ඔබ මාධ්‍යවේදියෙක් නම් ඔබ මාධ්‍යවේදියෙක් යැයි කියන්නේ ඇයි?
(මහේෂ් හපුගොඩ)
ඊයේ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගන්න වීඩියෝව දැක්ක. ඒ වීඩියෝවේ හැටියට තරිඳුට හැමවෙලේම පොලිසියට කියන්න සිද්දවෙනවා ”ඒයි මම මාධ්‍යවේදියෙක්” (මම මීඩියා) කියල. ඉතින් අර ෆ්‍රොයිඩ් අහනවා වගේ ඔබ ලක්සම්බර්ග් වලට යනවා නම් ඉතිං ඔබ ලක්සම්බර්ග් වලට යනවා කියල කියන්න වෙන්නේ ඇයි?
ඒ කියන්නේ තරිඳු ඇත්තටම මාධ්‍යවේදියෙක් නම් ඔහුට ”මම මාධ්‍යවේදියෙක් කියල” පරසක්වල ගහල කියන්න සිද්ද වෙන්නේ ඇයි?
පසුගිය මාස දෙක දිහා විතරක් බැලුවොත් තරිඳු උඩුවරගෙදරගේ ”මාධ්‍ය හැසිරීම” (media behavior) ඇතුලේ ඔහුව අත්අඩංගුවට පත්වෙනවා කියන එක චුටි බබෙකුට උනත් තේරෙන දෙයක්. ඔහුටම උනත් ඒක නොතේරෙන්න හැටියක් නැහැ. මේ විදියට හැප්පෙන ආකාරයේ මුණගැසීමක් (confrontational) අවසානයේ අත්අඩංගුවට පත්විමකින් අවසන් වෙන්න පුළුවන් කියන එක.
ඒ නිසා තරිඳුගේ මාධ්‍ය හැසිරීම ඇතුලේ මට පොඩි අධියථාර්තවාදී බවක් (hyperreal) – අධික්‍රියාකාරීබවක් (hyperactive) පේන්න තියනවා. එහෙම කියන්නේ ඔහුට එදිරිවවත්, එහෙම කරන්න ඔහුට තියන අයිතියට එරෙහිවවත් නෙවෙයි. මට පේන හැටියට.
ඒ කියන්නේ මනුස්සයෙක් හැටියට එහෙම හැප්පෙන ආකාරයේ දේශපාලනයක් (confrontational politics) කරන්න ඔහුට අයිතිය තියනවා. ඒක දේශපාලනික තෝරා ගැනීමක්. ඒකෙ ගැටළුවක් නැහැ.
හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් නැත්නම් සාමාන්‍ය මාධ්‍යවේදියෙක් ගන්න. ඒ වගේ කෙනෙක් හිතන්නේ කොහොමද?
ඔන්න යම් ජනතා විරෝධයක් එක්ක යම් මාධ්‍යවේදියෙක්ට පොලීසිය එක්ක හැපෙන්න වෙනවා. දවසක් හැපෙනවා. දෙකක් හැපෙනවා. එතකොට එයාට තේරෙන්න ඕනි මෙතනින් එහාට මම මේ විදියටම ගියොත් ”යම් දෙයක්” වෙන්නත් පුළුවන් කියල. එහෙම හිතල පොඩ්ඩක් වෙනස් විදියට වැඩකරන්න හෝ පොඩි බ්‍රේක් එකකට යන්න පුළුවන් අර සිද්දිය පොඩ්ඩක් අකා මකා යනකල්. සාමාන්‍යයෙන් යාළු මිත්‍රයෝ වුනත්, පවුලේ අය උණත් මේක කියනවා. ”ඒයි පොඩ්ඩක් පරිස්සම් වෙයං බං” කියල. ඒක තමයි සාමාන්‍ය තත්වය.
ඒ කියන්නේ මාධ්‍යවේදියෙක් හැටියට තමන් කරමින් ඉන්නේ පට්ට සීරියස් වැඩක් නම් ඒ වගේ කෙනෙක් අත්අඩංගුවට වගේ පත්වෙනවා වෙනුවට බලන්නේ මේ දේශපාලන ක්‍රියාකාරී බවෙන් පොඩ්ඩක් පහුබැහැල වැඩේට කාලය යොදන්න. තමන් වාර්තා කරමින් ඉන්න ”සත්‍යය” සමාජය පැත්තෙන් වැදගත් නිසා තමයි එහෙම පසු බහින්නේ. නැත්නම් බය නිසාම නෙවෙයි. Spotlight (2015) ෆිල්ම් එකේ මාධ්‍යවේදියෝ ටිකක් තරමක් යටිබිම් ගතව වැඩ කරන්නේ බොස්ටන් කාදිනල්ට බය නිසා නෙවෙයි. තමන් කරමින් ඉන්න වැඩේ ඒ හැප්පෙන එකට වඩා වැදගත් වාර්තාකරණයක් නිසා. නැත්නම් වැඩේ අවුල් වෙන නිසා.
කෙවින් කාටර් කියන චායාරූප ශිල්පියා ගත්ත ‘බඩගිණි දරුවා සහ ගිජු ලිහිණියා’ (The Vulture and the Starving Child) චායාරූපය ලෝකේ හැම රටකට පත්තර මුල්පිටුවල ගියා. බඩගින්නට එරෙහි සමාජ ව්‍යපාරයක් ලෝකේ ඇති වුණා. ඒත් කෙවින් සද්ද නැතුව ඉඳල සියදිවි නසාගත්ත. ඒ කියන්නේ කෙවින් කරපු වැඩේ කෙවින්ට වඩා ලොකුයි.
ලෝකේ ඇත්තටම දැවැන්ත වැඩ කරපු මාධ්‍යවේදියෝ කළේ සත්‍යය කියන එක ඒ විදියටම ලෝකයට පෙන්නන එක මිසක් ඊට වඩා දෙයක් නෙවෙයි. එයාල ඒ නිසා ගොඩක් දැඟලුවෙත් නැහැ. එයාල පෙන්නුව සත්‍යය එයාලටත් වඩා ගොඩක් දැවැන්ත වෙච්ච නිසා එයාලට ලොකුවට දඟලන්න, අධික්‍රියාකාරී වෙන්න අවශ්‍ය උණෙත් නැහැ. මොකද වැඩේ බර වැඩියි.
ඒ නිසා මට හිතෙන්නේ තරිඳුට ඇත්තටම ලක්සම්බර්ග් වලට යන්න ඕනි නැතුව ඇති…