Latestදේශීය

හොර ඒජන්සියක් වටලයි

දේශීය රැකියා නියෝජිතායතනයක් වශයෙන් පවත්වාගෙන යමින් නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවාගැනීම් සිදුකළ කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගිය දා වැටලීම් කර එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල, බෞද්ධාලෝක මාවතේ සිරිපති ගොඩනැගිල්ලේ OJDO world travels & tours නමින් මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් කුවේට්, ඩුබායි, මාලදිවයින, රුමේනියා, කටාර්, සර්බියාව, රුසියාව ආදී රටවල රැකියා සඳහා යවන බව පවසා අයදුම්පත්‍ර ලබාගෙන ඇත.

මේ වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් කාර්යාංශය වෙත ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදුකරන ලද අතර, එහිදී මෙම ආයතනය පවත්වාගෙන ගිය අරුණසිරි බණ්ඩාර නම් පුද්ගලයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 05ක්, විදේශ ගමන් බලපත්‍ර පිටපත් සහිත ලිපි ගොනුවක්, රබර් මුද්‍රා, හඳුනාගැනීමේ කාඩ්පත් හා රැකියා අයදුම්පත් විශාල ප්‍රමාණයක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත 2023.07.09 දින කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහැරීමටත්, 2023.07.28 දින ඉදිරි නඩු විභාගය පැවැත්වීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වන කපිල කරුණාරත්න මහතා හා සරත් විමලවීර, ඉදුනිල් පුෂ්පකුමාර, මධුශාන් විජේවර්ධන, නදීකා චන්ද්‍රමාලි, කේ.එල්.එන්.දමයන්ති හා ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් එක්විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

@මාධ්‍ය ඒකකය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *