Latestදේශීය

පලාත් පාලන ඇමතිට හොරපාරෙන් බලය දෙන්නයි රනිල් හදන්නේ

පළාත් පාලන ඇමතිට ජනතා පරමාධිපත්‍ය බලය පවරන්න රනිල් තක්කඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (29) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් දැක්වේ,

“රනිල් වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය කල්දමා හිතුවක්කාරී ලෙස කටයුතු කරන අතරේ අලුතින් තක්කඩිකමකට මුල පුරා තිබෙනවා. විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට යාම වෙනුවෙන් ජූනි 23දා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කඩිමුඩියේ පළාත් පාලන පනතේ වගන්ති සංශෝධනය කරන්න උත්සාහ කරන්නේ දැනට තිබෙන අවුරුදු හතරක ධුර කාලය විශේෂ තත්වයක් යටතේ මාස 12කින් දීර්ඝ කරන්න ඇමතිවරයාට දී තිබෙන බලතල සම්බන්ධවයි. තිබෙන පනත අනුව එසේ කළ හැකි උපරිම කාලය අවුරුදු 05යි. මේ කියන සංශෝධනය අනුව කාල සීමාවකින් තොරව දීර්ඝ කරන්නත් විසුරුණු පළාත් පාලන ආයතන නැවත කැඳවන්නත් තක්කඩි උත්සාහයක යෙදී ඉන්නවා.

කලින් නම්, ඇමතිවරයාට පළාත් පාලන ආයතනයක් කල්දැමිය හැක්කේ මාස 12යි. මේ පනතේ අඩුම ගණනේ කාලසීමාවක් වත් නැහැ. “අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන යම් කාලසීමාවකට” කියලා දැක්වෙන්නේ. වුවමනානම්, මේ පනත සම්මත කරගෙන ජීවිත කාලයටම වුණත් ඇමතිවරයාගේ තීරණය අනුව කාලය කල්දමා ගන්න පුළුවන්. ඊටත් වඩා බරපතළ දේ විසුරුවා හැරි පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලයක් ඇමතිවරයාට දෙන්න සූදානම් වීමයි. 2018 පැවැත්වූ පළාත් පාලනවල නිල කාලය 2022 අවසන් වුණා. පනතට අනුව 2023 මාර්තු දක්වා අවුරුද්දකින් කල් දැමුවා. මේ නිසා මැතිවරණ නීතියට අනුව මැතිවරණ කොමිසමෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළා. නාමයෝජනා කැඳවූවා. දේශපාලන පක්ෂ නාමයෝජනා බාර දුන්නා. ඒත් රනිල් වික්‍රමසිංහ මුදල් වෙන් නොකර, මුද්‍රණාලයට බලපෑම් කර, ඡන්දය නොතියා විශේෂ කොමසාරිස්වරු යටතේ මේ ආයතන පවත්වාගෙන යනවා.

විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂයේ බිම් මට්ටමේ බලය පවත්වාගෙන ගියේ, පළාත් පාලන ආයතන යටතේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහලාට මහින්ද රාජපක්ෂලාට පරණ සභාපතිවරුන්ට සහ මන්ත්‍රීලාට නැවත පණ දෙන්න අවශ්‍ය වී තිබෙනවා. හිටපු සභාපතිලාට ආණ්ඩුකාර නියෝජිතයන් එක්ක ගැටගහලා නැවත පණ දෙන උත්සාහය පසුගිය කාලයේ තිබුණා. ඒකට මැතිවරණ කොමිසමත් රටේ ජනතාවත් විරෝධය පළ කළා. දැන් හදන්නේ මැරුණු, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට, මන්ත්‍රීලාට නැවත පණ දෙන්නයි. විසිර වූ ආයතනවලට නැවත පණ දීමේ බලය ඇමතිවරයාට දෙනවා නම්, සක්‍රදෙවියෝ වගේ වෙන්න ඕනෑ. ජනතාව තමන්ගේ පරමාධිපත්‍යයේ බලය පවරන්නේ යම් නිශ්චිත කාලයකට. පළාත් පාලන ඇමති කියලා තනි පුද්ගලයෙකුට ජනතා පරමාධිපත්‍ය බලය පවරන්න රනිල් වික්‍රමසිංහ තක්කඩි ලෙස උත්සාහ කරනවා. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් වුණාට මෙතන තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැණි රනිල් වික්‍රමසිංහලාගේ, රාජපක්ෂලාගේ වුවමනාවක්. මේක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැණියි. මීට පෙර නඩු තීන්දුවල සඳහන් කර තිබෙනවා අවශ්‍ය නම් ජනවරම කෙටි කළ හැකි වුණත් දීර්ඝ කරන්න බැහැ කියලා. ජනතාව විසින් ගත යුතු තීරණය මේ මගින් ඇමතිවරයාට දෙන්න යනවා.

මේක අතිශය බරපතළ පිළිකුල් සහගත, ප්‍රජාතන්ත්‍ර විරෝධී තක්කඩි වුවමනාවක් වෙනුවෙන් කරන වැඩක්. රනිල් වික්‍රමසිහංට මේවා පුරුදු නැතිවා නොවේ. රනිල්ගේ මාමා ජේ.ආර්. ඉන්න කාලයේත් මේ වාගේ ගේම් ගසා තිබෙනවා. 1977 දී ලබාගත් 5/6ක බලය 1983 මහ මැතිවරණය නොතියා නැවත තියාගන්න 1982 දෙසැම්බර් මාසයේ ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තු කාලය අවුරුදු 06කින් කල්දමා ගත්තා. මේක ඉතාමත්ම නරක බරපතළ තත්වයක්. ජනතාවගේ ඡන්දය දීමේ අයිතිය විනාශ කර, එන්න යන්නේ මොකාටද කියලා අපට තේරෙනවා. ඊළඟ වාරයේ ජනාධිපති වෙන්න හීන දකින පසුගිය මැතිවරණයෙන් දිස්ත්‍රික්කයෙන් පවා පැරදුණු රනිල් වික්‍රමසිංහ දැන් රාජපක්ෂලා ලබාදුන් ජනාධිපතිකම අතේ තබාගෙන ඉන්නේ. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ඔහුගේ ජනාධිපති හීනවලට බලපානවා. මහින්ද රාජපක්ෂලාට පාර්ලිමේන්තුවේ තිබෙන ජනවරම මහ පොළොවේ නැති බවත්, රනිල් වික්‍රමසිංහට ජනවරමක් නැති බවත්, ඔප්පු වෙන නිසා, පළාත් පාලන මැතිවරණය කල්දමා තිබෙනවා.

ඊළඟ ජනාධිපති හීනයට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය බාධාවක් වන නිසා, මැතිවරණය කල්දමලා අනිත් පැත්තෙන් පොහොට්ටුවේ උදව් ගන්න, ප්‍රාදේශීය සභාවල බලය නැවත ගොඩනඟන්නයි මේ සූදානම් වෙන්නේ. මේ පනත සම්මත කර ගන්න බැරි වුණත්, බිම්මට්ටමේ ඉන්න අයට යම් චිත්ත ධෛර්යයක් දෙන්න උත්සාහයක් මේ තුළින් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, ව්‍යවස්ථාව පැත්තකට දමලා, රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සලකන රාජපක්ෂ කණ්ඩායමේ බල ව්‍යාපෘතිය ආරක්ෂා කරගන්න ව්‍යවස්ථාමය දහංගැට මේ විදිහට ගහනවා. පළාත් පාලන ආයතන කිහිපයක හරි මැතිවරණ පවත්වා බිමේ බලයක් තිබෙන බව ඔප්පු කරන්නැයි අපි අභියෝග කරනවා. සිහි බුද්ධිය තිබෙන කෙනෙකුට මේ වගේ අදහස් ඔළුවට එන්නේ නැහැ. කවරු හරහා මේ සංශෝධනය ගේන්න උත්සාහ කළත් පිටිපස්සේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ බව අපි දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය හැටියට අපි මෙය පරාජය කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණමය ක්‍රියාමාර්ග මූලික වශයෙන් ගන්නවා. ජනතාව ලබාදුන් ජනවරමක් නැවත බිහිකරනවා නම් එය කළ හැක්කේ ජනවරමකින්ම පමණයි. මේ වගේ දේශපාලන කුපාඩිකම් කරලා බලය තහවුරු කර ගැනීමට ඉඩදිය යුතු නැහැ.

මෙවැනි දේශපාලන භාවිතාවක් අපේ රටේ තිබිය යුතු නැහැ. ව්‍යවස්ථාව පැත්කට දමා, නිලධාරීන් බයකර ගත්, ඒකාධිපති භූමිකාවකට යන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා. ඔවුන් විනාශ කළ රට මූල්‍ය අරමුදලට පාවාදී තිබෙන අතර, කූට උපක්‍රම පාවිච්චි කර, තමන්ට කලින් තිබුණු බලය, දිගටම පවත්වාගෙන යන්න කරන උත්සාහය පරාජය කිරීමේ වගකීම අපට තිබෙනවා. ජාතික සම්පත් විකුණමින් දවස ගෙවා ගන්නා අතර, ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා බැංකු ටික විනාශ කරන්න හදනවා. ජනතාවගේ විශ්‍රාම වැටුප් අරමුදල්, කපාහැරීමටත් උත්සාහ කරනවා. එක පවුලකගේ, පංතියකගේ බලය රැකගන්න ගේන මේ තත්කඩි වුවමනාව පරාජය කර, රනිල් වික්‍රමසිංහ යන්න උත්සාහ කරන ඒකාධිපති ගමන පරාජය කරනවා. දේශපාලනයේ යථාර්ථයට ජනතාවගේ කැමැත්තට ඉඩනොදී ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලයේ ඉන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා නම්, ඉතිහාසය කියවා ගන්න කියලා අවධාරණය කරනවා. එවැනි සෑම පාලකයෙක්ම ජනතාව විසින් බිමට දැමූ ඉතිහාසයක් තිබෙන්නේ. කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබාගන්න අපි කවුරුත් එකතු වෙමු කියන ඉල්ලීම කරනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:- ඔය කියන ආකාරයට පළාත් පාලන මැතිවරණයක් පැවැත් වුවහොත් පොදු ජන පෙරමුණේ කණ්ඩායමට බලයක් ඇත්තේම නෑ කියලාද කියන්නේ?

පිළිතුර:- මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවේ කණ්ඩායම 2018 පළාත් පාලන මැතිවරණයේ විශාල ආයතන ප්‍රමාණයක් දිනා ගත්තා. මහරගම වගේ තැනක ඒ අයගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණාම ඉදිරිපත් කළ අනිත් කණ්ඩායම පවා විශාල ජයග්‍රහණයක් ලැබුවා. ඒ දවස්වල කීවේ “පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා” කියලා. පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ බිම් මට්ටමේ කටයුතු කරන ඒගොල්ලන්ගේ යාන්ත්‍රණය විසිරිලා තිබෙන්නේ. ඒ බලය හදාගන්න පසුගිය කාලයේ විවිධ උත්සාහයන් දැරුවා. අවසාන තුරුම්පුව හැටියට මුළු සභාවම නැවත කැඳවන්න මේ උත්සාහ කරන්නේ.

ප්‍රශ්නය:- ඔය සංශෝධනයෙන් ලොකු වාසියක් රනිල් වික්‍රමසිංහට එයි කියලා හිතනවාද?

පිළිතුර:- රනිල් වික්‍රමසිංහ හිතන විදිහනේ ඕක. නමුත් ඒක කරගන්න ඉතා පැහැදිලිවම අපි ඉඩ දෙන්නේ නැහැ. නමුත් එයා හිතන්නේ මේ මගින් ටික දෙනෙක් හෝ එයා වෙනුවෙන් වැඩකරන්න ඉදිරිපත් වෙයි කියලා.

ප්‍රශ්නය:- මේ දවස්වල මාතෘකාව ‘අස්වැසුම’. ජනතාව මේ තරම් ඇවිස්සෙන්නේ දේශපාලන පක්ෂ මේ පිටුපස ඉන්න නිසා බව ආණ්ඩුව කියනවා. ඔබලාත් ඒ පිටුපස ඉන්නවාද?

පිළිතුර:- අපේ මැදිහත් වීමක් ඕනෑම නැහැනේ. කපලා තිබෙන්නේ කලින් තිබුණු සමෘද්ධියයි. ඇස්වහලා ගැහීමක් මිස අස්වැසුමක් ඇත්තේම නැහැ. ජනතාවගේ ප්‍රශ්නයක් ආවාම එය නියෝජනය කරන්නේ නැත්නම්, අපේ පක්ෂවලින් වැඩක් නැහැ. අස්වැසුම විසින් සහන අහෝසි කළ ජනතාවට සාධාරණය ඉටුකරන්න අපි අනිවාර්යයෙන්ම පෙනී සිටිනවා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අත්සන් කළ ගිවිසුම් අනුව සහනාධාර කැපීමයි. ඔවුන්ගේ වටේ ඉන්න අයගේ වියදම්, උපදේශකයන්ගේ වියදම්, කපන්නේ නැහැ. පොදු ජනතාවට ලැබෙන සහනාධාර කපනවා. සහනාධාරයක් ලැබිය යුතු සාධාරණ ජනතාවක් කපාදමා කලින් ප්‍රතිලාභ ලැබුණු අයත් කපා දැමුවාම කලබලයක් ඇති වී තිබෙනවා. දැනටත් ලක්ෂ ගණනකගේ අභියායචනා ලැබී ඇති බව කියනවා. සෙල්ලමක් නොවෙයි.

ප්‍රශ්නය:- ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවා මේ වැඩපිළවෙළ විවේචනය කරනවා. ඔවුන් ඒ කරන්නේ අවංකවද?

පිළිතුර:- කිසිම අවංකභාවයක් නැහැ. ඔවුන් ඉන්නේ දෙලොවක් අතර. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත්තාට පසු එයාගේ හැමදේකටම අත උස්සන්න ඕනෑ. එතකොට බිම් මට්ටමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒත් ඔවුන්ගේ ගැලවුම්කරු වුණු, රනිල් වික්‍රමසිංහව දාලා යන්නත් බැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමට සිදුවී තිබෙන්නේ බලය ගැන මතක් වී එල්ලී සිටීමටයි. බිමට මුහුණ දෙන්න බැරිව, විවේචනය කිරීමයි. දේශපාලන වංචාවක්. ජනතාව දන්නවා මේක දේශපාලන ඇන්දීමක් කියලා.

ප්‍රශ්නය:- ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පවතින තත්වය මොකක්ද?

පිළිතුර:- ආණ්ඩුව ඇත්ත වහලා ගහන්න යන්නේ. කරන්නේ මොකක්ද කියලා තාමත් හරියට කියන්නේ නැහැ. බැංකු පොලී කපන්නේ නැති බව ආණ්ඩුව කියනවා. සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල වගේ ඒවාට ලැබෙන ප්‍රතිලාභවලින් කපන්න ලැහැස්ති වෙන්නේ. මේ නිසා එන විරෝධය වළක්වා ගන්න බොරු කියමින් යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගැසුවාම වෙන දේවල් මේවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකම ඔළුවේ තබාගෙන, කරන ඒවා මිස රට ගැන හිතලා කරන ඒවා නොවෙයි.

ප්‍රශ්නය:- ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී නොකරන දේවල් ටික ජනතාවට කියනවා. අන්තිමට මොකුත් වෙන්නේ නැද්ද?

පිළිතුර:- නොකරන දේවල් කියන්නේ ඇයි? හරි නම් කියන්න ඕනෑ කරන දේවල් ටික. කරන වැඩෙන් කාටවත් අනතුරක් නැත්නම්, ඒගොල්ලෝ අවංකයි නම්, කෙලින් කියන්න පුළුවන්. නමුත් නොකියන්නේ බැංකුවලට, අරමුදල්වලට, අනිවාර්යයෙන් බලපාන නිසයි. ජනතාව කලබලවීම වළක්වා හංගලා ගහන්නයි මේ උත්සාහ කරන්නේ

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *