Latestදේශීයමතවාද

ආන්ඩුවේ තීරණයට එරෙහි වෙමි

(ශාලික විමලසේන)

නතාෂාගේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මර්දනයෙන් පිළිතුරු දීමේ ආණ්ඩුවේ අත්තනෝමතික තීරණයට මම එරෙහි වෙමි.

එහි අන්තර්ගතය සම්බන්ධයෙන් සංවාදයක් මතු කළ යුතු නම්, එය අනිවාර්යයෙන්ම ප්‍රශ්න කළ යුතුය. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සියල්ලන්ගේ අයිතියකි.

එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම නිදහසට සීමා මායිම් ද තිබේ.

හාස්‍යය කලාව ගැන මට එතරම් දැනුමක් නැත. එහෙත් හුඟක් හාස්‍ය ඉදිරිපත් කිරීම් මම නරඹමි. මෙය ද හාස්‍යය ඉදිරිපත් කිරීමකි.

එහි නිර්මාණශීලිත්වය සම්බන්ධයෙන් ගැටළුවක් තිබේ.

අනෙක් අතට ආගමික හෝ සමාජයේ වෙනත් සම්මත මතවාදයන් සාපේක්ෂව වෙනස් විය යුතුය. එහෙත් සම්මත මතවාදයන් විවේචනය කරන්නේ නම්, ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි මම විශ්වාස කරමි. නැතහොත් සිදුවන්නේ පැවති මතය තවදුරටත් ස්ථාවර වීමකි. බලය වෙනුවෙන් ඕනෑම ගේමක් ගැසීමට සූදානම් පාර්ශ්වවලට මේවා ආශිර්වාද ය.

නිශ්චිත තොරතුරක් නොමැතිව, මේ පිටුපස එවැනි සැලසුමක් ඇතැයි මට සැක කළ නොහැකිය. එහෙත් 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පෙර ද සමාජගත කළ මෙවැනි මාතෘකා තිබිණි. අප ජීවත් වෙමින් සිටින්නේ බලය ලබාගැනීම සහ පවත්වා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් ලෝකයක ය.

නතාෂා මේ විවේචනය ඉදිරිපත් කළේ නිශ්චිත දැක්මක් සහිතව නම්, ඇය සමාව ගැනීම මට ගැටළුවකි. එහෙත් ඇය විදෙස්ගත වීමට මම විරුද්ධ නැත. විදෙස්ගත නොවී තමන්ගේ මතවාදය වෙනුවෙන් සෘජු ව පෙනීසිටිය හැකි, නීතියේ ආධිපත්‍යය හරියට ක්‍රියාත්මක වන රටක් නොවේ, මෙය.

එම නිසා ඇයට විදෙස්ගත වී, තමන්ගේ මතවාදය වෙනුවෙන් පෙනීසිටිය හැකි ව තිබිණි. ඒ සඳහා අද උදේ වන තෙක් සිටියේ අපරාදේ ය.

එහෙත් ඊට පෙර ඇය සමාව ගත්තාය. ඒ නිසා අන්තවාදීන්ට ආයුධ ලැබිණි.

සම්මත මතවාද අසම්මත උපක්‍රමවලින් විවේචනය කිරීමට මම එකඟ වෙමි.

නතාෂාගේ ඉදිරිපත් කිරීම බහුතර සමාජයේ ඡන්ද කුට්ටිවලට සිදුකරන බලපෑම අතිවිශාල ය. එම නිසා ඇතැම් විට නතාෂාගේ ඉදිරිපත් කිරීම සමග එකඟ දේශපාලන කණ්ඩායම්වලට මෙහිදී සද්ද වසාගැනීමට සිදු වීම සාධාරණ ය.

එහෙත්,

ආණ්ඩුව නීති මගින්, මර්දනය මගින් නතාෂාගේ ඉදිරිපත් කිරීම හරහා තමන්ගේ අසමත්කම් – අපරාධ යටගසා ගැනීමේ උත්සාහයට එරෙහිව මම කොන්දේසි විරහිතව විරුද්ධ වෙමි.

නතාෂා නොදැන, නතාෂා ආණ්ඩුවේ අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි වී ඇත. මෙය මෙතැනින් නතර කළ යුතුය.

එසේ ම නතාෂාගේ සම්පූර්ණ ඉදිරිපත් කිරීම සියල්ලන් බැලිය යුතුය. ආණ්ඩුව පෙන්වන්නේ ටිකකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *