Latestදේශීය

මිනිස් සමාජය ශිෂ්ඨසම්පන්න කළ හැකි අධ්‍යාපනයක් අවශ්‍යයි

“සමාජය මීට වඩා ශිෂ්ඨ සම්පන්න, කාරුණික, එකිනෙකාට ආරක්ෂාව දෙන, ඒ වෙනුවෙන් කළ යුතු සමාජ පරිවර්තනයට අවශ්‍ය නායකත්වය බිහි කළ හැකි අධ්‍යාපනයක් අපට අවශ්‍යයි. ආණ්ඩුව කරන මේ විනාශය තවදුරටත් අපි ඉවසිය යුතු නැහැ. දැනට තිබෙන තත්වයවත් බේරාගැනීමේ යුතුකමක් අපට තිබෙනවා. 1978 ඇති කළ ආර්ථික මොඩලය තුළින් ලොකයේම අර්බුද ඇතිකර තිබෙන බවට අද ලෝකයම පිළිඅරගෙන තිබෙනවා. මේ ආර්ථිකය තවදුරටත් ක්‍රියාත්මක වීමට අපි ඉඩදිය යුතු නැහැ. මේ මොහොතේ වෙනස් වී තිබෙන ලෝක තත්වය ඉල්ලන, මානුෂීය, සමාජමය වටිනාකම් තිබෙන, මානව සම්පත දියුණු කරන, සමාජමය පරිවර්තනයක් ලබාගන්න නම්, මේ විනාශකාරී ගමන නවතා දමන්න අපි කටයුතු කරමු.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කර සිටියේ පසුගිය 27 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ පවත්වන ලද “අර්බුදයට යවන අධ්‍යපනය සහ සෞඛ්‍යය”යන මැයෙන් වූ සම්මන්ත්‍රණය අමතමිණි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“අද ඇති වී තිබෙන අර්බුදයට විසඳුම් සොයනවා වෙනුවට එය තව තවත් තීව්‍ර කරන අතර මේ රටේ ජනතාව සහ තරුණ තරුණියන් බලාපොරොත්තු වෙන විසඳුම් බලාපොරොත්තු විය නොහැකි තත්වයකට පත්වී තිබෙනවා. දිනෙන් දින, පැයෙන් පැයට ලැබෙන ප්‍රවෘත්ති අනුව කෙතරම් කාලයක් මෙය ඉවසා ගෙන සිටිය හැකිවේවිද කියන ප්‍රශ්නය මතුවෙනවා.

අද හදිසියේම දින 05ක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සමගම හදිසියේම පාර්ලිමේන්තුව කැඳවන බවට තොරතුරු ලැබෙනවා. ඉතිහාසයේ කිසිදු දවසක ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව කැඳවා නැහැ. අයවැය කාලයේ කලාතුරකින් සෙනසුරාදා දින පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා. නමුත් ඉරිදා දින පාර්ලිමේන්තුව මෙතෙක් කැඳවා නැහැ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවවත්, අපේ රටේ යුදමය තත්වයන් යටතේවත් පාර්ලිමේන්තුව ඉරිදා දින කැඳවා නැහැ. නමුත් හදිසියේම සෙනසුරාදා හා ඉරිදා දින පාර්ලිමේන්තුව කැඳවීමට සූදානම් වී තිබෙනවා. මේ තීන්දු තීරණ සියල්ලම ජනතාවගේ ප්‍රශ්න තේරුම් නොගෙන, එක පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වෙන බව පැහැදිලියි. මේ ආණ්ඩුව IMFඑකේ උපදෙස් වට්ටෝරුව ක්‍රියාත්මක කරමින් ජනතාවගේ දරිද්‍රතාවය, වැඩිකරමින් තිබෙනවා. ජනතා ප්‍රශ්නවලට යම්කිසි විදිහකට රැකවරණය ලබාදුන් සමාජ ආරක්ෂණ ක්‍රමයත් ක්‍රමානුකූලව නැති කරමින් යනවා.

මානව සම්පත රැකගැනීමේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් තමයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය. ආණ්ඩුවේ ප්‍රධාන වගකීම ජනතාව රැකගැනීමට නම්, පාලකයන් මේ ක්ෂේත්‍ර දෙක කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. අද වනවිට මේ ක්ෂේත්‍ර දෙකම බරපතළ අවධානමක තිබෙනවා. දරිද්‍රතාවයේ ඉහළින්ම පෙළෙන ජනතාවට සොච්චම් සහනයක් ලබාදුන්නු සමෘද්ධි ව්‍යාපාරයත් නැති කරමින් ඒ වෙනුවට “අස්වැසුම” නමින් නව වැඩසටහනක් ජනතාවට බරපතළ ප්‍රශ්න රාශියක් ඇතිකර තිබෙනවා. මේ මතුවී තිබෙන ගැටලු කිසිවක් අහම්බයකින් ඇති වූවා නොවෙයි.

1978න් පසුව ක්‍රියාත්මක වුණු සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නිසා ඇති වී ඇති බව තේරුම් ගන්න ඕනෑ. 1978 ආරම්භ වූ එම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන ලක්ෂණයක් තමයි රජය සමාජ වගකීමෙන් ඈත්වීම. සමාජ සුභසාධනය, හා සමාජ ආරක්ෂණයෙන් ඈත් වුණා පමණක් නොවෙයි, ඉතා ඕනෑකමින් එම සමාජ සුබසාධන හා සමාජ ආරක්ෂණයන් අහෝසි කිරීමේ ක්‍රියාවලියක යෙදුණා. රජය වගකීමක් ලෙස හඳුනාගත්තේ ආර්ථිකය වෙනුවෙන් පෙනී සිටීම පමණයි. ඔවුන් එය අර්ථකථනය කළේ, ක්‍රියාවට නැගුවේ වෙළඳපොළට, ජනතාව සහ ආර්ථිකය තව තවත් බද්ධ කිරීමයි. දශක කිහිපයක් පුරාවට ආණ්ඩුව, සමාජ ආරක්ෂණය, සහ වගකීමෙන් ඈත්වීමේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේත්, අධ්‍යාපන ක්ෂේත්‍රයෙත් ඇතිවී තිබෙන ගැටලුවලට හේතුව වී තිබෙනවා. සමාජ ආරක්ෂණයෙන් ආණ්ඩුව අයින් වීම නිසාම සමාජ ආරක්ෂණයේ වගකීම පැවරෙන්නේ පුද්ගලික වගකීමක් හැටියට. එවිට තමන්ගේ ආරක්ෂණයත්, තමන්ගේ සාර්ථකත්වයටත් සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ “පුද්ගලිකය” කියන ඒ අදහස ක්‍රමානුකූලව සමාජය තුළ ගොඩනඟන්න පටන් ගන්නවා. පුද්ගලිකත්වයට භාරදීම තුළ සිදුවන්නේ ඊට සමගාමීව සිදුවන්නේ, සමාජ ආරක්ෂණය සඳහා, විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍ර සඳහා අපි අනුගත වෙනවා. ඒ මානව සම්පත් දියුණු කිරීමට, ආරක්ෂා කිරීමට අවශ්‍ය සේවාවන්වලට, වෙළඳපොළ මත යැපෙන්නටත් අපට බලකිරීමක් කරනවා. රජය මේවායින් අයින්වීමත්, ආණ්ඩු මේවාට වග නොකියන නිසාත්, ජනතාව හැටියට පුරවැසියන් හැටියට ක්‍රමානුකූලව වෙළඳපොළ හරහා මේවාට විසඳුම් සෙවීමට සිදුවෙනවා.

අද වනවිට අධ්‍යාපනය පවත්වාගෙන යාම භාරදී තිබෙන්නේ වෙළඳපොළට. දරුවන්ගේ පාසල් යාම, පාසල්වල තිබෙන ප්‍රශ්න නිසා ඔවුන්ට බලකරනවා, පාසල්වලින් පිටත තිබෙන පන්තිවලින් ඉගෙන ගැනීමට. මේ නිසාම පවුල් හැටියට අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා. මේ හරහා බරපතළම ප්‍රශ්නය වෙන්නේ අධ්‍යාපනය මහජන සේවාවක් වෙනුවට වෙළඳ භාණ්ඩයක් ලෙස සැලකීමට පත්වෙලා තිබෙනවා. වෙළඳ භාණ්ඩයක් වීම තුළම, එයට පුද්ගලික ආයෝජනයක් සිදුවීමත්, පුද්ගලික ප්‍රතිලාභ ලැබීම, පුද්ගලික වගකීමක් දැරීම සිදුවෙනවා. දරුවෙකුට අධ්‍යාපනය ලබාදීමට විශාල වියදමක් දැරීමටත්, එය තමන්ටම දැරීමටත්, එය සාර්ථක වීම හෝ අසාර්ථක වීම පවුල සහ දරුවාට භාර ගැනීමටත් සිදුවෙනවා. ඒ නිසාම අධ්‍යාපනය තුළින් සමාජයට ලැබිය යුතු ප්‍රතිලාභ වෙනුවට තනි තනිවම ප්‍රතිලාභ ලබන තත්වයට පත්වී තිබෙනවා. පසුගිය දශක හතර තුළ ක්‍රමානුකූලව සිදුවෙමින් තිබූ දෙය තමයි ආණ්ඩුව අධ්‍යාපනයට ඉටුකළ යුතු සමාජ වගකීම, පුද්ගලික වගකීමක් බවට පත්වී විකෘති කිරීමක් බවට පත්වෙලා තිබෙනවා.

ඒ නිසාම අධ්‍යාපනයේ අරමුණු සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ අන්තර්ගතය, ඒ ඒ විෂය තුළ අන්තර්ගතය, අධ්‍යාපන පරිපාලනයද, ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය, ශිෂ්‍යයන් සහ සමාජය අතර ඇති සම්බන්ධතාවය, අධ්‍යාපන ආයතන හා සමාජය අතර සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. සම්බන්ධතා ක්‍රියාවලියක් වෙනුවට පුද්ගලික ක්‍රියාවලියක් බවට පත්වී තිබෙනවා.

මෙහි ප්‍රතිඵල මොනවාද බලමු. විශේෂයෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් දරන බර පවුල මත පැටවී තිබෙනවා. අද අම්මලාට දරුවන් සමග පාසල් යාමට සිදුවී තිබෙනවා. දරුවා පාසලට භාරදීමේ සිට අම්මලාට විශාල බරක් ඇදගෙන යාමට සිදවෙලා. මේ විශාල මහන්සියක් දරා උගන්වන දරුවාට බලාපොරොත්තු වෙන අධ්‍යාපනය ලැබෙනවාද? තරගකාරී පුද්ගල කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය නිසා ආර්ථිකයට අවශ්‍ය සුදුසු පුද්ගලයා බිහිවෙන්නේත් නැහැ. සමාජය ශිෂ්ට සම්පන්න තැනකට ගෙනයාමට අවශ්‍ය පුද්ගලයා බිහිවෙන්නේත නැහැ.

අධ්‍යාපනය සමබන්ධව දීර්ඝ ඉතිහාසයක් අපට තිබෙනවා. 1978ට පෙර අධ්‍යාපනයට විශාල සමාජ වගකීමක්, වටිනාකමක් දුන් සංස්කෘතියක් තිබෙන රටක් වශයෙන් තිබුණා. 1978 ආරම්භ වූ මේ අධ්‍යාපන ක්‍රමයට එරෙහිව බලවේග සංවිධානය වුණා. ශිෂ්‍ය ව්‍යාපාර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ව්‍යාපාර, වෘත්තිය සමිති, ගුරු සංගම්, විසින් කරන ලද අරගල හරහා අධ්‍යාපනයේ තිබිය යුතු ගුණාංග, අධ්‍යාපනයේ තිබිය යුතු සමාජ වටිනාකම යම්කිසි විදිහකට රැකගන්න හැකියවක් ලැබුණා. ඒ නිසාම තමයි කොයිතරම විකෘති කරන්න උත්සාහ ගත්තත් අධ්‍යාපනයේ වටිනාකම සමාජය තරමකින් හෝ රැකුණා. අද වන විට එයත් ඉතාම අවදානම් සහිත තැනකට පත්වී තිබෙනවා.

දැන් ඇතිවී තිබෙන ආර්ථික පීඩනය පාවිච්චි කරමින්, මෙතෙක් ඉටුකර ගැනීමට නොහැකි වුණු ක්‍රියාවලියක්, ක්‍රියාවට නගන්න ආණ්ඩුව උත්සාහයක් ගනිමින් තිබෙනවා.
අපි බලමු මොනවාද ඒ නිශ්චිත කරුණු කියා. අපේ රටේ පාසල් 10165ක් තිබුණත් මේ පාසල් අතර විශාල විෂමතාවයන් තිබෙනවා. ඉගෙනුම් පරිසරයක් නොමැතිවීමෙන්, දරුවන් නැති පාසල් තිබෙනවා. සාමාන්‍ය පෙළට හා උසස් පෙළට දරුවන් පාසලට පැමිණෙන්නේ රෙජිස්ටරයේ නම තබාගැනීමටත්, විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පැමිණිම සහතික කරගැනීමටත් පමණයි. ගුරුවරුන්ට ඉගෙනුම් ක්‍රියාවලිය කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් නොමැති වීම, ආරක්ෂිතභාවය නොමැති වීම, නිසා ඉහළ පන්තිවල දරුවන්ගේ පැමිණීමේ අඩුව තිබෙනවා. ආහාර අනාරක්ෂිතභාවය, අසහනය, පාසල තුළ, විශ්වවිද්‍යාලය තුළ තිබෙනවා. සමාජ අර්බුදය පාසල තුළට, විශ්වවිද්‍යාල තුළට පැමිණ තිබෙනවා. 2021- 2022 දී රජය විසින්ම කර තිබෙන සමීක්ෂණවලට අනුව තුන්වන ශ්‍රේණියේ සාක්ෂරතාවය 6%යි. ගණිතයට සාක්ෂරතාවය 7%යි. මෙයට කොවිඞ් තත්වයත් බලපෑවා. මෙයට අපි දිය යුතු විසඳුම කුමක්ද? යන්න ගැන රජයේ අවධානය යොමුවී නැහැ. ඒ වගේම පාසල් අතහැර යාම 8834 සිට 9269 දක්වා වැඩිවී තිබෙනවා. අද මෙය ඉතාමත් සීඝ්‍රයෙන් වැඩිවී තිබෙනවා. අද ගුරුවරුන්, දරුවන් මුහුණ දෙන මේ ප්‍රශ්නවලට රජය විභාග කල්දමනවා හැරුණු විට නැතිවූ අධ්‍යාපනය ලබාදීම සඳහා කළ කිසිවක් නැහැ.

පාසල් මුහුණ දෙන ගැටලු දෙස බලන විට ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම්, වැටුප් ප්‍රශ්න, පරිපාලන ප්‍රශ්න, තිබෙනවා. උසස් අධ්‍යාපනය කාලයක් තිස්සේ බරපතළ අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. උසස් අධ්‍යාපනය යනු විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණක්ම නොවෙයි. වෘත්තිය, කාර්මික, විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් අධ්‍යාපනයයි. ඒ ඒ අංශ සඳහා වෙනම ඉතා පැහැදිලි ව්‍යුහයන් තිබුණා. අද මේවායේ වෙනසක් නැහැ. ආණ්ඩුව අධ්‍යාපනය පිළිබඳව අරමුණක්, සැලැස්මක් නැතිව කටයුතු කරනවා. එදා කාර්මික අධ්‍යාපනයට අනුමත වී තිබුණු කාඩර් එක 1161යි. අද ඉන්නේ 470යි. හාඩි එක, ඇතුළු කාර්මික ක්ෂේත්‍රයට අදාළව සෑම පළාතකම තිබෙන ඒ ව්‍යුහය අද කඩාවැටීමට ලක්වෙලා. එම අධ්‍යයන ආයතනවලින් ඉවත්වන සංඛ්‍යාව මුල් අවස්ථාවට වඩා 25% සිට 30% දක්වා වැඩිවී තිබෙනවා. මේ වැඩසටහන් හරිහැටි කරගෙන යාමට නොහැකි වීම, ප්‍රවාහන ප්‍රශ්න, ආර්ථික අපහසුකම් තරුණ තරුණියන් මේ ආයතනවලින් ඉවත් වෙනවා.

වෘත්තිය අධ්‍යාපනය ලබාදෙන වෙනත් ආයතනවලත් බරපතළ ගැටලු පැනනැගී තිබෙනවා. එම ආයතන මුදල් අයකරන පාඨමාලා බවට පත්වෙමින් යනවා. කටුනායක තිබුණු මුදල් අය නොකර අධ්‍යාපනය ලබාදුන් ඉංජිනියරින් ආයතනය දැන් මුදල් අය කිරීමට කටයුතු කරනවා. වෘත්තිය පුහුණු වැඩසටහන් බොහොමයක් මෙ වසරේ සිට මුදල් අයකිරීමේ පදනම මත පවත්වාගෙන යාමට කටයුතු කරනවා. විශ්වවිද්‍යාල තුළත් අද බරපතළ ප්‍රශ්න පැනනැගී තිබෙනවා. ආහාර ප්‍රශ්නය, අනාරක්ෂිත තාවය, ප්‍රවාහන අපහසුතා, නවාතැන් පහසුකම් නැති නිසා, විශ්වවිද්‍යාල තුළින් ඉවත්වීමට හේතුවී තිබෙනවා. විශවවිද්‍යාලය කියන්නේ සමාජ ප්‍රගමනය සිදුකරන, අලුත් ඉදිරි පිම්මක් ලබාදෙන, දැනුම නිර්මාණය කරන තැනක්, විය යුතුයි. විශ්වවිද්‍යාලයක් ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නවාද නැද්ද යන්න තීරණය වෙන්නේ එයින් නිර්මාණය වන අලුත් දැනුම. අලුත් දැනුම නිර්මාණය වෙන්නේ පශ්චාත් උපාධි ආයතන. අද පශ්චාත් උපාධි ආයතන බොහොමයක් තිබුණත්, කෘෂිකර්ම, වෛද්‍ය, කළමනාකරණය, විද්‍යාව, යන ආයතනවලට ආණ්ඩුව කිසිදු මුදලක් මේ වන තෙක් වෙන්කර නැහැ. අද එය බරපතළ ලෙස විකෘති කර තිබෙනවා. ඉංග්‍රීසි උගන්වන බවට පම්පෝරි ගහන රනිල් වික්‍රමසිංහ ගුරුවරුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදෙන පශ්චාත් ආයතනයට කිසිදු මුදලක් ලබාදී නැහැ. අද කාර්ය මණ්ඩලයේ වැටුප් ගෙවීමට පවා අපහසුතත්වයට පත්වී තිබෙනවා. උගන්වන පැය ගණන අනුව හා පැමිණීම අත්සන් කිරීමත් කළ යුතුව තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු උගන්වන පැය ගණන අනුව ඔහුගේ කාර්යභාරය තීරණය කරනවා නම්, එය ඛේදවාචකයක්. එය පැය අටක රැකියාවක් නොවයි. ඔහු කියවන්න, පර්යේෂණ කරන්න, හිතන්න ඕනෙ. පේපර් හදන්න, මාර්ක් කරන්න, අලුත් විෂය මාලාවන් නිර්මාණය කරන්න ඕනෙ. ඒ ගැන නොසිතා විශ්වවිද්‍යාලය කියන අදහස පවා අද විකෘති කර තිබෙනවා.

ආණ්ඩුව මානව සම්පත ආරක්ෂා කිරීමේ වගකීමෙන් ඉවත් වෙමින් සෑම ක්ෂේත්‍රයක්ම වෙළඳපොළට භාරදෙමින් යනවා. ආණ්ඩුව අධ්‍යාපනයත් සල්ලි උපයන්නේ කොහොමද කියන එකට මුල්තැන දෙමන් කටයුතු කරනවා. අධ්‍යාපනයෙන් සල්ලි උපයන්න වුණත් මෙහි තත්වය උසස් මට්ටමකට ගෙන ආ යුතුයි. මේ තත්වයක් තුළ ජාත්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපේ විශ්වවිද්‍යාල තුළට එන්න කැමති වෙන්නේ නැහැ. අර්බුදය තුළින් ඇති වී තිබෙන පීඩනය හරහා, ආණ්ඩුව අධ්‍යාපනයෙන් අයින් වීමත් වගකීම පැහැර හරින්නත්, 78 ආරම්භ කළ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න මේ අර්බුදය උපයෝගී කර ගනිමින් ඉන්නවා.

සමාජය මීට වඩා ශිෂ්ඨ සම්පන්න, කාරුණික, එකිනෙකාට ආරක්ෂාව දෙන, ඒ වෙනුවෙන් කළ යුතු සමාජ පරිවර්තනයට අවශ්‍ය නායකත්වය බිහි කළ හැකි අධ්‍යාපනයක් අපට අවශ්‍යයි. ආණ්ඩුව කරන මේ විනාශය තවදුරටත් අපි ඉවසිය යුතු නැහැ. දැනට තිබෙන තත්වයවත් බේරාගැනීමේ යුතුකමක් අපට තිබෙනවා. 1978 ඇති කළ ආර්ථික මොඩලය තුළින් ලොකයේම අර්බුද ඇතිකර තිබෙන බවට අද ලෝකයම පිළිඅරගෙන තිබෙනවා. මේ ආර්ථිකය තවදුරටත් ක්‍රියාත්මක වීමට අපි ඉඩදිය යුතු නැහැ. මේ මොහොතේ වෙනස් වී තිබෙන ලෝක තත්වය ඉල්ලන, මානුෂීය, සමාජමය වටිනාකම් තිබෙන, මානව සම්පත දියුණු කරන, සමාජමය පරිවර්තනයක් ලබාගන්න නම්, මේ විනාශකාරී ගමන නවතා දමන්න අපි කටයුතු කරමු.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?