Latestදේශීය

ජාතිවාදී, ආගම්වාදී කුමන්ත්‍රණවලට හසුවෙන්න එපා

“ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්න මතුකර ඒ කුමන්ත්‍රණයේ ගොදුරු බවට ජනතාව පත්කිරීමේ උත්සාහයක් පැහැදිලිව අපි දකිනවා. මේ පිටුපස අනිවාර්යයෙන්ම ඉතිහාසයේ වගේම සැඟවුණු හස්තයන් තිබෙනවා. ඒ නිසා මේ රටේ සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් අපි අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ නැවත ආගම්වාදී, ජාතිවාදී ගැටුම් ඇතිකිරීමේ කුමන්ත්‍රණ ලප්තැනම ලොප් කරන ලෙසයි. යම්කිසි කණ්ඩායමක් සිදුකරන වරදක් දඩමීමා කරගෙන ප්‍රතිවිරුද්ධ ගැටුම් හදන්න යාමෙන් ඇති වන මහජන කැලඹීමක් පාලකයන් අපේක්ෂා කරනවා. එයට හසුනොවී ජාතික සමගිය ගොඩනඟන්න, ආගමික සමගිය ගොඩනඟන්න ක්‍රියාකරන ලෙස ඉතාමත් ඕනෑකමින් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ද එක්වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහද් පහතින් පල වේ,

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් දැක්වූ අදහස්,

“මැයි 19 දිනට යුද්ධය අවසන් කර වසර 14ක්. ආර්ථිකය ශක්තිමත් කරන්න, සියලු ජාතිකත්වයන් අතර ජාතික සමගිය ගොඩනඟන්න යුද්ධය අවසන් වන තුරු මේ රටේ ජනතාව දෑස් දල්වාගෙන බලාගෙන සිටියා. තිස් අවුරුදු යුද්ධය කාලයේ පාලකයන් පුන පුනා කීවේ යුද්ධය අවසන් වූ වහාම මේ රටේ සුඛිත, මුදිත ආර්ථිකයක් ගොඩනඟනවා කියලා. යුද්ධය පැවති ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු, ධීවර කටයුතු ඇතුළු අනෙකුත් නිෂ්පාදනයන් තුළින් ආර්ථිකය නැවත ගොඩනැගිය හැකි බව පාලකයන් කිව්වා. සහල්නැලිය ප්‍රදේශයේ වී අස්වැන්න පෙන්වමින් එදා සිටි පාලකයන් සහලින් ස්වයංපෝෂිත කරන බවට පුරාජේරු දෙඩවූවා. යාපනයේ මාළු මාර්කට් එකට ගියපු එවකට ධීවර ඇමති රාජිත සේනාරත්න මුළු රටෙන්ම ධීවර සම්පත නෙළාගෙන රට සංවර්ධනය කරන හැටි කිව්වා. මේ නිසාම ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන සිටියා.

නමුත් යුද්ධය අවසන් කර අවුරුදු 14ක් සම්පූර්ණ වන විට ආර්ථිකය කඩාගෙන වැටිලා සම්පූර්ණයෙන් බංකොළොත් වෙලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාකර තිබෙනවා. යුද්ධයට මුවාවී එදා ප්‍රශ්නය යටගසා ගත්තත් රට ගොඩනගන්න කිසිදු සැලැස්මක් පාලකයන්ට නැති බව අද ඕනෑවටත් වඩා ඔප්පුවී තිබෙනවා. යුද්ධය ඇති කාළෙත් බලය ලබාගැනීමට බලය පවත්වාගෙන යාමට ජාතිවාදය, ආගම්වාදය යොදා ගත්තේ පාලකයන් බව ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා. ජනතාවගේ හැඟීම් අවුස්සලා, ජාතිකත්ව අනුව, ආගම් අනුව බෙදමින් විවිධ කල්ලි කණ්ඩායම් නිර්මාණය කර, ඒ හරහා තමන්ගේ බලය පවත්වාගෙන ගියා. යුද්ධය අවසන් කළ පසු සෑමදෙනාම එක්වී ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැඟීම පිළිබඳව තිබූ සියලු බලාපොරොත්තු විනාශ කළ පාලකයන් ආර්ථිකය, ජාතික සමගිය, ගොඩනැගුවේ නැහැ.

යුද්ධය අවසන් කර හරියටම සතියකින්, අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මැයි 26 වැනිදා ජාතික සමගිය ගොඩනැඟීම පිළිබඳ යෝජනා මාලාවක් ආණ්ඩුවට ලිඛිතව ලබාදුන්නා. ඒ යෝජනා මාලාව මේ රටේ ජනතාවටත් ඉදිරිපත් කළා. අවතැන් ජනතාවගේ ප්‍රශ්නය, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය, පිළිබඳ වහාම තොරතුරු සොයා බලා සාධාරණය ඉටුකරන්න අවශ්‍ය මැදිහත්වීම් වහාම කළ යුතු බව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධවී වසර දෙකක කාලයක් සඳහා කාර්යසාධක බලකායක් ගොඩනඟා යුද්ධයෙන් පීඩාවට පත්වූ සියලු පාර්ශ්ව සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ යළි ගොඩනඟන්න ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නා. සියලු පාර්ශ්වයන්ගේ සිත් සුවපත් කරන්න සත්‍ය හා ප්‍රතිසංධාන කොමිසම වහාම පිහිටුවිය යුතු බව යෝජනා කළා. නමුත් අවුරුදු 14ක් ගෙවී ගියත් බලයේ සිටි ආණ්ඩු කිසිවක් මේ සාධනීය ක්‍රියාමාර්ග අනුගමනය කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි යහපාලන ආණ්ඩු කාලයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලිඛිතව පොරොන්දු ලබාදෙමින් සත්‍ය හා ප්‍රතිසංධාන කොමිසම පිහිටුවන බව පොරොන්දු වුණා. විදේශ ඇමති සහ අධිකරණ ඇමතිවරයා දකුණු අප්‍රිකාවේ සමුළුවකට සහභාගී වීමෙන් පසුව නැවත මෙම කොමිසම පිහිටුවන බව ප්‍රකාශ කළා.

දැන් ඇත්තටම පරක්කු වැඩියි. අවුරුදු 14ක් ගිය තැන ජාතික සමගිය, ආර්ථිකය ගොඩනැඟීම වෙනුවට නැවත ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන විවිධ කටයුතු ලංකාවේ විවිධ තැන්වල සිදුකෙරෙන බව අපි දැක්කා. ත්‍රිකුණාමලයේ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකට තවත් පිරිසක් විරෝධය පළකිරීමේ සිදුවීම, ජෙරෙම් ප්‍රනාන්දු නමැති පුද්ගලයෙක් බුදු දහමට අපහාස වන ප්‍රකාශ සිදුකර නැවත ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන තත්වයන්, යුද්ධයෙන් මියගිය අය සැමරීම සහ ඊට එරෙහිව ජාතිවාදය ඇවිස්සීමේ සිදුවීම් නිර්මාණය කෙරෙමින් තිබෙනවා. උතුර දකුණ හෝ ලංකාවේ කවර හෝ තැනක යුද්ධය හේතුවෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන්ට මියගිය අය අනුස්මරණය කිරීමේ අයිතියක් තිබෙනවා. ඒ අයිතියට හෝ ඉඩනොදී විවිධ මැර, ජාතිවාදී කණ්ඩායම් මෑතදී ක්‍රියාත්මක වෙන හැටි අපි දැක්කා.

ජීවත් වෙන්න බැරිව අන්ත පීඩනයක සිටින ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය යටගසා කුමන්ත්‍රණකාරී ආකාරයට ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන කුමන්ත්‍රණකාරී දේශපාලන ක්‍රියා සිදුකරමින් පවතිනවා. 2019 ජනාධිපතිවරණය ආසන්න කාලයේත් වඳ කොත්තු, වඳ සැත්කම්, වඳ ඇඳුම් ආදී විවිධ ප්‍රචාර ගෙනගියා. එහි කූටප්‍රාප්තිය බවට පාස්කු ප්‍රහාරය හඳුන්වන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පසුව මේ දක්වා වඳ දොස්තරලා, වඳ කොත්තු වගේ කිසිවක් නැහැ. ඉතිහාසය කළා වගේම දැනුත් පාලකයෝ කරන්නේ කුමන්ත්‍රණකාරී ලෙස සමාජයේ විවිධ තැන්වල ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇති කිරීමට ක්‍රියාකිරීමයි. මේවා බැලූ බැල්මට මතුපිටින් තේරුම් ගන්න අමාරුයි. පසුගිය සතිය ඇතුළත සිදුවීම් දෙක තුනක් ඇති කිරීම දෙස බැලීමෙන් මේ බව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.

ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්න මතුකර ඒ කුමන්ත්‍රණයේ ගොදුරු බවට ජනතාව පත්කිරීමේ උත්සාහයක් පැහැදිලිව අපි දකිනවා. මේ පිටුපස අනිවාර්යයෙන්ම ඉතිහාසයේ වගේම සැඟවුණු හස්තයන් තිබෙනවා. ඒ නිසා මේ රටේ සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් අපි අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ නැවත ආගම්වාදී, ජාතිවාදී ගැටුම් ඇතිකිරීමේ කුමන්ත්‍රණ ලප්තැනම ලොප් කරන ලෙසයි. යම්කිසි කණ්ඩායමක් සිදුකරන වරදක් දඩමීමා කරගෙන ප්‍රතිවිරුද්ධ ගැටුම් හදන්න යාමෙන් ඇති වන මහජන කැලඹීමක් පාලකයන් අපේක්ෂා කරනවා. එයට හසුනොවී ජාතික සමගිය ගොඩනඟන්න, ආගමික සමගිය ගොඩනඟන්න ක්‍රියාකරන ලෙස ඉතාමත් ඕනෑකමින් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි දේශපාලනයේ යෙදී සිටින ස්ථාවරය කවර හෝ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් තවත් ජාතිකත්වයක් හෝ ආගමක් නිග්‍රහයට ලක්කරන්න සිදුකරන සියලුම ක්‍රියාමාර්ග අපි දැඩිව හෙළාදකිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන ආගම් ඇදහීමේ නිදහස ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. මෙවැනි කුමන්ත්‍රණ ඇතිකරන පළමු අවස්ථාවේදීම බුද්ධිමත්ව තේරුම් ගෙන ඒවා පරාජය කරන්න වහාම මැදිහත් වෙන්න කියලා මේ රටේ සියලු ජනතාවගෙන් අපි ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”

ආණ්ඩුවේ බැරිකම වහගන්න ජාතිවාදය හා ආගම්වාදය අවුස්සනවා…
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් දැක්වූ අදහස්,

“යුද්ධය අවසන් කර අවුරුදු 14කට පසුවත් අපිට සාකච්ඡා කරන්න සිදුවී තිබෙන්නේ මේ රට ජාතික සමගිය ගොඩනැගීම ගැන නම්, අපි ඉන්නේ ඉතාම පසුගාමී තත්වයක. වසර 30ක යුද්ධයෙන් පස්සේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දෙනාගේම අලුත් රටක්, ආර්ථිකයේ දියුණුවක් සියලු දෙනාටම සාමයෙන් ජීවත් විය හැකි රටක් ගැන සිහින දැක්කා. අදටත් ඒ සිහිනය බොඳවී තිබෙන්නේ. යුද්ධයෙන් බලපෑමට ලක්වූ කාන්තාවන් විශාල පිරිසක් ඉන්නවා. යුද්ධයෙන් ආබාධිත වූ ජීවිත අහිමි වූ යුධ සෙබලුන්ගේ බිරින්දෑවරුන්, දරුවන් සහ මව්පියන් වගේම යුද්ධය පැවති ප්‍රදේශවලත් තරුණ වැන්දඹුවන්, ඒ අයගේ දරුවන් හෝ මාපියන් විශාල ප්‍රමාණයක් කිසිම හවුහරණක් නැතිව සිටිනවා. තමන්ගේ ආර්ථිකය තමන් විසින්ම සපුරාගත යුතු කාන්තා ගෘහ මූලික පවුල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. තමන් වගාකරගෙන සිටි ඉඩම් අහිමි වූ, නිවාස අහිමු වූ, ජීවනෝපාය මාර්ග අහිමි වූ දරුවන්ට අධ්‍යාපනය දිය නොහැකි වූ විශාල පිරිසක් අදටත් මේ රටේ ඉන්නවා.

ආර්ථික අසමානතාවයන්ට විශාල වශයෙන් ගොදුරුවූ විශේෂයෙන්ම යුද්ධයෙනුත් පීඩාවට පත්වූ පිරිස කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුකර නැහැ. කාන්තාවන් සහ දරුවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ නැහැ. ජාතික සමගිය ගොඩනැගීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ නැහැ. එවැනි වටපිටාවක යුද සැමරුම ආසන්න දිනවල නොයෙක් විදිහේ සියලුම වර්ගයේ ආගමික අන්තවාදයන්, සියලුම වර්ගයේ ජාතික අන්තවාදයන් හා මූලධර්මවාදී කණ්ඩායම් නැවත තමන්ගේ බලය වර්ධනය කරගෙන දේශපාලන ගේම් එකට උදව් කරන්න මතුවෙමින් සිටිනවා. මේක දේශපාලනික උගුලක්. මේ රටේ ආර්ථිකය ගොඩනඟා, ජාතික සමගිය තහවුරු කර, ජනතාවගේ ජීවන මට්ටම ඔසවා තබන්න අසමත්වූ ආණ්ඩු එය වහගන්න උපක්‍රමයක් හැටියට ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් ඉන්නවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ඒකරාශීවී වැඩබැරි ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනවා මිස අපි එකිනෙකා සතුරු කඳවුරුවලට නොබෙදී ඉන්න වගබලා ගත යුතුයි. අපි එකාවන්ව නැගී සිට, සෑම ආගමකම, සෑම ජාතියකම අන්තවාදයත්, මූලධර්මවාදයත් පරාජය කරන්න එකාවන්ව අවබෝධයෙන් කටයුතු කරමු කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:- රණවිරු සැමරුම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වර්ජනය කර තිබුණාද?

පිළිතුර:- මහින්ද රාජපක්ෂ, ගෝටාභය යුධ සැමරුම වර්ජනය කළාද වෙන හේතුවක් මත නොපැමිණ සියටිාද කියලා අපි හරියට දන්නේ නැහැ. නමුත් යුද්ධය වෙලාවේදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඍජුව සහ වක්‍රව උදව් දුන් අය වර්තමානයේ යුද්ධය සැමරීම ඉතිහාසයේ සරදමක්. ඒ සිදුවීම් දෙස බැලුවාම මේ රටේ ජනතාවට පේන්න තියෙන්නේ විහිළුසහගත තත්වයක්. ඒකයි අපි කියන්නේ යුද්ධයට අකුල් හෙළපු අයම එය සැමරීම ඉතිහාසයේ සරදමක් කියලා.

ප්‍රශ්නය:- මැතිවරණය දිනාගැනීමේ සටන අත්හැරලාද?

පිළිතුර:- පැහැදිලිවම නැහැ. දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන අපේ පැමිණිලි අවස්ථා කිහිපයකදී විභාගයට ගත්තා. අපි ඒ සඳහා මැදිහත් වෙනවා. මැතිවරණයක් දිනාගැනීමේ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. ප්‍රාදේශීය සභා මැතිවරණය, පළාත් සභා මැතිවරණය විවිධ කරුණු ඉදිරිපත් කරමින් කල්දමා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවත් ජනාධිපතිවරයාත් ජනමතය නියෝජනය නොකරන, ජනමතයට විරුද්ධව ක්‍රියාකරන ආයතන බවට පත්වෙලා. ජනතා මතයට විරුද්ධ පාලනයක් තමයි දැන් රටේ ක්‍රියාත්මක වෙන්නේ. මේ විකෘතිය වහාම වෙනස් කරන්න ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්දය දිනාගැනීම වෙනුවෙන් තව තවත් ක්‍රියාමාර්ග ඉදිරියේදී ශක්තිමත්ව ගෙනියනවා.

ප්‍රශ්නය:- මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ගන්නා ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- පුද්ගලයෙක් ආරක්ෂා කිරීමේ පදනමින් නොවෙයි, ඔහු නියෝජනය කළ මතය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අයිඑම්එෆ් කොන්දේසිවලට අනුව ආණ්ඩුව අසාධාරණ ලෙෂ විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාව බලහත්කාරයෙන් ඉවත් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. විදුලි බිල වැඩිකිරීමේ යෝජනාවට ආරම්භයේ සිටම ඔහු ඊට විරුද්ධ වුණා. ආණ්ඩුව කොමිසමේ අනෙක් සාමාජිකයන්ව තමන්ට අවශ්‍ය ආකාරයට මෙල්ල කර ගත්තා. හිටපු සාමාජිකයන් ඉවත් කළා. අයි.එම්.එෆ්. යෝජනාව අනුව විදුලි බිල වැඩිකරන්න ආණ්ඩුවට තිබුණු බාධාව මේ සභාපතිවරයා. දැන් ඔහුව ඉවත් කරන්න ගෙන යන අසාධාරණ ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා අපි පෙනී සිටිනවා.

ප්‍රශ්නය:- දැන් මැතිවරණ කොමිසම පේන්නත් නැහැ. මොකද වෙලා තිබෙන්නේ?

පිළිතුර:- මැතිවරණ කොමිසම තිබෙනවා. හැබැයි ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකාවක් වන චාල්ස් මහත්මිය, පසුගිය දිනෙක ඉල්ලා අස්වුණා. දැන් එතුමිය ආණ්ඩුකාර ධුරයට පත්කර තිබෙනවා. මේ ඉල්ලා අස්වීමයි, ආණ්ඩුකාර ධුරයට පත්කිරීමයි දේශපාලන උවමනා මත සිද්ධ වුණු බව දැන් ඉතාම පැහැදිලියි. කොමිසම ස්වාධීනව ක්‍රියාත්මක නොවෙන බවට තිබෙන ප්‍රබලම සාක්ෂිය තමයි චාල්ස් මහත්මිය ඉල්ලා අස්වීම සහ එතුමිය ආණ්ඩුකාර ධුරයට පත්කිරීම.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *