියද්දි මම මේ කියන්නේ මගේ සිංහල සංස්කෘතික අනන්‍යතාවය අත්හරිනවා කියලද නැත්නම් දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ වෙනත් ජනතාවට එයාලගේ සංස්කෘතික අනන්‍යතාවය අත්හරින්න කියලද කියන ප්‍රශ්නෙ අහන්න මට අමතක වෙලා තිබුනා. වෙන විදිහකට කියනවනම් අපි ඔක්කොම එකයි නම් ඒ මොන එකද? විවිධත්වය සමරන්න ඕනේ අපේ අනන්‍යතාවයන් තියාගෙන මිසක් දියකරලා දාලා නෙවෙයි.

අපි ගොඩ දෙනෙක්ට පොඩි කාලේ ඉඳන් දෙමළ යාළුවෝ හිටියට දෙමළ සංස්කෘතිය අපි කොයි තරම් අත්විඳලා තියෙනවද? තෛපොංගල් සුභ පැතුමකින්, පොංගල් බත් එකකින් එහාට අපි කීදෙනෙක් දෙමළ සංස්කෘතික අංග ගැන දන්නවද? අඩුම ගානේ ඉස්කෝලෙදි අනිවාර්ය විෂයක් විදිහට ඉගැන්නුව දෙමළ භාෂාවෙන් වචන කීයක් අපිට මතකද?

උතුරේ අවිගත්ත කැරලි කණ්ඩායම් යුද්ධෙ කරේ රට බෙදන්න කියලා අහලා තිබුණට අපිව එච්චරම එපා වෙන්න තරම් යුද්දෙට කලින් අපි අපේ සහෝදර දෙමළ ජනතාවට සැලකුවේ කොහොමද? යුද්දෙ ඉවර වෙලා අවුරුදු 13ක් ගිහිල්ලත් ඒ ප්‍රශ්න වලට අපි උත්තර හොයනවද? ඒ ගැන සාමූහිකව සාකච්ඡා කරන්න, ඒ අයගේ කතාවල් අහන්න අපි ලෑස්තිද? එහෙම නැත්නම් යුද්දෙ ගැන කතා කරන කොට “මෙන්න බෙදුම්වාදියෝ” කියලා මිනිස්සුන්ව නිහඬ කරවලා අපි මේ ආපහු කරන්නේ අතීසාරෙට අමුඩ ගැහීමක් නෙවෙයිද?

මුල්ලිවෛක්කාල් සිහි කිරීමෙදි මතක් කරන්නේ අපේ රටේ අවුරැදු තිහක යුද්ධයක් තිබුණ බව නෙවෙයි. එදාට මතක් කරන්නේ ඒ භූමියේදී ජීවිත අහිමි වුන ආයුධ අතේ නොතිබුණ, සිවිල් ජනතාව. ආදරය කරපු, ආදරය ලබපු, නාඩි වැටුන, හීන දැකපු, අනන්‍යතාවයක් තිබුණු මිනිස්සු. ඒ අයගේ සංස්කෘතිය, ඒ සිදුවීම, ඒ අය දැකපු හීන, ඒ අය විඳපු අත්දැකීම්, ඒ අයගේ අනන්‍යතාවය මතක් කරන්න කැමති කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ අයිතිය වෙනුවෙන් මම පෙනී ඉන්නවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *