Latestදේශීය

රනිල් කතරගම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අවසන් දිනය වූ ඊයේ දින පෙරහර ආරම්භ කරමින් කණ්ඩුල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

අනතුරුව අවසන් මහා පෙරහර නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා කතරගම සමන් මහා දේවාලය වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් පුදබිම වෙත පැමිණ සිටි බැතිමතුන් සමඟ සුහද කතා බහක නිරත වීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, කතරගම මහා දේවාලයේ හිටපු බස්නායක නිලමේ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පෝල්, (Poj Harnpol) කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

@මාධ්‍ය ඒකකය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *